3. සීල සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි දුස්සීලො යනු සිල් නැත්තේ, දුසිල්වූයේයි, සීලවිපන්නො යනු විපතට පත් සිල් ඇත්තේයි, බිඳුණු සිල් ඇත්තේයි, පමාදාධිකරණං යනු ප්‍රමාද කිරීමයි, මේ සූත්‍රය ද ගිහියන්ගේ වශයෙන් ආයේයි, පැවිද්දන්ට ද ලැබීමය, ගිහියා වනාහි යම් යම් ශිල්පයන්ගෙන් ජීවිකාව කරයි, කෘෂිවණික් වශයෙන්, පරපණ නැසීම් ආදි වශයෙන් පමාවූයේ ඒ ඒ දෙය සුදුසු කල්හි ඉටුකර ගැනීමට නොහැකි වෙයි, ඉක්බිති ඔහුගේ මූල ද නැසෙයි, නොනැසීම සඳහා නීති පණවා ඇති කල්හි පරපණ නැසීම සොරකම් ආදිය ද කරන්නේ මහත් වූ භොග පරිහානියට පැමිණයි, පැවිදි දුසිල් තැනැත්තේ ප්‍රමාද හේතුවෙන් ශීලයෙන් බුද්ධ වචනයෙන් ධ්‍යානයෙන් සප්ත ආර්‍ය්‍ය ධනයෙන් ද පිරිහීමට යයි, ගිහියාට, “අසවලා අසවල් කුලයෙහි උපන්නේ දුසිල් වූයේ පවිටුදම් ඇත්තේ අත්හළ මෙලොව පරලොව ඇත්තේ ලහබතක් පමණවත් නොදෙයි” යනුවෙන් සිවුපිරිස මැද අපකීර්ති ශබ්දයක් මතුවෙයි. පැවිද්දාට අසවලා සිල් රැකීමට අසමත් විය, බුද්ධ වචනය ගැනීමට නොහැකි විය, වෙදකම් ආදියෙන් ජීවත්වෙයි, අගෞරව සයෙන් යුක්තවූයේයයි මෙසේ (අපකීර්තියක්) පැනනගියි,
අවිසාරදො යනු ගිහියා අවශ්‍යයෙන්ම බොහෝ දෙනා රැස්වන තන්හි කිසිවෙක් මගේ කර්‍මය දන්නේ නම් මා අල්වා ගනිතැයි හෝ රාජකුලයට හෝ දක්වතියි බියසහිතව එළඹෙයි, හිසනැවුනේ පහතට නැවුණු කඳ ඇත්තේ ඇඟිලි අගින් බිම සාරමින් හිඳියි, නිර්භය වී කථාකිරීමට නොහැකි වෙයි, පැවිද්දා ද බොහෝ භික්ෂූන්ගේ රැස්වීමෙන් අවශ්‍යයෙන්ම යම් කිසිවෙක් මගේ කර්‍මය දනියි. ඉක්බිති මගේ පෙහෙවසත් පවාරණයත් අතහැර ශ්‍රමණ බවින් පහකොට එලවාදමතැයි බිය සහිතව එළඹෙයි, නිර්භය වී කථා කිරීමට නොහැකි වෙයි, ඇතැම් දුසිල් වූවෙක් එඩි ඇත්තේ මෙන් හැසිරෙයි හෙතෙමේත් අදහස් වශයෙන් මඞ්කුවූයේම වෙයි,
සම්මුළ්හො කාලං කරොති යනු මරණ මඤ්චකයෙහි වැදහොත්තහුට දුසිල්කම් පිළිගෙන පැවතුනු තැන (අරමුණු වශයෙන්) ආපථයට එයි, හෙතෙම ඇස් ඇර මෙලොව දකියි, ඇස්වසා පරලොව දකියි, ඔහුට එතර අපාය එළඹ සිටී, සැත් සියයකින් හිසට පහර දෙන්නාක් මෙන් හැඟෙයි, හෙතෙම වළක්වවු වළක්වවු හඬ නගමින් මැරෙයි, එහෙයින් සම්මුළ්හො කාලං කරොතියි කියන ලදි, පස්වැනි පදය පැහැදිලිමය, අනුසස් කථාව කියන ලද්දට වෙනස් ලෙසින් දතයුතුය.
