9. උදායී සූත්‍ර වර්ණනාව
නවවැන්නේ, උදායිං යනු උදායි තෙරුන්ය, සුණාමහං ආවුසො යනු ඇවැත්නි, මම බිහිරෙක් නොවෙමි, භාග්‍යවතුන් වහන්සේගේ වචනය අසමි, ප්‍රශ්නයක් ගැන සිතමි, අධිචිත්තං යනු සමාධි විදර්‍ශනා සිතයි, ඉදං භන්තෙ අනුස්සතිඨානං යනු මෙය ධ්‍යාන තුන නැමැති අනුස්සති කාරණයයි, දිට්ඨධම්මසුඛ විහාරාය සංවත්තති යනු මේ ආත්මභාවයෙහිම සැප විහරණය සඳහා පවතියි, ආලොකසඤ්ඤං යනු ආලොක නිමිත්තෙහි උපන් සංඥාවයි, දිවා සඤ්ඤං අධිට්ඨාති යනු දහවලැයි හැඟීමක් තබයි, යථා දිවා තථා රත්තිං යනු යම්සේ ඔහු විසින් දහවල ආලෝක සංඥාව මෙනෙහි කරන ලද්දේ ද රැයෙහි ද එසේම මෙනෙහි කරයි, යථා රත්තිං තථා දිවා යනු යම්සේ ඔහු විසින් රාත්‍රියෙහි ආලෝක සංඥාව මෙනෙහි කරන ලද්දේ ද දහවල්හි ද එය එසේම කරයි, විවටෙන යනු ප්‍රකට වූ දෙයිනි, අපරියොනද්ධෙන යනු නීවරණයන්ගෙන් නොවැසුනෙනි, සප්පභාසං චිත්තං භාවෙති යනු දිවැස් නැණ සඳහා බැබලීම් සහිත සිත වඩයි, දියුණු කරයි යි කියන ලදි. එය ථිනමිද්ධය දුරුකරන ආලෝක සංඥාව සඳහා කියන ලදි, දිබ්බචක්ඛුඤාණාලෝකය නොවේයයි දතයුතුය, ඤාණදස්සනපටිලාභාය යනු දිවස් නැණ නමැති ඥානදර්‍ශනය ලැබීම සඳහාය,
ඉමමෙවකායං යනාදියෙහි යමක් කිවයුතු වේද ඒ සියල්ල සර්‍වප්‍රකාරයෙන්ම විස්තර වශයෙන් විසුද්ධිමග්ගයෙහි කායගතාසති කමටහනෙහි දී කියන ලදි. කාමරාගපහානාය යනු පඤ්චකාමගුණික වූ රාගය දුරුකිරීම සඳහායි, සෙය්‍යථාපි පස්සෙය්‍ය යනු යම්සේ දක්නේද යනුයි, සරීරං යනු මළසිරුරුයි, සීවථිකාය ඡඩ්ඪිතං යනු සොහොනෙහි අත්හළයි, මැරුණු මොහුට එක්දිනයක්නුයි එකාහමතං නමි, මළ මොහුට දින දෙකකැයි ද්වීහමතං නමි, මළ මොහුට දින තුනකැයි තීහමතං නමි. පසුම්බියක් මෙන් වායුවෙන් පිම්ඹුණු, ජීවිතාවසානයෙහි සිට පිළිවෙලින් මතුවුණු ඉදිමුණු බවින් පිළිබුණු බැවින් පිම්ඹුණු දෙයම උද්ධුමාතක නමි, පිළිකුල් බැවින් අප්‍රිය වූ ඉදිමීම ඇත්තේනුයි හෝ උද්ධුමාතක නමි, සිඳී බිඳීගිය පැහැය විනීලක යයි කියනු ලැබේ. ඒ විනීලයම විනීලක නමි, පිළිකුල් බැවින් අප්‍රිය වූ විනීලයක් ඇත්තේනුයි හෝ විනීලකං නමි, මස් වැඩි තන්හි රත්පැහැය ඇති පෙර රැස්ව තිබු තැන්හි සුදු පැහැය ඇති නිල් පැහැය ඇති තැන්හි බෙහෙවින් නිල් පැහැය ඇති නිල් සළුවක් පොරවන ලද්දක් වැනි වූ මළමිනියට මෙය පර්‍ය්‍යාය නාමයකි, නවවිධවූ බිඳුණු තැන්වලින් හෝ වණමුඛයන්ගෙන් වැගිරෙන සුළුවූ සැරව ඇත්තේනුයි විපුබ්බක නමි, පිළිකුල් බැවින් අප්‍රිය වූ සැරව ඇත්තේනුයි හෝ විපුබ්බක නමි, සැරව බවට ගියේනුයි විපුබ්බකජාතං නමි,
