1. ප්‍රථම පණ්ණාසකය
1. ආහුනෙය්‍යවර්‍ගය
1. පඨමාහුනෙය්‍ය සූත්‍ර වර්ණනාව
ඡක්ක නිපාතයෙහි පළමු සූත්‍රයෙහි ඉධභික්ඛවෙ භික්ඛු යනු මහණෙනි, මේ සසුනෙහි භික්ෂුවයි, නෙව සුමනො හොති න දුම්මනො යනු ඉටු අරමුණෙහි ඇලීම සමග හටගත් සොම්නසින් සතුටු සිත් ඇත්තේ හෝ අනිටු අරමුණෙහි ද්වෙෂය සමඟ හටගත් දොම්නසින් අසතුටු සිත් ඇත්තේ හෝ නොවෙයි, උපෙඛකො විහරති සතො සම්පජානො යනු මැදහත් අරමුණෙහි අසමව බැලීමෙන් නොදැනීමේ උපේක්ෂාවෙන් උපෙක්ෂක බවට නොපැමිණ සිහිනුවණ ඇත්තේ වී අරමුණෙහි මැදහත්ව වසයි, මේ සූත්‍රයෙහි ක්ෂීණාශ්‍රවයාගේ නිබඳ විසීම කියන ලදි.
2-4. දුතියාහුනෙය්‍ය ආදි සූත්‍ර වර්ණනා
දෙවැනි සූත්‍රයෙහි අනෙකවිහිතං ඉද්ධිවිධං යනාදිය විසුද්ධි මග්ගයෙහි දී කියන ලද්දේමය, ආසවනං ඛයා අනාසවං යනු ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව ඇත්තේයි, චක්ෂුර් විඥානාදිය මෙන් අභාවයෙන් නොවේ. මේ සූත්‍රයෙහි ක්ෂීණාශ්‍රවයාගේ අභිඥා ප්‍රතිපදාව කියන ලදි, තෙවැනි සිවුවැනි සූත්‍රයන්හි ක්ෂීණාශ්‍රවයාම කියන ලදි.
5-7. පඨමජානීය ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි අඞ්ගෙහි යනු ගුණාඞ්ගයන්ගෙනි, ඛමො යනු ඉවසන්නායි, රූපානං යනු රූපාරම්මණයන්ගේයි, වණ්ණසම්පන්නො යනු ශරීර වර්‍ණයෙන් යුක්ත වූයේයි, බලසම්පන්නො යනු ශරීර බලයෙන් යුක්තවූයේයි, සත්වැන්නෙහි ජවසම්පන්නො යනු පාදජවයෙන් යුක්තවූයේයි,
8. අනුත්තරිය සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අනුත්තරියානි යනු අනෙක් උත්තරීතරවූවකු නැතිවූයි, නිරුත්තරවූයි, දස්සනානුත්තරියං යනු රූප දර්‍ශනයන් අතුරෙන් ශ්‍රේෂ්ඨයි, සියලු පදයන්හි මේ ක්‍රමයයි, හත්‍ථිරත්නාදීන්ගේ දර්‍ශනය දර්‍ශනානුත්තරිය නොවේ, තහවුරු වූ ශ්‍රද්ධාව ඇත්තාට තහවුරු වූ ප්‍රේම වශයෙන් දශබලයන් වහන්සේ හෝ භික්ෂු සංඝයා හෝ කසිණ අශුභ නිමිත්තාදීන් අතුරෙන් යම්කිසිවක් හෝ දැකීම දස්සනානුත්තරිය නමි, කෘත්‍රිය ආදීන්ගේ ගුණකථා ඇසීම සවනානුත්තරිය නොවේ, තහවුරු වූ සැදැහැ ඇත්තාට තහවුරු වූ ප්‍රේම වශයෙන් තෙරුවන ගුණකථා ඇසීම හෝ ත්‍රිපිටක බුද්ධ වචනය ඇසීම හෝ සමනානුත්තරිය නමි, මිණිරුවන් ආදිය ලැබීම ලාභානුත්තරිය නොවේ. සත්වැදෑරුම් ආර්‍ය්‍ය ධනය ලැබීම ලාභානුත්තරිය නමි, හත්‍ථි ශිල්පාදිය ඉගෙනීම සික්ඛානුත්තරිය නොවේ, ත්‍රිශික්ෂාව සම්පූර්‍ණ කිරීම සික්ඛානුත්තරිය නමි. ක්‍ෂත්‍රියයන්ට සේවය කිරීම පාරිචරියානුත්තරිය නොවේ, තෙරුවනට සේවය කිරීමම පාරිචරියානුත්තරිය වේ, ක්ෂත්‍රිය ආදීන්ගේ ගුණ සිහිකිරීම අනුස්සතානුත්තරිය නොවේ, තෙරුවන ගුණ සිහිකිරීම අනුස්සතානුත්තරිය නමි. මේ ලෞකික ලෝකෝත්තර වූ අනුත්තරිය සය කියන ලදි.
