3. අග්ගි සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි සියලුම රාගාදීහු දැවීම් අරුතින් අග්ගි නමි, ආහුනෙය්‍යග්ගි යනාදියෙහි සත්කාරය ආහුනං යි කියනු ලැබේ. සත්කාරයට සුදුසුවේනුයි ආහුනෙය්‍යො නමි, මාපියෝ ද දරුවන්ට බොහෝ උපකාරවත් බැවින් සත්කාරයට සුදුසු වෙත්. ඔවුන් කෙරෙහි මනාව නොපිළිපදින දරුවෝ අපායාදියෙහි උපදිත්, එහෙයින් මවුපියෝ කිසිලෙසකින් නොදවති. දැවීමට හේතුකාරක වෙති. මෙසේ දැවීම් ඇතිකරවන අරුතින්ම ආහුනෙය්‍යග්ගියි කියනු ලැබේ. හෙතෙම මාගම (බිරිඳ) ට යහන් ඇඳුම් අබරණ ආදිය දීමෙන් බොහෝ උපකාර ඇත්තේය. ඔහු ඉක්මවන මාගම නිරායාදියෙහි උපදියි. එහෙයින් හෙතෙමේ ද මුල් ක්‍රමයෙන්ම දැවීම් ඇතිකරන අරුතින් ගහපතග්ගි යි කියන ලදි. දක්ඛිණෙය්‍යග්ගි යනු මෙහි වනාහි සිවුපසය දක්ඛිණා නමි. භික්ෂු සංඝයා දක්ෂිණාවට සුදුස්සෝ වෙති. එම භික්ෂු සංඝයා ගිහීන්ට තිසරණයෙහි පන්සිල්හි දසසිල්හි මාපිය උවටැනෙහි දැහැමි මහණබමුණන් උවටැනෙහි යන මේ ආදී යහපත් දහම්හි යෙදවීමෙන් බොහෝ උපකාරවත්ය. ඒ භික්ෂු සංඝයා කෙරෙහි වැරදි ලෙස පිළිපන් ගිහියෝ භික්‍ෂු සංඝයාට ආක්‍රෝෂ පරිභව කොට නිරයාදීන්හි උපදිත්. එහෙයින් ඒ භික්ෂු සංඝයා ද මුල් ක්‍රමයෙන්ම දැවීම් ඇතිකරවන අරුතින් දක්ඛිණෙය්‍යග්ගියි කියනු ලැබේ. දඬුවෙන් උපන් ස්වාභාවික ගින්න කට්ඨග්ගි නමි.
4. මහායඤ්ඤ සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි උග්ගතසරීරස්ස යනු හෙතෙම බ්‍රාහ්මණ මහා සාලයෙකි. සිරුරෙන් ද භොගයන්ගෙන් ද උස්වූයේ සරුබවට පැමිණියේ විය. එබැවින් උග්ගතසරීරයයි ප්‍රකට විය. උපකට්ඨො යනු එළඹ සිටියේයි, ථූණුපනිතානි යනු යූප නමින් දන්නා ලද යාග කණුව වෙත පමුණුවන ලද්දාවූයි, යඤ්ඤත්‍ථාය යනු ඝාතනය කොට යදිනු සඳහායි, උපසඞ්කමි යනු හෙතෙම සියලු යාග භාණ්ඩ පිළියෙළ කොට “ශ්‍රමණ භවත් ගෞතමයෝ මහ පැනවතෙකි මගේ යාගයේ ගුණ කියත්ද නැතහොත් අගුණ කියත්දැයි අසා දැනගන්නෙම්” යන මෙකරුණින් භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළඹියේය. අග්ගිස්සාදානං යනු යාගය යදිනු සඳහා නවවැදෑරුම් මංගල ගිනිගැනීමයි, සබ්බෙන සබ්බං යනු ඇසූ සියලු දෙයින් ඇසූ සියල්ලයි, සමෙති යනු ගැලපෙයි, එක්වැනි වේයයි දක්වයි, සත්‍ථානි යනු වෙහෙසන අරුතින් ශස්ත්‍රයන් මෙනැයි ශස්ත්‍රයෝයි, සයං පඨමං සමාරම්හති යනු තමා පළමුව උත්සාහ කරයි, හන්තුං යනු නැසීමටයි,
පරිහාතබ්බා යනු ඉවත්කළ යුතුයි, අතො භයං යනු මාපියන්ගෙන් මෙය යනුයි, ආහුතො යනු ආයේයි, සම්භුතො යනු උපන්නේයි, අයං වුච්චති බ්‍රාහ්මණො ගහපතග්ගි යනු මේ අඹුදරු ආදී සමූහයා යම්හෙයකින් ගැහැවියකු මෙන් ගෙහිමියකු මෙන් වී හැසිරෙයි ද එහෙයින් ගහපතග්ගියි කියනු ලැබේ. අත්තානං යනු සිතයි, දමෙන්ති යනු ඉන්ද්‍රිය දමනයෙන් දමනය කරයි, රාගාදිය සමනය කිරීමෙන් සමෙන්ති නමි. ඒවායේම නිවීමෙන් පරිනිබ්බාපෙන්ති නමි, තික්ඛිපිතබ්බො යනු යම්සේ නොවැනසේද එසේ තැබිය යුතුයි. උපවායතං යනු හැමේවායි, මෙසේ ද කියා බමුණා සියලුම ඒ ප්‍රාණීන්ට ජීවිතය දී යාගහල වනසා ශාස්තෲ ශාසනයෙහි සැමට වැඩ ඇත්තෙක් (ලිඳක් වූයේ) විය.