4. බහුභාණි සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි බහුභාණිස්මිං යනු නුවණින් නොපිරිසිඳ බොහෝ කියනකල්හියි, මන්තභානිස්මිං යනු මන්තා යනු ප්‍රඥාවයි එයින් පිරිසිඳ කියන කල්හියි,
5. ප්‍රථම අක්ඛන්ති සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි වෙරබහුලො යනු පුද්ගල වෛරයෙන් ද අකුශල වෛරයෙන් ද බොහෝ වෛර ඇත්තේයි. වජ්ජබහුලො යනු දොස් බහුල වූයේයි,
6. ද්විතීය අක්ඛන්ති සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි ලුද්දො යනු දරුණු කර්‍කශ තැනැත්තේයි. විප්පටිසාරි යනු විපිළිසර බවෙන් යුක්ත වූයේයි,
7. ප්‍රථම අපාසාදික සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි අපාසාදිකෙ යනු නොපහදවන සුල කායකර්‍මාදියෙන් යුක්ත වූයේයි, පාසාදිකෙ යනු පැහැදීම ඇති කරවන පිරිසුදු යහපත් හැසිරීමෙහියි, අටවැනි නවවැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තේමය.
10. මධුරා සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මධුරායං යනු එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන සේක් මධුරා නුවරට සැපැමිණ ඇතුළු නුවරට පිවිසීමට පටන්ගත් සේක. ඉක්බිති එක් මිථ්‍යාදෘෂ්ටික යක්ෂණියක් නිරුවත් වී දෙඅත් විසුරුවා දිව සොලවා දශබලයන් වහන්සේගේ ඉදිරියෙහි සිටියාය, ශාස්තෲන් වහන්සේ ඇතුළු නුවරට නොපිවිස එයින් නික්ම විහාරයට වැඩිසේක. මහජනයා කෑ යුතු බිඳියයුතු දෑද සත්කාර සම්මාන ද රැගෙන විහාරයට ගොස් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් දුන්නේය, ශාස්තෲන් වහන්සේ ඒ නුවරට නිග්‍රහ කරනු සඳහා මේ සූත්‍රය ඇරඹූ සේක. එහි විසමා යනු සමතලා නොවූයේයි, බහුරජා යනු සුළඟ හමන කල්හි උඩට නැගුණු දූවිලි සමූහයෙන් වැසුනාක් මෙන් වෙයි, සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
දෙවැනි වර්‍ගයයි
3. දීඝචාරික වර්ගය
1. ප්‍රථම දීඝචාරික සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අනවත්‍ථචාරිකං යනු අරුත් සහිත චාරිකාවයි. සුතං න පරියොදපෙති යනු යමක් ඔහුට ඇසුනේ වේද එය පිරිසුදු කිරීමට නොහැකි වෙයි. සුතෙනෙකච්චෙන අවිසාරදො හොති යනු ටිකෙන් ටික ඇසීම ඇතිවිට ද නුවණින් සොම්නසට පැමිණියෙක් නොවෙයි, සමවත්‍ථචාරෙ යන චාරිකාවෙහියි, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
3. ප්‍රථම අතිනිවාස සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි බහුභණ්ඩො යනු බොහෝ පිරිකර ඇත්තේයි, බහුභෙසජ්ජො යනු ගිතෙල් වෙඬරු ආදිය අධිකවීමෙන් බොහෝ බෙහෙත් ඇත්තේයි, ව්‍යත්තො යනු ඇළුණු තැනැත්තේයි, සංඝට්ඨො යනු පස් ආකාර සසර්‍ගයෙන් ඇළුණේ වීයි, අනනුලොමිකෙන යනු සසුනට නොසුදුසු දෙයිනි,
4. ද්විතීය අතිනිවාස සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි වණ්ණමච්ඡරි යන ගුණවැණුමට මසුරායි, ධම්මමච්ඡරි යනු පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි මසුරායි,
5. ප්‍රථම කුලූපග සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අනාමන්තචාරෙ යනු වළඳන ලද බත් ඇත්තේම ඇරයුම් ලද්දේ සිටින භික්ෂුව නොවිමසා පෙරබතෙහි හෝ පසුබතෙහි කුලයන්හි සැරිසැරීමට පැමිණෙන්නේයි, ශික්ෂාපදයෙහි කියන ලද ඇවතට පැමිණෙන්නේය, රහො නිසජ්ජාය යනාදිය ද ඒ ඒ ශික්ෂා පදයන්ගේ වශයෙන් දතයුතුය.
6. ද්විතිය කුලූපග සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි අතිවෙලං යනු ඉක්මුණු නියමිත කාලයයි, සත්වැන්න පැහැදිලිමය,