8. පුරිසින්ද්‍රියඤාණ සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අඤ්ඤතරො යනු දෙවදත්ත (තෙරුන්ගේ) පක්ෂයට අයත්වූවෙකි, සමන්නාහරිත්වා යනු ආවර්ජනය කොටයි, කුමක්හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් දැන මෙය කියන ලද්දේ ද නැතහොත් නොදැන ඒකාංශිකව හෝ කියන ලද්දේ ද එසේත් නැතහොත් විශ්ලේෂණය කොට කියන ලද්දේ ද යන අදහසින් හෙතෙම අසයි, ආපායිකො යනු අපායෙහි උපදින්නෙකි, නෙරයිකො යනු නිරයට යන්නෙකි, කප්පට්ඨො යනු කල්පයක් පවත්නා කර්‍මයක් කළබැවින් කපක් සිටියි, අතෙකිච්ඡො යනු පිළියම් කිරීමට නොහැක්කකි, ද්වෙජ්ඣං යනු දෙයාකාර බවයි, වාලග්ගකොටිනිනතුද්දනමත්තං යනු වල්ගයෙහි අග කෙළවරින් දැක්විය යුතු පමණක්වූයි හෝ වල්ගයේ අග කෙළවරින් වැටෙන පමණක්වූයි, පුරිසින්ද්‍රිය ඤාණානි යනු පුද්ගලයන්ගේ ඉන්ද්‍රියපරොපරියත්ත ඥානයෝයි, ඉඳුරන්ගේ තියුණු මුදු බව දන්නා නුවණ යන අරුත්ය,
විජ්ජමානා කුසලාපි ධම්මො අකුසලාපි ධම්මො යනු මෙපමණ වූ කුශල ධර්‍මයෝ පවතිත් මෙපමණ වූ අකුශලධර්‍මයෝ පවතිතැයි දනිමියි, අන්තරහිතා යනු නොපෙනීමට ගියාවූයි, සම්මුබිභූතා යනු හැසිරීම් වශයෙන් ප්‍රකට වූවාහුයි, කුසලමූලං යනු කුසල් අදහස්ය, කුසලමූලා කුසලං යනු ඒ කුසල අදහසින් වෙනත් කුසලයක් උපදින්නේයි, සාරාදානි යනු ගන්නා ලද සාරය අත්තෝ හෝ සරත් මාසයෙහි උපන්නාවූයි, සුඛසයිතානි යනු සුවසේ රැස්කරන ලද්දාවූයි, සුඛෙත්තෙ යනු ඉතා පැහැදිලි කුඹුරෙහිය, නික්ඛිත්තානි යනු වපුලාවූයි, සප්පටිභාගා යනු සමානවූවෝයි, අභිදො අඩ්ඪරත්තං යනු බලවත් අඩරැයයි, අඩරැය අභිමුඛව සිටි කල්හියි, භත්තකාලසමයෙ යනු රජකුලවල භත්තකාල සංඛ්‍යාත වූ කාලයෙහියි, පරිහානධම්මො යනු කවරෙක් මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දන්නා ලද්දේද යත්? අජාසත් රජතෙමේයි, හෙතෙමේත් පවිටු මිතුරන් නිසා මාර්‍ග ඵලයන්ගෙන් පිරිහුණේය, අන්‍ය වූ සුප්‍රබුද්ධ සුනක්ඛත ආදීහු භාග්‍යවතුන් වහන්සේ විසින් දන්නා ලද්දෝමය, අපරිහානධම්මො යනු මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් කවරෙක් දන්නා ලද්දේ ද යත්? සුසීම පරිවැජියා හා අන්‍යවූද මෙබන්දෝයි, පරිනිබ්බායිස්සති යනු මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් කවරෙක් දන්නාලද්දේ ද යත් සන්තිත මහාමාත්‍යයා හා අන්‍ය වූ ද එබන්දෝයි.