5-6. සඞ්ඛිත්තසත්තසඤ්ඤා ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි අමතොගධා යනු නිවන ප්‍රතිෂ්ඨාව කොට ඇත්තේයි. අමතපරියොසානා යනු නිවන අවසන්කොට ඇත්තේයි, සවැන්නෙහි මෙථුනධම්මසමාපත්තියා යනු මෙවුන්දමින් යුක්තවීමෙනි නහාරුද්දුලං යනු නහරකඩක් හෝ නහර කැබැල්ලක් යනුයි, අනුසන්දති යනු පවතියි, නත්‍ථි මෙ පුබ්බෙනාපරං විසෙසො යනු මගේ පෙර නොවැඩු කාලය සමඟ අන්‍ය වූ වැඩූකාලයෙහි වෙසෙසක් නැත. ලොකචිත්තෙසු යනු ත්‍රෛධාතුක ලෝකයෙහි වාසය කිරීම් සංඛ්‍යාත ලොව පිළිබඳ සිත්වලයි, ආලස්සෙ යනු අලස බහියි, විස්සට්ඨියෙ යනු විසිරුණු බවෙහියි, අනනුයොගෙ යනු යෝගයෙහි (බවුන් වැඩීමෙහි) නොයෙදීමෙහියි, අහිංකාරමමිංකාරමානාපගතං යනු අහංකාර දෘෂ්ටියෙන් ද මමංකාර තෘෂ්ණාවෙන් ද නවවැදෑරුම් මානයෙන් ද දුරුවූයේයි. විධාසමතික්කන්තං යනු ත්‍රිවිධගර්‍වය ඉක්මවූයි, සන්තං යනු ඊට විරුද්ධ වූ කෙලෙසුන්ගෙන් ශාන්තවූයි, සුවිමුත්තං යනු පඤ්ච විමුක්තීන්ගෙන් මනාව මිඳුනාවූයි,
7. සත්තමෙථුන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි උපසඞ්කමි යනු වැළඳූ උදා ආහාර ඇත්තේ දස්කම්කරුවන් පිරිවරන ලද්දේ එළඹියේය. භවම්පි නො යනු පින්වතුන් වහන්සේ නොවේද? බ්‍රහ්මචාරි පටිජානාති යනු මම බ්‍රහ්මචාරියෙක්මැයි මෙසේ බඹසර වැසීම පිළිණ කරයිදැයි විමසයි. ඔහුට මෙසේ අදහසක් විය. “බමුණු දහමෙහි වේදය උගන්නෝ අටසාළිසක් හවුරුදු බඹසර හැසිරෙත්. ශ්‍රමණභවත් ගෞතමයෝ ගිහිගෙහි වසන්නෝ තුන් පහයන්හි තෙවැදෑරුම් නාට්‍ය රතියෙන් සතුටුවූහ. දැන් කුමක් කියන්නහුද?” යන මේ කරුණ සඳහාම අසයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මන්ත්‍රයකින් නයකු ගන්නා සේ සතුරකු ගෙලෙන් පයෙන් මඬින්නා සේ තමන්ගේ කෙලෙසුන් ඇති කල්හි ද සාවුරුද්දක් භාවනාවෙහි හැසිරීමේ දී රජසැපක් හෝ පහයන්හි නිළි සැපත හෝ අරභයා විතර්‍ක මාත්‍රයකුදු නූපන්බව සඳහා සිංහ නාදය පවත්වන සේක් “යං හි තං බ්‍රාහ්මණ” යනාදිය වදාළ සේක. එහි ද්වයං ද්වයසමාපත්තිං යනු දෙකින් දෙකින් සමවැදිය යුතු බවයි. දුක්ඛස්මා යනු සියලු සසර දුකෙනි, සඤ්ජග්ඝති යනු සිනහ කථා කියයි, සංකීළති යනු ක්‍රීඩා කරයි, සංකෙළායති යනු මහත් වූ සිනහසෙයි, චක්ඛුනා චක්ඛුං යනු තමාගේ ඇසින් ඇයගේ ඇස මනාව දැන මෙනෙහි කරයි, තිරොකුඩ්ඩං වා තිරොපාකාරං වා යනු බිත්තියෙන් එපිට හෝ පවුරෙන් එපිටයි. දෙවො යනු එක් දිව්‍යරාජයෙකි, දෙවඤ්ඤතරො යනු එක්තරා දිව්‍ය පුත්‍රයෙකි, අනුත්තරං සම්මාසම්බොධිං යනු අරහත්වය මෙන්ම සර්‍වඥතා ඥානය ද වේ.