7. ඡළඞ්ගදාන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි වෙළුකණ්ඩකී යනු වෙළුකණ්ඩක නම් නුවර වැසියෙකි, ජළඞ්ගසමන්නාගතං යනු ගුණාංග සයකින් යුක්තවූයි, දක්ඛිණං පතිට්ඨාපෙති යනු දානයක් දෙයි, පුබ්බෙව දානා සුමනො යනු දානයක් දෙමැයි මසක අඩමසක පටන් සොම්නසට පත්වූයේ වෙයි, මෙහි මුල්ම චෙතනාව දෙමැයි සිත පහළවන කාලයේ සිට මෙයින් හටගත් දෙයින් දානය දෙමැයි කුඹුර ගැන සිතීම ආදි කොට සිතන්නාට ලැබෙයි, දදං චිත්තං පසාදෙති යනු මෙසේ කියන ලද මුඤ්චන චෙතනාව දන්දෙන අවස්ථාවෙහිම ලැබෙයි, දත්වා අත්තමනො හොති යනු මේ අපර චේතනාව මතුමත්තෙහි සිහිකරන්නට ලැබෙයි, වීතරාගා යනු පහවූ රාග ඇත්තාහු, පහවූ ආශ්‍රව ඇත්තාහුයි, රාගවිනයාය වා පටිපන්නා යනු රාගය දුරු කරන පිළිවෙතට පිළිපන්නාවූයි, මේ වනාහි උත්කෘෂ්ට දේශනාවයි, හුදෙක් ක්ෂීණාශ්‍රවයන්ට පමණක් නොව අනාගාමි සකෘදාගාමි සෝවාන් බවට පත්වූවන්ට ද යටත් පිරිසෙයින් එදවස පැවිදි වූ භාණ්ඩ පිළිගන්නා හෙරණකුට වුව ද දුන් දානය ගුණාංග සයෙන් යුක්තවූයේ වෙයි, හෙතෙමේ ද සෝවාන් මාර්‍ගය සඳහාම පැවිදිවූයේයි,
යඤ්ඤස්ස සම්පදා යනු දානය පිරිපුන් බවයි. සඤ්ඤතා යනු සීල සංවරයෙන් සන්සුන් වීමයි, සයං ආචමයිත්වාන යනු තමාම අත්පා දොවා මුව (කට) සෝදායි, සෙහි පාණීහි යනු තම අත්වලිනි, සකෙහි යනු ද පාඨයි, සද්ධො යනු තෙරුවන ගුණය අදහන්නේයි, මුත්තෙන චෙතසා යනු ලාභයෙහි මසුරුබව ආදියෙන් මිදුනු සිතෙනි, අව්‍යාපජ්ඣං සුඛං ලොකං යනු නිදුක් වූ මහත් සුව සොම්නස ඇති දෙව්ලොවයි,
8. අත්තකාර සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අද්දසං වා අස්සොසිං වා යනු ඇස්හැර නොදුටුවෙමි, අසුවල් නම් තැන වෙසේයයි නොඇසීමි, කියන්නාගේ හෝ වචනය නොඇසීමි, කථං හි නාම යනු කවර නම් කරුණෙන්ද යනුයි, ආරම්භධාතු යනු පටන් ගැනීම් වශයෙන් පැවති වීර්යයයි, නික්ඛමධාතු යනු කුසීත බවින් නික්මෙන ස්වභාවය ඇති වීර්යයි, පරක්කමධාතු යනු පරාක්‍රම ස්වභාවයයි, ථාමධාතු යනු සවිමත් ස්වභාවයයි, ඨිතිධාතු යනු ස්ථිරව සිටීමේ (පවත්වා ගැනීමේ) ස්වභාවයයි, උපක්කමධාතු යනු උපක්‍රම ස්වභාවයයි, මේ සියල්ලම ඒ ඒ ආකාරයෙන් පැවති වීර්යයේ නම්ය.
9. කම්මනිදාන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි කම්මානං යනු සංසාරගාමී කර්‍මයන්ගේයි, සමුදයාය යනු පිඬුකිරීම සඳහායි, නිදානං යනු ප්‍රත්‍යයයි, ලොභජෙන යනු ලොබින් හට ගැනීමෙනි, න පඤ්ඤායන්ති යනු මෙබඳු වූ කර්‍මයෙන් උපන්නෝයි නොදක්නා ලැබෙත්, යහපත් පැත්තෙහි කම්මානං යනු නිර්‍වාණගාමී කර්‍මයන්ගේයි, මෙසේ මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
10. කිම්බිල සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි නිචුලවනෙ යනු මහා මුචලින්ද වනයෙහියි, සද්ධම්මො යනු ශාසනික සද්ධර්‍මයයි.
