මහා වර්ගය
1. සොණ සූත්‍ර වර්ණනාව
සවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි සොණො යනු සියුමැලි සොණ තෙරණුවෝයි, සීතවනෙ යනු එසේ නම් ඇති සොහොනෙහියි, එහි පිළිවෙලින් සක්මන් පන්සියයක් මවන ලදි, ඒවා අතුරෙන් තෙරණුවෝ තමන්ට යොග්‍ය සෙනසුනක් ගෙන මහණදම් කරති, අරඹන ලද වීර්ය ඇතිව සක්මන් කරන උන්වහන්සේගේ පාදතල පැළීගියේය, දනවලින් සක්මන් කරන උන්වහන්සේගේ දන ද අත්තල ද පැළිණි, සිදුරුවිණි, මෙසේ අරඹන ලද වීර්ය ඇති උන්වහන්සේ අවභාස නිමිති මාත්‍රයකුදු දැකීමට නොහැකි වූහ. වීර්යයෙන් ක්ලාන්ත වූ ශරීරය ඇතිව සක්මන් කෙළවර හුන්නාවූ උන්වහන්සේට ඒ විතර්‍කය උපන්නේය, එය දැක්වීමට “අථ ඛො ආයස්මතො” යනාදිය කියන ලදි. එහි ආරද්ධවිරියා යනු පිරිපුන් දැඩිව ගන්නාලද වීර්යයයි, න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති යනු ඉදින් මම උග්ඝටිතඤ්ඤූ හෝ වෙම් ද විපචිතඤුඤූ හෝ වෙම් ද නෙය්‍ය හෝ වෙම් ද ඒකාන්තයෙන්ම මගේ සිත මිදෙන්නේය, යම් හෙයකින් මගේ සිත නොමිදෙන්නේද නිසැකයෙන්ම මම පදපරමයෙක් වෙමියි සනිටුහන් කොට “සංවිජ්ජන්තෙ ඛොපනෙ” යනාදිය සිතුවේය. එහි භොගා යනු උපයොගාර්ථයෙහි ස්වකර්‍මකාරක වචනයි,
පාතුරහොසි යනු තෙරුන්ගේ සිත්හසර දැන මේ සොණ තෙමේ අද සීතවනයෙහි භාවනා භූමියෙහි හුන්නේ මේ විතර්‍කය කළේය, ගොස් ඔහුගේ විර්‍තකය දුරු කොට වීණාව උපමා කොට ඇති කර්‍මස්ථානයක් කියන්නෙමැයි ඉදිරියෙහි පහළවූහ, පඤ්ඤත්තෙ ආසනෙ යනු භාවනාවෙහි යෙදෙන භික්ෂුහු තමන් වසන තැන්හි අවවාද දීමට වැඩියා වූ බුදුරජාණන් වහන්සේට වැඩහිඳීම සඳහා ලැබෙන අයුරින් අසුනක් පනවාම භාවනාව කරති, වෙනෙකක් නොලබන්නාහු පරණ කොළ අතුරා මත්තෙහි සඟළ සිවුර පනවති, තෙරණුවෝ ද අසුනක් පනවාම භාවනා කළහ. ඒ සඳහා “පඤ්ඤත්තෙ ආසනෙ”යි කියන ලදි.
තං කිං මඤ්ඤසි යනු ශාස්තෲන් වහන්සේ මේ භික්ෂුවට අවශේෂ කර්‍මස්ථානයන්ගෙන් වැඩක් නැත. මෙතෙම ගාන්ධර්‍ව (වාදන) ශිල්පයෙහි දක්‍ෂයෙකි. එය බොහෝකල් තම වසඟයෙහි තැබුවෙකි, තමන්ගේ විෂයෙහි කියනු ලබන දෙය ඉක්මණින්ම සලකාගත්තේ යයි වීණොපමාව කීමට “තං කිං මඤ්ඤසි” යනාදිය කීහ. වීණාවේ තත්ස්වරයෙහි දක්ෂතාව නම් වීණාව වයන දක්ෂතාවයි, හෙතෙමේත් එහි දක්‍ෂයෙකි, ඔහුගේ මාපියෝ අපගේ පුතා වෙනත් ශිල්පයක් උගන්නේ වෙහෙසෙන්නේය මෙය යහනෙහි සුන් කල්හිම උගෙනීමට හැකියයි ගාන්ධර්‍ව ශිල්පයම උගැන්වූවාහුය. ඔහුට :-
“ස්වර සතෙකි, ග්‍රාමතුනෙකි, මුච්ඡනා විසි එකෙකි, ස්ථාන සතළිස් නවයෙකි. මෙසේ මේ ස්වරමණ්ඩලයයි”
