10. සීහනාද සූත්ර වර්ණනාව
දසවැන්නෙහි ආසභං ඨානං යනු ශ්රේෂ්ඨ වූ නිසල තැනයි, සීහනාදං යනු අභීත නාදයයි. ප්රධාන නාදයයි, බ්රහ්මචක්කං යනු පටිවෙධඤාණය හා දෙසනා ඤාණය නම් වූ ශ්රේෂ්ඨ ඥානචක්රයයි, ඨානඤ්ච ඨානතො යනු කාරණයෙන් කාරණය යනුයි, යම්පි යනු යම් කරුණකිනි. ඉදම්පි තථාගතස්ස යනු ඨානාඨාන ඤානයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයත් නම් වෙයි, මෙසේ සියලු පදයන්හි අර්ත්ථය දතයුතුය. කම්මසමාදානානං යනු පිළිගෙන (සමාදන් වී) කළ කුශලාකුශලකර්මයන්ගේයි, කර්මයම හෝ කම්මසමාදාන නමි, ඨානසො හෙතුසො යනු ප්රත්යයන්ගෙන් මෙන්ම හේතූන්ගෙන් ද යනුයි, එහි ගති, උපධි, කාල, ප්රයොග යන මේවා විපාකයට ප්රත්යයයි, කර්මය හේතුවයි, ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං යන සතර ධ්යානයන්ගේ විමොක්ෂ අටේ සමාධි තුනේ අනුපුර්වසමාපත්ති නවයේයි, සංකිලෙසං යනු පිරිහීම් පක්ෂයෙහි වූ ධර්මයයි, වොදානං විශේෂ පක්ෂයෙහි වූ ධර්මයයි, වුට්ඨානං යනු “වොදානම්පි වුට්ඨානං තම්හා සමාධිමහා වුට්ඨානම්පි වුට්ඨානං”යි මෙසේ කියන ලද ප්රගුණ ධ්යානය මෙන්ම භවඞ්ගඵලසමාපත්තීහු ද යනුයි, යට යටවූ ප්රගුණ ධ්යානය මත්තෙහි මත්තෙහි වූ ධ්යානයට පදට්ඨානය වෙයි, එහෙයින් වොදානම්පි වුට්ඨානංයි කියන ලදි. භවාඞ්ගයෙන් සියලු ධ්යානයන්ගෙන් නැගීසිටීම වෙයි, පලසමවතින් නිරොධසමාපත්තියෙන් නැගීසිටීම වෙයි. එය සඳහා තම්හා තම්හා සමාධිම්හා වුට්ඨානම්පි වුට්ඨානංයි කියන ලදි, අනෙකවිහිතං යනාදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලදී, ආසවක්ඛය ඤාණය යට කියනලද අර්ත්ථය ඇත්තේම වේ. මුල් ඥාන තුනේ විස්තර කථාව කැමත්තහු විසින් මජ්ඣිමට්ඨකථාවෙහි මහාසීහනාද වර්ණනාව බැලිය යුතුය, සමාහිතස්ස යනු එකඟ වූ සිතේයි, සමාධිමග්ගො යනු සමාධිය මේ ඥානයෙන් ලබාගැනීම සඳහා උපායයි, අසමාධි යනු එකඟ නැති බවයි, කුම්මග්ගො යනු වැරදි මගයි, මේ සූත්රයෙහි තථාගතයන් වහන්සේගේ ඥානබලය කියන ලදි.
සයවැනි වර්ගයයි.
2. අනාගාමී වර්ගය
1-3. අනාගාමිඵල ආදි සූත්ර වර්ණනා
සත්වැනි වර්ගයේ පළමු සූත්රයෙහි අස්සද්ධියං යනු අශ්රද්ධභාවයයි, දුප්පඤ්ඤතං යනු ප්රඥාව නැති බවයි, දෙවැන්නෙහි පමාදං යනු සිහියෙන් තොරව විසීමයි, තෙවැන්නෙහි ආභිසමාචාරීකං යනු උත්තම සමාචාරවූ වත් වශයෙන් පැණවූ සීලයයි, සෙඛං ධම්මං යනු ශෛක්ෂයන් වශයෙන් පැනවූ ශීලයයි, සීලානි යනු සතර මහා ශීලයෝයි.