සො ඉමමෙව කායං යනු ඒ භික්ෂුව මේ තමන්ගේ සිරුර යනුයි, ඒ කය සමඟ ඥානයෙන් හකුළුවයි, ඉදිරිපත් කරයි, කෙසේද? අයම්පි ඛො කායො එවං ධම්මො එවංභාවි එතං අනතීතො යනු මෙය කියන ලද්දේ වෙයි: ආයුෂ, උෂ්ණය හා විඥානය යන මේ ධර්‍මතුන ඇති බැවින් මේ සිරුර සිටීම යාම ආදියෙහි හැකියාව ඇත්තේ වෙයි, මේවා ඉවත්වීමෙන් මෙය එවං ධම්මො යනු පිළිකුල් ස්වභාවය ඇත්තේමය, එවං භාවි යනු මෙසේම උද්ධුමාතාදී භේදය වන්නේය, එතං අනතීතො යනු මේ උද්ධුමාතාදී ස්වභාවය නොයික්මවන ලද්දේය,
ඛජ්ජමානං යනු උදරය ආදී තැන්හි හිඳ උදරමාංශය, ඔෂ්ට (තොල්) මාංශය, අක්ෂි මාංශය ආදිය උගුලමින් කනු ලබන්නාවූයි, සමංසලොහිතං යනු ඉතිරි මස්ලෙයින් යුක්තවූයි, නිම්මංසලොහිතං යනු ඉතිරි මස්ලෙයින් යුක්තවූයි, නිම්මංසලොහිත මක්ඛිතං යනු මස් ක්ෂය වූ කල්හි ද ලේ නොවියලෙයි, ඒ සඳහා “ලොහිතමක්ඛිතං”යි කියන ලදි, අඤ්ඤෙන වෙනත් දිශාවකින්ය, හත්‍ථට්ඨිකං යනු සිවුසැට වැදෑරුම්වූ ද අත් ඇට වෙන්වෙන්ව විසුරුණේයි, පා ඇට ආදියෙහි ද මේ ක්‍රමයමයි, තෙරොවස්සිකානි යනු ඉක්මණු අවුරුදු ඇත්තේය, පුතීනි යනු එළිමහනෙහි පැවති, සුළඟ අව්වැසි පැහැසීමෙන් ඉක්මුණු අවුරුදු ඇත්තේම පුතීනි නම් වෙයි, පොළව තුළට ගිය ඒවා බොහෝ කලක් පවතියි, චුණ්ණකජාතානි යනු සුණු සුණු බවට පත්ව විසුරුණාවූයි, හැම තන්හි එම භික්ෂුව “ඉමමෙව” යනුවෙන් කියන ලද ක්‍රමයෙන් කනු ලබනාදීන්ගේ වශයෙන් යෙදීම කළයුතුය. අස්මිමානසමුග්ඝාතාය යනු වෙමැයි පැවති නවවිධ මානය වැනසීම සඳහායි, අනෙකධාතුපටිවෙධාය යනු නොයෙක් ධාතූන් අවබෝධ කිරීම සඳහායි, සතොච අභික්කමති යනු යන්නේ සිහිනුවණින් යුතුවම යයි, සතො පටික්කමති යනු ආපසු හැරී එන්නේද සිහිනුවණින් යුතුව හැරී එයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, සතිසම්පජඤ්ඤාය යනු සිහිය ද නුවණ ද සඳහායි. මෙසේ මේ සූත්‍රයෙහි සිහිනුවණ මිශ්‍රකව කියන ලදි.
10. අනුත්තරිය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි උච්චාවචං යනු ලොකු කුඩා යම් කිසිවකි, උස්පහත් දෙයක් හෝ ද වේ. හීනං යනු පහත් යනුයි, ගම්මං යනු ගම්වැසියන්ගේ දැක්මයි, පොථුජ්ජනිකං යනු පෘථග්ජනයන්ට අයත්වූයි, අනරියං යනු ආර්‍ය්‍යයි නොවූයේයි, උතුම් නොවූයේ පිරිසුදු නොවූයේයි, අතත්‍ථසංහිතං යනු අර්‍ත්‍ථය ඇසුරු නොවූයි, න නිබ්බිදාය යනු සසරෙහි කළකිරීම සඳහා නොවේ, න විරාගාය යනු රාගාදින්ගේ පැවැත්ම සඳහා නොවේ, න නිරොධාය යනු රාගාදීන්ගේ නොපැවැත්ම විනාශවීම සඳහාය, න උපසමාය යනු රාගාදීන් සංසිඳීම සඳහා නොවේ, න අභිඤ්ඤාය යනු මනාව දැනීම සඳහා නොවේ, න සම්බොධාය යනු සම්බොධි සංඛ්‍යාත වූ සිවුමග නුවණ අවබෝධ කිරීම සඳහා නොවේ, න නිබ්බානාය යනු නිවන පසක් කිරීම සඳහා නොවේ.