9. උපාසකපරිහානීය සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි, භික්ඛුදස්සනං හාපෙති යනු භික්ෂු සංඝයා දැකීම සඳහා යාම හීන කරයි, අධිසීලෙ යනු පන්සිල් දසසිල් සංඛ්‍යාත වූ උතුම් ශීලයෙහියි, ඉතො බහිද්ධා යනු මේ සසුනින් බැහැරිවූවෝයි, දක්ඛිණෙය්‍යං ගවෙසති යනු දෙය්‍යධර්‍මය පිළිගන්නවුන් සොයයි. තත්‍ථ ච පුබ්බකාරං කරොති යනු බැහැරි තොටුවන්ට දී පසුව භික්ෂූන්ට දෙයි, සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
තෙවැනි වජ්ජිසත්තක වර්‍ගයයි.
4. දේවතා වර්ගය
1. අප්පමාදගාරව සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්‍ගයේ පළමු සූත්‍රයෙහි දුද්දදං යනු අතහැරීමට අමාරු මාහැඟි භාණ්ඩයයි, දුක්කරං කරොති යනු කිරීමට පහසුනොවන දෙයක් කරයි. දුක්ඛමං ඛමති යනු උදව්ව සඳහා ඉවසිය නොහැක්කක් උසුලයි, ගුය්හමස්ස ආවිකරොති යනු තමන්ගේ රහස ඔහුට ප්‍රකට කරයි, ගුය්හං අස්සපරිගුහති යනු ඔහුගේ රහස අනුනට සැලනොකරයි, ඛිණෙන නාතිමඤ්ඤති යනු ඔහුගේ භොගයන් ක්ෂය වූ විට ඒ ක්ෂය වීමෙන් ඔහු පහත් නොකරයි, ඔහු කෙරෙහි අවමානය ද තමා කෙරෙහි අතිමානය ද නොකරයි.
6. භික්ඛුමිත්ත සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි වත්තා යනු වචනයෙහි දක්‍ෂ වූයේයි, වචනක්ඛමො යනු වචනය ඉවසයි, දුන් ඔවදන කරයි, ගම්භීරං යනු සැඟවුණු රහසිගත වූ ධ්‍යාන ඇසුරුකොට ඇති විදර්‍ශනා මාර්‍ග ඵල නිවන් ඇසුරු කොට ඇතියි,
7. ප්‍රථමපටිසම්භිදා සූත්‍ර වර්ණනාව
ඉදං මෙ චෙතසො ලීනත්‍ථං යනු උපන් සිත මැලි වූ කල මේ මගේ සිතේ මැලිබවයි පවත්නා සැටියෙන් දනියි, අජ්ඣත්තං සංඛිත්තං යනු ථිනමිද්ධයට අනුගතවූයි, බහිද්ධා වික්ඛිත්තං යනු පඤ්චකාම ගුණයන්හි විසුරුණාවුයි, වෙදනා යනාදිය ප්‍රපංචමූල වශයෙන් ගන්නා ලද්දාවූයි, වෙදනාව වනාහි තෘෂ්ණාවෙහි මූලයි. සුඛ වශයෙන් තෘෂ්ණාව උපදින බැවිනි, සඤ්ඤාව දෘෂ්ටියේ මුලයි. අප්‍රකට අරමුණෙහි දෘෂ්ටිය උපදින බැවිනි, විතර්‍කය මානයේ මූලයයි, විතර්‍ක වශයෙන් වෙමැයි මානය උපදින බැවිනි, සප්පායාසප්පායෙසු යනු උපකාර අනුපකාරයන්හියි, නිමිත්තං යනු කාරණයයි, සෙස්ස සියලුතන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
සිවුවැනි වූ දෙවතා වර්‍ගයයි.
5. මහායඤ්ඤ වර්ගය
1-2. විඤ්ඤාණට්ඨිති ආදි සූත්‍ර වර්ණනා
පස්වැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි විඤ්ඤාණට්ඨිතියො යනු ප්‍රතිසන්ධි විඥානයාගේ ස්ථානයෝයි, සෙය්‍යථාපි යනු නිදර්‍ශනාර්‍ත්‍ථයෙහි නිපාතයෙකි, මිනිස්සු යන අරුතයි, අපමණවූ සක්වළෙහි අපමණ වූ මිනිසුන්ගේ පැහැය සටහන් ආදිවශයෙන් දෙදෙනෙක් ද එක්සමානවූවෝ නැත්තෝමය, කිසිතැනක නිවුන් සොහොයුරෝ පැහැයෙන් හෝ සටහනින් හෝ සමානවෙත්. ඔවුන්ගේ ද ඉදිරිබැලීම් හාත්පස බැලීම් කීම් සිනහසීම් යාම් සිටීම් ආදියෙන් වෙසෙසක් වේමය, එබැවින් නානත්තකායා යි කියන ලදි, මොවුන්ගේ ප්‍රතිසන්ධි සංඥාව වනාහි ත්‍රිහේතුක වූයේත් ද්විහේතුක වූයේත් අහෙතුක වූයේත් වෙයි. එහෙයින් නානත්තසඤ්ඤිනො යි කියන ලදි. එකච්චෙ ච දෙවා යනු සවැදෑරුම් කාමාවචරයන්හි දෙවියෝයි, ඔවුනතුරෙනුදු කිසිවකුගේ ශරීරය නිල්පැහැ වෙයි, කිසිවකුගේ කහ ආදී පැහැයයි. මොවුන්ගේ සංඥාව ද්විහෙතුකවූයේත් ත්‍රිහෙතුකවූයේත් වෙයි, අහේතුක වූයේ නොවෙයි, එකච්චෙ ච විනීපාතිකා යනු සතර අපායෙන් මිදුනා වූ උත්තරමාතා යකින්නිය පියංකරමාතාව ඵුස්සමිත්තා ධම්මගුත්තා යන මේ ආදීහු ද වෙනත් වෛමානික ප්‍රේතයෝ ද වෙති. මොවුන්ගේ සුදු කලු කසට තද දුඹුරු ආදි පැහැය වශයෙන් ද සිහින් මහත කෙටි දිගු වශයෙන් ද සිරුර වෙනස් වෙයි. මිනිසුන්ගේ මෙන් ද්විහේතුක ත්‍රිහේතුක අහේතුක වශයෙන් සංඥා ද වෙනස් වෙති. ඔවුහු දෙවියන් මෙන් මහෙශාක්‍යයෝ නොවෙති. දිළිදු මිනිසුන්ට මෙන් අල්පෙශාක්‍යයෝයි. ආහාර හා වස්ත්‍ර දුර්‍ලභ බැවින් දුකින් පෙළෙමින් වෙසත්. ඇතැම්හු අවපක්‍ෂයෙහි දුකින් පෙළුනෝය, පුරපක්‍ෂයෙහි සුවපත්වූවෝ වෙති. එහෙයින් සැප වැඩිබවින් පිරිහුණු නිසා විනිපාතිකයෝයි කියනලදි. මෙහි යමෙක් ත්‍රිහේතුක වූවෝ ද ඔවුනට ධර්‍මය වැටහීමද වෙයි. පියංකර මාතා ආදීන්ට මෙනි.