4. සඞ්ගණිකාරාම සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි සඞ්ගණිකාරාමො යනු සමූහයා ඇසුරෙහි සිටීමේ කැමැත්තයි, සුත්තන්තික ගණාදී වූ ගණයන් (සමූහයන්) කෙරෙහි වනාහි තමාගේ හෝ පිරිස් නැමැති සමූහයෙහි ඇලෙයි යනු ගණාරාමො නමි, පච්චෙකෙ යනු කායවිවේකයෙහියි, චිත්තස්ස නිමිතත්තං යනු සමාධි විදර්ශනා සිතේ නිමිත්තයි, සමාධි විදර්ශනාකාරයයි, සම්මාදිට්ඨිං යනු විදර්ශනා සම්යදෘෂ්ටියයි, සමාධිං යනු මාර්ග සමාධිය මෙන්ම ඵලසමාධියයි, සංයොජනානි යනු දස සංයෝජනයෝයි, නිබ්බානං යනු ප්රත්යය රහිත පිරිනිවුමයි,
5. දේවතා සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි සොවචස්සතා යනු සුවච බවයි. කල්යාණමිත්තතා යනු පිරිසුදු මිතුරන් ඇති බවයි, සත්ථුගාරවො යනු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්තවූයේයි, සියලු තැන්හි මේ ක්රමයයි.
6. සමාධි සූත්ර වර්ණනාව
සයවැන්නෙහි න සන්තෙන යනු විරුද්ධ කෙලෙසුන්ගෙන් නොසන්සිඳුනාවූයි, න පණිතෙන යනු තෘප්ත නොවන්නාවූයි, න පටිප්පස්සද්ධිලද්ධෙන යනු කෙලෙස් යටපත් කිරීම නොලබනලද නොපැමිණිවූයි, න එකොදිභාවාධිගතෙන යනු එකඟ බවට නොගියානු විසිනි,
7. සක්ඛිභබ්බ සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි තත්ර තත්ර යනු ඒ ඒ විශේෂයෙහියි, සක්ඛි භබ්බතං යනු ප්රත්යක්ෂ භාවයයි, ආයතනෙ යනු කාරණයෙහියි, හානභාගියා ආදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලදි, අසක්කච්චකාරි යනු නොමනාව කරන්නේයි, අනදරින් කරන්නේයි, අසප්පායකාරි යනු යොග්ය දේ නොකරන්නේයි, උපකාරවත් දෙය නොකරන්නේයි.
8. බල සූත්ර වර්ණනාව
අටවැන්නෙහි බලතං යනු ශක්තිමත් බවයි, දැඩි බවයි, අසාතච්චකාරි යනු නිරතුරු නොකරන්නායි, සෙස්ස යට කියන ලද ක්රමය ඇත්තේමය.
9. පඨමජ්ඣාන සූත්ර වර්ණනාව
නවවැන්නෙහි න යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨො හොති යනු වස්තූ කාම ක්ලෙශ කාමයන්’හි ආදීනවය ඇති සැටියෙන් ධ්යාන ප්රඥාවෙන් මනාව නොදක්නා ලද්දේ වෙයි, දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
සත්වැනි වර්ගයයි
3. අරහත්ත වර්ගය
1. දුක්ඛ සූත්ර වර්ණනාව
අටවැනි වර්ගයෙහි පළමු සුත්රයෙහි සවිඝාතං යනු පෙළීම් සහිතවූයි, උවදුරු සහිතවූයි, සපරිළාහං යනු කායික චෛතසික දැවිල්ලෙන් දැවිලි සහිතවූයි, පාටිකඞ්කා යනු කැමති විය යුතු, අවශ්යයෙන් සිදුවන්නාවූයි.
2. අරහත්ත සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි මානං යනු ජාති ආදීන්ගෙන් සිතීමයි. ඔමානං යනු මම පහත් වෙමියි මානයයි, අතිමානං යනු ඉක්මවා පැවති ඉතා උසස් යැයි සිතන අතිමානයයි, අධිමානං යනු ලබාගත් මානයයි, ථම්භං යනු කොධමානයන්ගෙන් දැඩිබවයි, අතිනිපාතං යනු පහත් වූවහුගේ මම පහත් වෙමැයි යන මානයයි.
3. උත්තරිමනුස්සධම්ම සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි උත්තරිමනුස්සධම්මො යනු මනුෂ්ය ධර්මයන්ගෙන් මත්තෙහි වූයි, අලමරියඤාණදස්සනං යනු ආර්ය්යභාවය කිරීමට සමත් ඥානදර්ශන විශේෂයයි. සතර මඟ හා සතර පල යන අරුත්ය, කුහනං යනු තෙවැදෑරුම් වඤ්චනික වස්තුවයි, ලපනං යනු ලාභලබනු කැමැත්තෙන් උස්කොට හෝ පහත්කොට හෝ කීමයි.