4. දෙවතා වර්ගය
1. සෙඛ සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි සෙක්ඛස්ස යනු සත්වැදෑරුම් ශෛක්ෂයාගේයි, පෘථග්ජනයා ගැන කිවයුත්තක්ම නැත. පරිහානාය යනු මතු මත්තෙහි වූ ගුණයන්ගෙන් පිරවීම සඳහාය,
2-3. ප්‍රථම අපරිහාන ආදි සූත්‍ර වර්ණනා
දෙවැන්නෙහි සත්‍ථුගාරවතා යනු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කිරීමයි, ධම්මගාරවතා යනු නවලොවුතුරු දහම්හි ගෞරවයයි, සඞ්ඝගාරවතා යනු සඝයා කෙරෙහි ගෞරවයයි, සික්ඛාගාරවතා යනු ත්‍රිවිධ ශික්ෂාවෙහි ගරුකිරීමයි, අප්පමාදගාරවතා යනු අප්‍රමායෙහි ගරුකිරීමයි, පටිසන්ථාරගාරවතා යනු ධර්‍ම ආමිෂ වශයෙන් දෙවැදෑරුම් වු පිළිසඳරෙහි ගෞරවයයි, ගාථාවෙහි ශාස්තෲන් වහන්සේ මොහුට ගරුවන්නේනුයි සත්‍ථුගරු නමි, ධර්‍මය මොහුට ගරු වන්නේනුයි ධම්මගරු නමි, තිබ්බගාරවො යනු බහුල ගෞරවයයි, පිළිසඳරෙහි ගෞරවය ඇත්තේ මොහුටනුයි පටිසන්ථාරගාරවො නමි, තෙවැන්නෙහි සප්පතිස්සො යනු ජ්‍යෙෂ්ඨයෙක් සහිතවූයේ, ගෞරවය සහිතවූයේයි:
4. මොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි තිස්සො නාම භික්ඛු යනු තෙරුන්ගේම සද්ධිවිහාරිකයෙකි, මහිද්ධිකො මහානුභාවො යනු සමෘද්ධවීමේ අර්‍ත්‍ථයෙන් මහත් සෘද්ධිය ඇත්තේ මොහුටනුයි මහිද්ධිකො නමි, පැතිරීමේ අරුතින් මහත් ආනුභාවය ඇත්තේ මොහුටනුයි මහානුභාවො නමි. චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන ඉමං පරියායමකාසි යනු ලෝකයෙහි ප්‍රකෘතියෙන්ම මෙබඳු වූ ප්‍රිය ගෙන දෙන වචනයක් වෙයි, ලෝවැසියෝ “බොහෝ කලකින් ආවාවූද, නොආවිරූවූද පැමිණි හිතවතකු දැක පින්වත, කොහි සිට ආවෙහිද? පින්වත් බොහෝ කලකින් ආවෙහිය, කෙසේ ඔබට මෙහි එන මග වැටහුනේද? කිම මංමුළාවූයෙහිද” ආදිය කියත්. මෙතෙම වනාහි පැමිණිවිරූ බැවින් මෙසේ කීවේය. තෙරණුවෝ කලින් කලට බ්‍රහ්මලෝකයට යත්මය, එහි පරියායමකාසි යනු වාරයක්, අවස්ථාවක් කළේය, යදිදං ඉධාගමනා යනු මෙහි පැමිණීම සඳහා මේ යම් වාරයක් වේද එය බොහෝ කලකින් කළේයයි කියන ලද්දේ වෙයි, ඉදමාසනං පඤ්ඤත්තං යනු මහත් වටිනා බ්‍රහ්මපර්‍ය්‍යඞ්කය පනවා මෙසේ කීවේය. අවෙච්චප්පසාදෙන යනු අවබෝධ කළ නොසැලෙන මාර්‍ගප්‍රසාදයෙනි, මේ සූත්‍රයෙහි සෝවාන් මග නුවණ කියන ලදි.
5. විජ්ජාභාගිය සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි, විජ්ජාභාගියා යනු විද්‍යාවට අයත් කොටස්ය, අනිච්චසඤ්ඤා යනු අනිත්‍යානුපස්සනාඥානයෙහි උපන් සංඥාවයි. අනිච්චෙ දුක්ඛසඤ්ඤා යනු දුක්ඛානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි, දුක්ඛෙ අනත්තසඤ්ඤා යනු අනත්තානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි. පහානසඤ්ඤා යනු පහානානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි, විරාගසඤ්ඤා යනු විරාගානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි. නිරොධසඤ්ඤා යනු නිරොධානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි.