ආදී වූ ගාන්ධර්‍ව ශිල්පය සියල්ලම ප්‍රගුණ වූයේය. අච්චායතා යනු ඉතා දික් වූ ඛරමුච්ඡනාවයි, සරවතී යනු ස්වරයෙන් යුක්තවූයි, කම්මඤ්ඤා යනු කර්‍මක්ෂම වූ කර්‍මයට යොග්‍යවූයි, අතිසිථිලා යනු මන්දමුච්ඡනාවයි, සමෙ ගුණෙ පතිට්ඨිතා යනු මධ්‍යම ස්වරයෙහි සිට හඬ නඟන ලද්දේයි,
අච්චාරද්ධං යනු ඉතා දැඩිවූයි, උද්ධච්චාය සංවත්තති යනු ඇවිස්සුණු බව සඳහා පවතියි, අතිලීනං යනු ඉතා ලිහිල්ය, කොසජ්ජාය යනු කුසීතබව සඳහායි, විරියසමථං අධිට්ඨහ යන වීර්යයෙන් යුක්ත වූ සමථ භාවනාව අධිෂ්ඨාන කරව, වීර්යය සමථය සමග යොදව යන අර්‍ත්‍ථයයි, ඉන්ද්‍රියානඤ්ච සමතං පටිවිජ්ඣ යනු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්ගේ සමබව අධිෂ්ඨාන කරව, එහි ශ්‍රද්ධාව ප්‍රඥාව සමග ද ප්‍රඥාව ශ්‍රද්ධාව සමග ද වීර්යය සමාධිය සමග ද සමාධිය වීර්යය සමග ද යොදන ලද්දේ ඉන්ද්‍රියයන්ගේ සමතාව ඉටන ලද්දේ නම් වෙයි, සිහිය වනාහි සියලු අර්‍ත්‍ථ සදන්නේය, ඒ සිහිය හැමකල්හිම බලවත්වම වටියි, එය ද ඒවා යොදන ආකාරය ද විසුද්ධිමග්ගයෙහි ප්‍රකාශ කරන ලද්දේමය, තත්‍ථ ච නිමිත්තං ගණ්හාති යනු එය සමබවෙහි ඇති විට කැඩපතෙහි මුවබිඹුවෙන් මෙන් යම් නිමිත්තකින් උපදවියයුත්තක් වේද ඒ සමථ නිමිත්ත, විදර්‍ශනා නිමිත්ත, මාර්‍ග නිමිත්ත, හා ඵල නිමිත්ත ද ගණුව උපදවව යනුයි, මෙසේ ඔහුට භාග්‍යවතුන් වහන්සේ අරහත්වයෙහි බහා කමටහන වදාළ සේක.
තත්‍ථ ච නිමිත්තං අග්ගහෙසි යනු සමථ නිමිත්ත ද විදර්‍ශනා නිමිත්ත ද ගත්තේය, ඡට්ඨානානි යනු කරුණු සයකි, අධිමුත්තො හොති යනු විනිවිද දැන ප්‍රත්‍යක්‍ෂ කොට සිටියේ වෙයි, නෙක්ඛම්මාධිමුත්තො යනාදී සියල්ල අරහත්වය වශයෙන් කියන ලද, රහත්බව වනාහි සියලු කෙලෙසුන්ගෙන් නික්මුණු බැවින් නෙක්ඛම්මං නමි, ඒ කෙලෙසුන්ගෙන්ම වෙන්වූ බැවින් පචිවෙකො නමි, ව්‍යාපාදය නොමැති බැවින් අව්‍යාපජ්ඣං නමි, තෘෂ්ණාක්ෂය කෙළවර උපන් බැවින් තණ්හාක්ඛයො නමි, උපාදානක්ෂය කෙළවර උපන් බැවින් උපාදානක්ඛයො නමි, මුළාවීම් නොමැති බැවින් අසම්මොහො යි කියනු ලැබේ,
කෙවලං සද්ධාමත්තකං යනු ප්‍රතිවෙධ (වැටහීම්) රහිතවූයි, හුදෙක් ප්‍රතිවෙධ ප්‍රඥාවෙන් සම්මිශ්‍රණය නොවූ ශ්‍රද්ධා මාත්‍රයයි. පතිවයං යනු නැවත නැවත කිරීමෙන් වැඩීමයි, වීතරාගත්තා යනු මාර්‍ග ප්‍රතිවෙධයෙන් රාගය ඉවත්වූ බැවින් නෛෂ්ක්‍රම්‍ය සංඛ්‍යාත අරහත්වය අවබෝධ කොට ප්‍රත්‍යක්‍ෂ කොට සිටියේ වෙයි, ඵලසමවත් වාසයෙන් වෙසෙයි, ඊට යොමුවූ මනස ඇත්තේම වේ යයි අරුත්ය, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි,