4. බහුභාණි සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි බහුභාණිස්මිං යනු නුවණින් නොපිරිසිඳ බොහෝ කියනකල්හියි, මන්තභානිස්මිං යනු මන්තා යනු ප්‍රඥාවයි එයින් පිරිසිඳ කියන කල්හියි,
5. ප්‍රථම අක්ඛන්ති සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි වෙරබහුලො යනු පුද්ගල වෛරයෙන් ද අකුශල වෛරයෙන් ද බොහෝ වෛර ඇත්තේයි. වජ්ජබහුලො යනු දොස් බහුල වූයේයි,
6. ද්විතීය අක්ඛන්ති සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි ලුද්දො යනු දරුණු කර්‍කශ තැනැත්තේයි. විප්පටිසාරි යනු විපිළිසර බවෙන් යුක්ත වූයේයි,
7. ප්‍රථම අපාසාදික සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි අපාසාදිකෙ යනු නොපහදවන සුල කායකර්‍මාදියෙන් යුක්ත වූයේයි, පාසාදිකෙ යනු පැහැදීම ඇති කරවන පිරිසුදු යහපත් හැසිරීමෙහියි, අටවැනි නවවැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තේමය.
10. මධුරා සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මධුරායං යනු එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන සේක් මධුරා නුවරට සැපැමිණ ඇතුළු නුවරට පිවිසීමට පටන්ගත් සේක. ඉක්බිති එක් මිථ්‍යාදෘෂ්ටික යක්ෂණියක් නිරුවත් වී දෙඅත් විසුරුවා දිව සොලවා දශබලයන් වහන්සේගේ ඉදිරියෙහි සිටියාය, ශාස්තෲන් වහන්සේ ඇතුළු නුවරට නොපිවිස එයින් නික්ම විහාරයට වැඩිසේක. මහජනයා කෑ යුතු බිඳියයුතු දෑද සත්කාර සම්මාන ද රැගෙන විහාරයට ගොස් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් දුන්නේය, ශාස්තෲන් වහන්සේ ඒ නුවරට නිග්‍රහ කරනු සඳහා මේ සූත්‍රය ඇරඹූ සේක. එහි විසමා යනු සමතලා නොවූයේයි, බහුරජා යනු සුළඟ හමන කල්හි උඩට නැගුණු දූවිලි සමූහයෙන් වැසුනාක් මෙන් වෙයි, සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
දෙවැනි වර්‍ගයයි
3. දීඝචාරික වර්ගය
1. ප්‍රථම දීඝචාරික සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අනවත්‍ථචාරිකං යනු අරුත් සහිත චාරිකාවයි. සුතං න පරියොදපෙති යනු යමක් ඔහුට ඇසුනේ වේද එය පිරිසුදු කිරීමට නොහැකි වෙයි. සුතෙනෙකච්චෙන අවිසාරදො හොති යනු ටිකෙන් ටික ඇසීම ඇතිවිට ද නුවණින් සොම්නසට පැමිණියෙක් නොවෙයි, සමවත්‍ථචාරෙ යන චාරිකාවෙහියි, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
3. ප්‍රථම අතිනිවාස සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි බහුභණ්ඩො යනු බොහෝ පිරිකර ඇත්තේයි, බහුභෙසජ්ජො යනු ගිතෙල් වෙඬරු ආදිය අධිකවීමෙන් බොහෝ බෙහෙත් ඇත්තේයි, ව්‍යත්තො යනු ඇළුණු තැනැත්තේයි, සංඝට්ඨො යනු පස් ආකාර සසර්‍ගයෙන් ඇළුණේ වීයි, අනනුලොමිකෙන යනු සසුනට නොසුදුසු දෙයිනි,
4. ද්විතීය අතිනිවාස සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි වණ්ණමච්ඡරි යන ගුණවැණුමට මසුරායි, ධම්මමච්ඡරි යනු පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි මසුරායි,
5. ප්‍රථම කුලූපග සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අනාමන්තචාරෙ යනු වළඳන ලද බත් ඇත්තේම ඇරයුම් ලද්දේ සිටින භික්ෂුව නොවිමසා පෙරබතෙහි හෝ පසුබතෙහි කුලයන්හි සැරිසැරීමට පැමිණෙන්නේයි, ශික්ෂාපදයෙහි කියන ලද ඇවතට පැමිණෙන්නේය, රහො නිසජ්ජාය යනාදිය ද ඒ ඒ ශික්ෂා පදයන්ගේ වශයෙන් දතයුතුය.
6. ද්විතිය කුලූපග සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි අතිවෙලං යනු ඉක්මුණු නියමිත කාලයයි, සත්වැන්න පැහැදිලිමය,