5. විජ්ජාභාගිය සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි, විජ්ජාභාගියා යනු විද්‍යාවට අයත් කොටස්ය, අනිච්චසඤ්ඤා යනු අනිත්‍යානුපස්සනාඥානයෙහි උපන් සංඥාවයි. අනිච්චෙ දුක්ඛසඤ්ඤා යනු දුක්ඛානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි, දුක්ඛෙ අනත්තසඤ්ඤා යනු අනත්තානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි. පහානසඤ්ඤා යනු පහානානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි, විරාගසඤ්ඤා යනු විරාගානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි. නිරොධසඤ්ඤා යනු නිරොධානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි.
6. විවාදමූල සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි විවාදමූලානි යනු විවාදයට මුල් වූ කරුණුයි. කොධනො යනු කිපෙන ලක්‍ෂණ ඇති ක්‍රොධයෙන් යුක්තවූයේයි, උපනාහී යනු වෛරය අත්නොහරින ලක්ෂණය ඇති උපනාහයෙන් යුක්තවූයේයි. අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං යනු භික්ෂූන් දෙදෙනකුගේ විවාදය කෙසේ දෙව්මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතියේද? කොසම්බක්ඛන්ධකයෙහි මෙන් භික්ෂුන් දෙදෙනකු විවාදයට එළැඹුණු විට ඔවුන්ගේ ඇතැවැස්සෝ විවාද කරති, ඔවුන්ගේ අවවාද ගන්නා වූ භික්ෂුණී සංඝයා විවාද කරයි, ඉක්බිති ඔවුන්ගේ උපස්ථායකයෝ විවාද කරත්, ඉක්බිති මිනිසුන්ගේ ආරක්‍ෂක දෙවිවරු දෙකොටසක් වෙති, එහි ධර්‍මවාදීන්ගේ ආරක්‍ෂක දෙවියෝ ධර්‍මවාදීහු වෙත්, අධර්‍මවාදීන්ගේ ආරක්‍ෂක දෙවිවරු අධර්‍මවාදීහු වෙත්. එයින් ආරක්ෂක දෙවිවරුන්ගේ මිත්‍ර වූ බුමාටු දෙවියෝ බිඳත්, මෙසේ පිළිවෙලින් බඹ ලොව දක්වා ආර්‍ය්‍යශ්‍රාවකයන් හැර සියලු දෙවිමිනිස්සු දෙකොටසක් වෙති, ධර්‍මවාදීන්ගෙන් අධර්‍මවාදීහුම බොහෝ වෙත්. ඉක්බිති බොහෝ දෙනකු විසින් යමක් ගන්නා ලද්දේ වෙයිද එතැනට යති, ධර්‍මය අතහැර බොහෝ දෙනෙක් අධර්‍මය ගනිති, ඔවුහු අධර්‍මය පෙරදැරි කොට වසන්නාහු අපායෙහි උපදිති, මෙසේ භික්ෂූන් දෙදෙනෙකුගේ විවාදය දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතියි, අජ්ඣත්තං වා යනු නුඹලාගේ ඇතුළත පිරිසේයි, බහිද්ධා යනු අනුන්ගේ පිරිසේයි,
මක්ඛී යනු අනුන්ගේ ගුණ මකන ලක්‍ෂණය ඇති මකුබවින් යුක්තවූයේයි, පළාසී යනු වියගහ ගැනීම (බර කරට ගැනීම) ලක්ෂණය කොට ඇති පළාසයෙන් (කුඩුකේඩුකමින්) යුක්ත වූයේයි, ඉස්සූකී යනු අනුනට කෙරෙන සත්කාර ආදියෙහි නොඉවසීම ලක්ෂණ කොට ඇති ඊර්‍ෂ්‍යාවෙන් යුක්තවූයේයි, මච්ඡරී යනු ආවාස මසුරුකම් ආදියෙන් යුක්තවූයේයි, සඨො යනු කෛරාටිකයායි, මායාවි යනු කළගුණ වසන්නායි, පාපිච්ඡො යනු නොමැති සම්භාවනයක් (ගරු කිරීමක්) කැමතිවන්නේයි, දුසිල්වත් වූයේයි, මිච්ඡාදිට්ඨි යනු නාස්තිකවාද දරන්නේ අහේතුවාද දරන්නේ අකිරියවාද දරන්නේයි, සන්දිට්ඨිපරාමාසි යනු තමා දිටු දෙයම අල්වාගන්නේයි, ආධානගාහී යනු දැඩිසේ අල්වා ගැනීම් ඇත්තේයි, දුප්පටිනිස්සග්ගී යනු අල්වාගත් දෙය අතහැරීමට නොහැක්කේ වෙයි. මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.