9. අනුස්සතිට්ඨාන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි බුද්ධානුස්සති යනු බුදු ගුණය අරමුණු කොට ඇති සිහියයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි.
10. මහානාම සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි මහානාමො යනු දශබලයන් වහන්සේගේ සුළුපියාගේ පුත් වූ එක් ශාක්‍ය රජකෙනෙකි, යෙන භගවා තෙනුපසංකමි යනු වැළඳූ උදා ආහාර ඇත්තේ වී දාස පරිජනයන් විසින් පිරිවරණ ලද්දේ ගඳමල් ආදිය ගෙන්වා ගෙන ශාස්තෲන් වහන්සේ යම් තැනකද එතැනට ගියේය. මොහුට ආර්‍ය්‍යඵල පැමිණියේයි ආගතඵලො නමි, මොහු විසින් ශික්ෂාත්‍රය ශාසනය දන්නා ලදනුයි විඤ්ඤාතසාසනො නමි, මෙසේ මේ රජතෙමේ සෝවාන් වූවහුගේ නිශ්‍රය විහාරය විමසමැයි අසන්නේ මෙසේ කීය.
නෙවස්ස රාගපරියුට්ඨිතං යනු උපදිනු ලබන රාගයෙන් නොගන්නා ලදයි, උජුගතං යනු බුද්ධානුස්සති කර්‍මස්ථානයෙහි සෘජුවම ගියේයි, තථාගතං ආරබ්හ යනු තථාගත ගුණයන් අරභයායි, අත්‍ථවෙදං යනු අර්‍ත්‍ථ කථා ඇසුරුකොට උපන් ප්‍රීති ප්‍රමෝදයයි, ධම්මවෙදං යනු පෙළ නිසා උපන් ප්‍රීති ප්‍රමෝදයයි, ධම්මුපසංහිතං යනු පෙළත් අටුවාවත් නිසා උපන්නාවූයි, පමුදිතස්ස යනු දෙවදෑරුම් ප්‍රීති ප්‍රමෝදයෙන් ප්‍රමුදිත වූවහුටයි, පීති ජායති යනු පස් ආකාර ප්‍රීතිය උපදියි, කායො පස්සම්හති යනු නාමකාය ද භෞතික කාය ද උවදුරු දුරුවීමෙන් සංසිඳෙයි. සුඛං යනු කායික චෛතසික සුවයයි, සමාධියති යනු අරමුණෙහි මනාව තබන ලද්දේ වෙයි, විසමගතාය පජාය යනු රාගදොස මෝහයන්ගෙන් විසමබවට ගිය සත්ත්වයන් කෙරෙහියි, සම්ප්පත්තො යනු සමබවට සංසිඳීමට පැමිණියේ වීයි, සව්‍යාපජ්ඣාය යනු විදර්‍ශනා සංඛ්‍යාත වූ ධර්‍ම ශ්‍රොතයට සැපැමිණියේයි, බුද්ධානුස්සතිං භාවෙති යනු බුද්ධානුස්සති කමටහන වඩයි, දියුණු කරයි, මේ ක්‍රමයෙන් සියල් තැන්හි අර්‍ත්‍ථය දතයුතුයි, මෙසේ මහානාම තෙමේ සෝවාන් වූවහුගේ නිශ්‍රය පැවැත්ම විමසීය. ශාස්තෲන් වහන්සේ ද ඔහුට එයම දෙසූ සේක. මෙසේ මේ සූත්‍රයෙහි සෝවාන් තැනැත්තේම කියන ලදි.
පළමුවැනි ආහුනෙය්‍ය වර්‍ගයයි.
2. සාරණීය වර්ගය
1. පඨමසාරණීය සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්‍ගයේ පළමු සූත්‍රයෙහි සාරාණීයා යනු සිහි කළයුතුදැයි, මෙත්තං කායකම්මං යනු මෙත් සිතින් කළයුතු කායකර්‍මයයි, වාග්කර්‍ම මනො කර්‍මයන්හි ද මෙසේමය, මේවා භික්ෂූන්ට වශයෙන් ආයේයි, ගිහියන් කෙරෙහි ද ලැබෙයි, භික්‍ෂූන්ට වනාහි මෙත් සිතින් ආභිසමාචාරික ධර්‍මය සපිරීම මෛත්‍රීකායකර්‍මය නමි, ගිහියන්ට සෑවැදීම සඳහා, බෝධිය වැදීම සඳහා සංඝයාට ඇරයුම් කිරීම සඳහා යාම, ගමට පිඬු පිණිස වැඩි භික්ෂුව දැක පෙරගමන් කිරීම, පාත්‍රය පිළිගැනීම, අසුන් පැනවීම, අනුගමනය කිරීම යන මේ ආදිය මෛත්‍රීකායකර්‍මය නමි,