6. හත්ථිසාරිපුත්ත සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි අභිධම්මකථං යනු අභිධර්‍මය මුසුවූ කථාවයි, කථං ඔපාතෙති යනු ඔවුන්ගේ කථාව සිඳ තමන්ගේ කතාව කියයි, ථෙරානං භික්ඛූනං යනු කරණාර්‍ත්‍ථයෙහි සම්බන්ධ විභක්තියි, ස්ථවිර භික්ෂුන් සමඟ යන අරුත්ය, ස්ථවිර භික්ෂූන්ගේ යම් අභිධර්‍ම කථාවක් වේද මෙතෙමේත් එය කීමට හැක්කේයයි අර්‍ත්‍ථයයි, චෙතොපරියායං යනු සිතේ හැසිරීමයි, ඉධ යනු මෙලොවෙහියි, සුරතසුරතො යනු සුරතයෙකු මෙන් සුරතවූයේයි, සුරතභාවයෙන් යුක්තවූවකු මෙනැයි අරුත්ය, නිවාතනිවාතො යනු හික්මුණකු මෙන් නික්මුණේයි හික්මුණු පැවැත්ම ඇත්තකු මෙනැයි අරුත්ය, උපසන්තුපසන්තො යනු උපශාන්තවූවකු මෙන් උපශාන්ත වූයේයි, වපකස්සතෙව සත්‍ථාරා යනු, ශාස්තෲන් වහන්සේගේ සමීපයෙන් ඉවත්ව යයි, සංසට්ඨස්ස යනු සංසර්‍ග පසින් ඇසුරු කරන ලද්දහුගේයි, විස්සට්ඨස්ස යනු අත්හරනා ලද්දහුගේයි, පාකතස්ස යනු අසංවර ඉන්ද්‍රිය ඇත්තහුගේයි.
කිට්ඨාදො යනු ධාන්‍ය කන්නායි, අන්තරධාපෙය්‍ය යනු නසන්නේය, ගොපසු යනු ගවයා ද එළුවා ද වේ, සිප්පිසම්බුකං යනු සිප්පිකටු හා හක්ගෙඩියි, සක්ඛරකඨලං යනු ගල්කැට කැබලිතියි, ආභිදොසියං යනු දන්නා ලද දොස් ඇතියි, කුරක්කන් භොජනයයි, නච්ඡාදෙය්‍ය යනු කැමති නොවන්නේය, එහි යම්මේ පුරිසං භූත්තාවිං යනු උපයොග වචනයයි. එය සම්බන්‍ධාර්‍ත්‍ථයෙහි දැක්විය යුතුයි, අමුං හාවුසො පුරිසං යනු ඇවැත්නි, මේ පුරුෂයායි,
සබ්බනිමිත්තානං යනු සියලු නිත්‍ය නිමිත්තාදී වූ නිමිතිවලයි, අනිමිත්තං චෙතොසමාධිං යනු බලවත් විදර්‍ශනා සමාධියයි, චිළිරියසද්දො යනු රැහැයි හඬයි, සරිස්සති නෙක්ඛම්මස්ස යනු පැවිද්දෙහි ගුණ සිහි කරන්නේය, අරහතං අහොසි යනු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතුන් අතුරෙහි එක් රහත් කෙනෙක් වූහ. මේ තෙරුන් වහන්සේ සත්වරක් ගිහිවී සත්වරෙක පැවිදි වූයේය, කවර කරුණකින්ද? කාශ්‍යප සම්බුදුන් වහන්සේගේ කාලයෙහි එක් භික්ෂුවකට ගිහි බවෙහි ගුණ කීහ. හෙතෙම ඒ කර්‍මයෙන් රහත්බවට හේතුසම්පත් ඇති කල්හි ද සත්වරක් ගිහිබවෙහි ද පැවිදිබවෙහි ද හැසිරෙන්නේ සත්වැනිවර පැවිදිව රහත්බවට පැමිණියේය.
7. මජ්ඣෙ සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි පාරායනෙ මෙත්තෙය්‍යපඤ්හෙ යනු පාරායන සමාගමෙහි මෙත්තෙය්‍ය මානවකයාගේ ප්‍රශ්නයෙහියි, උභන්තෙ විදිත්වාන යනු දෙකෙළවර, දෙකොටසක් දැනයි, මජ්ඣෙ මන්තා න ලිප්පති යනු මන්ත යැයි කියනුයේ ප්‍රඥාවයි, එම ප්‍රඥාවෙන් දෙකෙළවර දැන මැද නොතැවරෙයි, මැදි තන්හි නොතැවරෙයි, සිබ්බනිමච්චගා යනු සිබ්බනි (මැසීම්, ගැටලීම්) සංඛ්‍යාත තෘෂ්ණාව ඉක්මවූයේයි, ඵස්සො යනු ස්පර්‍ශ වශයෙන් උපන් බැවින් මේ ආත්මභාවයයි, එකො අන්තො යනු මේ එක් කොටසයි, ඵස්සසමුදයො යනු ස්පර්‍ශය නමැති හටගැනීම මොහුගේනුයි “ඵස්සසමුදයො” නමි, මේ අත්බැව්හි කළ කර්‍මස්පර්‍ශය හේතුකොට ගෙන හටගත් අනාගත ආත්මභාවයයි, දුතියො අන්තො යනු මේ දෙවැනි කොටසයි, ඵස්සනිරොධො යනු නිවනයි, මජ්ඣෙ යනු සිබ්බනිසංඛ්‍යාත තෘෂ්ණාව බිඳ දෙකඩකිරීම් අරුතින් නිවන මජ්ඣෙ නම් වෙයි, තණ්හා හී නං සිබ්බති යනු තෘෂ්ණාව ඒ ආත්මභාව දෙක නමැති ස්පර්‍ශයත් ස්පර්‍ශසමුදයත් මසයි, ගැටලයි, කවර කරුණින්ද යත්? තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා යනු ඉදින් තෘෂ්ණාව එකට ගැටනොලයිද ඒ ඒ භවයාගේ උපතක් සිඳුනොවන්නේය, මෙතැන්හි කොටිමජ්ඣික උපමාව ගනිත්, හීදඬු දෙකක් එක්කොට මැද නුලෙන් මසන ලද්ද “කොටිමජ්ඣං”යි කියනු ලැබේ, නුල කැඩුණු විට හීදඬු දෙක දෙපසින් වැටෙයි, මෙසේම හීදඬු දෙක මෙන් කියන ලද ආකාර ඇති අන්ත දෙක මසා සිටි නුල මෙන් තෘෂ්ණාවයි, නූල සිඳුණුවිට හීදඬු දෙක දෙපසින් වැටීම මෙන් තෘෂ්ණාව නැති වූ විට දෙකෙළවර නැතිවූයේම වෙයි, එත්තාවතා යනු මෙපමණකින් මෙයින් දෙකෙළවර දැන තෘෂ්ණාවෙන් මැද නොතැවරීමෙන් දතයුතු සිවුසස් දහම් මනාව දනියි, තීරණ පරිඤ්ඤාවෙන් ද පහාන පරිඤ්ඤාවෙන් ද දතයුතු ලෞකික සත්‍ය දෙක දනියි නමි. දිට්ඨෙව ධම්මෙ යනු මේ අත්බැව්හිමයි, දුක්ඛස්සන්තකරො හොති යනු සසර දුක කෙළවර කරන්නේ සිඳ සුන්කරන්නේ වෙයි නමි,