7. ඡළඞ්ගදාන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි වෙළුකණ්ඩකී යනු වෙළුකණ්ඩක නම් නුවර වැසියෙකි, ජළඞ්ගසමන්නාගතං යනු ගුණාංග සයකින් යුක්තවූයි, දක්ඛිණං පතිට්ඨාපෙති යනු දානයක් දෙයි, පුබ්බෙව දානා සුමනො යනු දානයක් දෙමැයි මසක අඩමසක පටන් සොම්නසට පත්වූයේ වෙයි, මෙහි මුල්ම චෙතනාව දෙමැයි සිත පහළවන කාලයේ සිට මෙයින් හටගත් දෙයින් දානය දෙමැයි කුඹුර ගැන සිතීම ආදි කොට සිතන්නාට ලැබෙයි, දදං චිත්තං පසාදෙති යනු මෙසේ කියන ලද මුඤ්චන චෙතනාව දන්දෙන අවස්ථාවෙහිම ලැබෙයි, දත්වා අත්තමනො හොති යනු මේ අපර චේතනාව මතුමත්තෙහි සිහිකරන්නට ලැබෙයි, වීතරාගා යනු පහවූ රාග ඇත්තාහු, පහවූ ආශ්‍රව ඇත්තාහුයි, රාගවිනයාය වා පටිපන්නා යනු රාගය දුරු කරන පිළිවෙතට පිළිපන්නාවූයි, මේ වනාහි උත්කෘෂ්ට දේශනාවයි, හුදෙක් ක්ෂීණාශ්‍රවයන්ට පමණක් නොව අනාගාමි සකෘදාගාමි සෝවාන් බවට පත්වූවන්ට ද යටත් පිරිසෙයින් එදවස පැවිදි වූ භාණ්ඩ පිළිගන්නා හෙරණකුට වුව ද දුන් දානය ගුණාංග සයෙන් යුක්තවූයේ වෙයි, හෙතෙමේ ද සෝවාන් මාර්‍ගය සඳහාම පැවිදිවූයේයි,
යඤ්ඤස්ස සම්පදා යනු දානය පිරිපුන් බවයි. සඤ්ඤතා යනු සීල සංවරයෙන් සන්සුන් වීමයි, සයං ආචමයිත්වාන යනු තමාම අත්පා දොවා මුව (කට) සෝදායි, සෙහි පාණීහි යනු තම අත්වලිනි, සකෙහි යනු ද පාඨයි, සද්ධො යනු තෙරුවන ගුණය අදහන්නේයි, මුත්තෙන චෙතසා යනු ලාභයෙහි මසුරුබව ආදියෙන් මිදුනු සිතෙනි, අව්‍යාපජ්ඣං සුඛං ලොකං යනු නිදුක් වූ මහත් සුව සොම්නස ඇති දෙව්ලොවයි,
8. අත්තකාර සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අද්දසං වා අස්සොසිං වා යනු ඇස්හැර නොදුටුවෙමි, අසුවල් නම් තැන වෙසේයයි නොඇසීමි, කියන්නාගේ හෝ වචනය නොඇසීමි, කථං හි නාම යනු කවර නම් කරුණෙන්ද යනුයි, ආරම්භධාතු යනු පටන් ගැනීම් වශයෙන් පැවති වීර්යයයි, නික්ඛමධාතු යනු කුසීත බවින් නික්මෙන ස්වභාවය ඇති වීර්යයි, පරක්කමධාතු යනු පරාක්‍රම ස්වභාවයයි, ථාමධාතු යනු සවිමත් ස්වභාවයයි, ඨිතිධාතු යනු ස්ථිරව සිටීමේ (පවත්වා ගැනීමේ) ස්වභාවයයි, උපක්කමධාතු යනු උපක්‍රම ස්වභාවයයි, මේ සියල්ලම ඒ ඒ ආකාරයෙන් පැවති වීර්යයේ නම්ය.
9. කම්මනිදාන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි කම්මානං යනු සංසාරගාමී කර්‍මයන්ගේයි, සමුදයාය යනු පිඬුකිරීම සඳහායි, නිදානං යනු ප්‍රත්‍යයයි, ලොභජෙන යනු ලොබින් හට ගැනීමෙනි, න පඤ්ඤායන්ති යනු මෙබඳු වූ කර්‍මයෙන් උපන්නෝයි නොදක්නා ලැබෙත්, යහපත් පැත්තෙහි කම්මානං යනු නිර්‍වාණගාමී කර්‍මයන්ගේයි, මෙසේ මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
10. කිම්බිල සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි නිචුලවනෙ යනු මහා මුචලින්ද වනයෙහියි, සද්ධම්මො යනු ශාසනික සද්ධර්‍මයයි.