6. විවාදමූල සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි විවාදමූලානි යනු විවාදයට මුල් වූ කරුණුයි. කොධනො යනු කිපෙන ලක්‍ෂණ ඇති ක්‍රොධයෙන් යුක්තවූයේයි, උපනාහී යනු වෛරය අත්නොහරින ලක්ෂණය ඇති උපනාහයෙන් යුක්තවූයේයි. අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං යනු භික්ෂූන් දෙදෙනකුගේ විවාදය කෙසේ දෙව්මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතියේද? කොසම්බක්ඛන්ධකයෙහි මෙන් භික්ෂුන් දෙදෙනකු විවාදයට එළැඹුණු විට ඔවුන්ගේ ඇතැවැස්සෝ විවාද කරති, ඔවුන්ගේ අවවාද ගන්නා වූ භික්ෂුණී සංඝයා විවාද කරයි, ඉක්බිති ඔවුන්ගේ උපස්ථායකයෝ විවාද කරත්, ඉක්බිති මිනිසුන්ගේ ආරක්‍ෂක දෙවිවරු දෙකොටසක් වෙති, එහි ධර්‍මවාදීන්ගේ ආරක්‍ෂක දෙවියෝ ධර්‍මවාදීහු වෙත්, අධර්‍මවාදීන්ගේ ආරක්‍ෂක දෙවිවරු අධර්‍මවාදීහු වෙත්. එයින් ආරක්ෂක දෙවිවරුන්ගේ මිත්‍ර වූ බුමාටු දෙවියෝ බිඳත්, මෙසේ පිළිවෙලින් බඹ ලොව දක්වා ආර්‍ය්‍යශ්‍රාවකයන් හැර සියලු දෙවිමිනිස්සු දෙකොටසක් වෙති, ධර්‍මවාදීන්ගෙන් අධර්‍මවාදීහුම බොහෝ වෙත්. ඉක්බිති බොහෝ දෙනකු විසින් යමක් ගන්නා ලද්දේ වෙයිද එතැනට යති, ධර්‍මය අතහැර බොහෝ දෙනෙක් අධර්‍මය ගනිති, ඔවුහු අධර්‍මය පෙරදැරි කොට වසන්නාහු අපායෙහි උපදිති, මෙසේ භික්ෂූන් දෙදෙනෙකුගේ විවාදය දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතියි, අජ්ඣත්තං වා යනු නුඹලාගේ ඇතුළත පිරිසේයි, බහිද්ධා යනු අනුන්ගේ පිරිසේයි,
මක්ඛී යනු අනුන්ගේ ගුණ මකන ලක්‍ෂණය ඇති මකුබවින් යුක්තවූයේයි, පළාසී යනු වියගහ ගැනීම (බර කරට ගැනීම) ලක්ෂණය කොට ඇති පළාසයෙන් (කුඩුකේඩුකමින්) යුක්ත වූයේයි, ඉස්සූකී යනු අනුනට කෙරෙන සත්කාර ආදියෙහි නොඉවසීම ලක්ෂණ කොට ඇති ඊර්‍ෂ්‍යාවෙන් යුක්තවූයේයි, මච්ඡරී යනු ආවාස මසුරුකම් ආදියෙන් යුක්තවූයේයි, සඨො යනු කෛරාටිකයායි, මායාවි යනු කළගුණ වසන්නායි, පාපිච්ඡො යනු නොමැති සම්භාවනයක් (ගරු කිරීමක්) කැමතිවන්නේයි, දුසිල්වත් වූයේයි, මිච්ඡාදිට්ඨි යනු නාස්තිකවාද දරන්නේ අහේතුවාද දරන්නේ අකිරියවාද දරන්නේයි, සන්දිට්ඨිපරාමාසි යනු තමා දිටු දෙයම අල්වාගන්නේයි, ආධානගාහී යනු දැඩිසේ අල්වා ගැනීම් ඇත්තේයි, දුප්පටිනිස්සග්ගී යනු අල්වාගත් දෙය අතහැරීමට නොහැක්කේ වෙයි. මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.