11. දාරුක්ඛන්ධ සූත්‍ර වර්ණනාව
එකළොස් වැන්නෙහි චෙතොචසිප්පත්තො යනු සිතේ වශීබවට පත් වූයේයි, පඨවීතෙව අධිමුච්චෙය්‍ය යනු තදබව පඨවිධාතුව යැයි සලකන්නේය, යං නිස්සාය යනු පවත්නා දැඩි බව ඇති යම් පඨවිධාතුවක් නිසා මේ දැවගොඩ පඨවිධාතුවමැයි සලකන්නේය, ඒ පෘථිවිධාතුව මෙහි ඇතැයි මේ ආකාරයෙන් සෙසු පදයෝ ද දතයුත්තාහ. යම්සේ එහි දැඩිබව ඇති පෘථිවිධාතුව ඇත්ද එසේ යුෂ (ද්‍රව) ආකාරය ඇති ආපොධාතුව උෂ්ණාකාර වූ තෙජොධාතුව, පැතිරීම් ආකාර ඇති වායොධාතුව රතු පැහැති සාරයෙහි නෙළුම් මලක් පැහැය ඇති සුභධාතුව ද කුණු වූ සුණෙහි මෙන්ම ඵළයෙහි හා වියලි පොතුවල ද අසුභ ධාතුව එය ඇසුරු කොටම මේ දැව ගොඩ අසුභ යයි සලකන්නේය, මේ සූත්‍රයෙහි මිශ්‍රක විහාරය නම්වූ දෙය කියන ලදි.
12. නාගිත සූත්‍ර වර්ණනාව
දොළොස්වැන්නෙහි, ගාමන්තවිහාරිං යනු ග්‍රාමාන්ත සෙනසුන් වැසිවූයි, සමාහිතං නිසින්නං යනු ඒ ග්‍රාමාන්ත සෙනසුනෙහි සමාධිය නංවා හුන්නාවූයි, ඉදානිමං යනු දැන් මෙයයි, සමාධිම්භා චාචෙස්සති යනු සමාධියෙන් නැඟී සිටින්නේය, න අත්තමනො හොමි යනු ස්වකීය මනස ඇත්තේ නොවෙමි, පචලායමානං යනු නිදන්නාවූයි, එකත්තං යනු එකස්වභාවයයි, එකඟ බවට පත්වූයි, අරණ්‍ය සංඥාවම සිතෙහි කරන්නේ යයි අරුත්ය, අනුරඛිස්සති යනු අනුග්‍රහ කරන්නේය, අවිමුත්තං වා චිත්තං විමොචෙස්සති යනු අන්කල්හි නොමිදුනු සිත දැන් පස් විමුක්තීන්ගෙන් මුදන්නේය, රිඤ්චති යනු අත්හරියි දුරු කරයි, පටිපණාමෙත්වා යනු ඉවත්කොට දුරුකොටයි, උච්චාරපස්සාවකම්මාය යනු මළමූ පහකිරීම සඳහාය, මෙයින් මෙපමණ තැනකින් ශාස්තෲන් වහන්සේ විසින් අරණ්‍ය සේනාසනයේ ගුණය කියන ලදි, සුත්‍රයේ පළමු කොටසෙහි යමක් කිවයුතුද එය යට කියන ලද්දේමය.
සිවුවැනි වර්‍ගයයි.
5. ධම්මික වර්ගය
1. නාග සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි ආයස්මතා ආනන්දෙන සද්ධිං යනු මෙය එන්න ආනන්ද යයි තෙරුන් අමතා ගිය බැවින් කියන ලදි, ශාස්තෲන් වහන්සේ නො අඩුවූ පන්සියයක් භික්ෂූන් විසින් පිරිවරණ ලද සේක් එහි වැඩිසේකැයි දතයුතුය, තෙනුපසඞ්කමි යනු ඒ භික්ෂූන් පන්සියය විසින් පිරිවරණ ලද්දේ එළඹියේය, පරිසිඤ්චිත්වා යනු මෙය ව්‍යවහාර වචනයකි, ස්නානය කොට යන අරුත්ය, පුබ්බාපයමානො යනු රත් දෙපට සිවුර හැඳ උත්තරාසංග සිවුර දෙඅතින් ගෙන පෑළඳිග ලොව පිටුපසින් කොට පෙරදිග ලෝකධාතුවට අභිමුඛ වූයේ දියනැති බැවින් අවයව තිබුණු ලෙසින්ම කරමින් සිටියේයයි අරුත්ය. භික්ෂු සංඝයා ද ඒ ඒ තැනින් බැස නහා යළි ගොඩනැඟී ශාස්තෲන් වහන්සේ පිරිවරා සිටියේය. මෙසේ මෙකල්හි අහසින් වැටෙන රත්රන් කඩොලක් මෙන් හිරු පැළදිග ලෝක ධාතුවට පිළිපන්නේය. පිරිසුදු රිදී මඬුල්ලක් මෙන් පෙරදිග ලොවින් චන්ද්‍රයා මතුවූයේය, මැද පන්සියයක් භික්ෂූන් පිරිවර කොට ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවණක් බුදුරැස් විහිදුවමින් පුබ්බකොට්ඨක නදී තෙර ලොව අලංකාර කරමින් සිටිසේක.