9. නිබ්බෙධික සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි විනාශ නොකළවිරූ නොපැලූවිරූ ලොභස්කන්ධ ආදීන් වනසයි පළාලයි යන්නෙන් නිබ්බෙධිකපරියායො නමි, වනසන කරුණ යන අරුත්ය. නිදාන සම්භවො යනු කාමයන් යොමුකරයි ඉපදීමේ සමත්බවින් පවරයිනුයි නිදානං නමි, එයින් හටගනීනුයි සම්භවො නමි. නිදානයම සම්භවයෙනුයි නිදාන සම්භවොයි, වෙමත්තා යනු වෙන්වෙන් කිරීමයි,
කාමගුණා යනු කැමති වියයුතු යන අරුතින් කාමයෝයි බැඳීම් අරුතින් ගුණයෝයි, අන්තගුණං යනාදියෙහි මෙනි, චක්ඛුවිඤ්ඤෙය්‍යා යනු චක්ෂුර්විඥානයෙන් දැකිය යුතු යි, ඉට්ඨා යනු බලාපොරොත්තු දේ වේවා හෝ නොවේවා ඉටු අරමුණු බවට පත්වූ යන අරුත්ය. කන්තා යනු කමනීයවූයි, මනාපා යනු සිත්වඩනාවූයි, පියරූපා යනු ප්‍රියස්වභාවය ඇතිවූයි, කාමුපසංහිතා යනු අරමුණ කොට උපදිනු ලබන කැමැත්තෙන් එළවන ලද්දාවූයි, රජනීයා යනු රාගය ඉපදීමට හේතුවූයි, නෙතෙ කාමා යනු මොවුහු කැමතිවීම් අර්‍ත්‍ථයෙන් කාමයෝ නම් නොවෙත්, සංකප්පරාගො යනු සංකල්ප වශයෙන් උපන් රාගයයි, කාමො යනු මෙය කාමය දුරුකිරීම සඳහා පිළිපන් දේවලින් දුරුකළ යුතුය, කැමතිවීමේ අරුතින් කාම නමි, චිත්‍රානි යනු විසිතුරු විසිතුරු වූ අරමුණුයි,
ඵස්සො යනු එක්ව උපන් ස්පර්‍ශයයි, කාමයමානො යනු කාමය කැමැති වන්නේයි, තජ්ජං තජ්ජං යනු ඒ ඒ ජාතියට අයත්වූයි, පුඤ්ඤාභාගියං යනු දිව්‍යකාමයන් පතා සුචරිතය පිරීමෙන් දෙව්ලොව උපන්නාගේ ආත්මභාවය පුඤ්ඤභාගිය (පුන්‍ය පක්ෂයෙහිවූ) නමි, දුසිරිත් පිරීමෙන් අපායෙහි උපන්නාහුගේ (ආත්මභාවය) අපුඤ්ඤභාගිය නමි, අයං වුච්චති භික්ඛවෙ කාමානං විපාකා යනු මෙය දෙවැදෑරුම් කාම ප්‍රාර්ථනාව නිසා උපන් බැවින් කාමයන්ගේ විපාකයයි කියනු ලැබෙයි, සො ඉමං නිබ්බෙධිකං යනු ඒ භික්ෂුව සතිස් තැන්හි විනිවිද යන මේ උතුම් පැවැත්ම දනියි, කාමනිරොධං යනු කාමයන්ගේ නැතිවීමෙන් මෙසේ ලද නම් ඇත්තේයි, මෙතැන්හිදී බ්‍රහ්මචර්ය සංඛ්‍යාත වූ මාර්‍ගයම කාමනිරොධ යයි කියනලදි,
සාමිසා යනු කෙලෙස් ආමිසයෙන් යුක්ත වූවෝයි, මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්‍ත්‍ථය දතයුතුයි, තවද මෙහි වොහාරවෙපක්කං යනු ව්‍යවහාර විපාකයයි, කථා සංඛ්‍යාතවූයේ ව්‍යවහාරයයි, සංඥාවෙන් (හැඟීමෙන්) විපාකය නමි, යථා යථා නං යනු මෙහි නං යනු නිපාත මාත්‍රයකි, මෙසේ යම්හෙයකින් යම් යම් ලෙස දනීද එසේ එසේ එබඳු සංඥා ඇත්තේ වෙමැයි කියයි, එහෙයින් ව්‍යවහාර විපාක ඇත්තේයි අරුත්ය.
අවිජ්ජා යනු අට තැනෙක්හි නොදැනීම වූ බලවත් අවිද්‍යාවයි, නිරයට යවන්නේනුයි නිරයගාමිනියා නමි, නිරයෙහි උපදවන ප්‍රත්‍යයෝයි අරුත්ය, සෙසු තැන්හි ද මේ ක්‍රමයමැයි, චෙතනාහං යනු චෙතනං අහං යන පද දෙකයි, මෙහි සියල්ල ඇතුඑවන්නා වූ පිළියෙල කරන චේතනාව ගන්නා ලදි, චෙතයිත්වා යනු දොරටුවට පැමිණි චේතනාවයි, මනසා යනු චෙතනාව හා යෙදුණු සිතෙනි, නිරයවෛදනියං යනු නරකයෙහි විපාක දෙන්නාවූයි, සෙසු තැන්හි ද මේ ක්‍රමයමැයි, අධිමත්තං යනු බලවත් දුකයි, දන්ධවිරාගං යනු බරවූ ඉක්මණින් වහා දුරු නොවන දුකයි, උරත්තාළිං කන්දති යනු උරයට ගසමින් හඬයි, පරියෙට්ඨිං යනු සොයාබැලීමයි (පර්‍ය්‍යෙෂණයයි). එකපදං දීපදං යනු පද එකක් ඇති මන්ත්‍රයක් හෝ පද දෙකක් ඇති මන්ත්‍රයක් හෝයි, කවරෙක් මන්ත්‍රය දනිත්දැයි අරුත්ය, සම්මොහවෙපක්කං යනු සම්මොහ විපාකයයි, දුකේ සම්මොහය යනු ප්‍රවෘත්ති විපාකය නමි, දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමැයි, පර්යේෂණය ද එහි නිෂ්‍යන්ද (ප්‍රවෘත්ති) විපාකය නමි, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.