පස්වැන්නෙහි චෙතොඛිලා යනු සිතේ තද බවයි, නිසරු බවයි, දැඩිබවයි, සත්‍ථරි කඞ්ඛති යනු ශාස්තෲන් වහන්සේගේ ශරීරය පිළිබඳව හෝ ගුණය පිළිබඳව සැකකරයි, සිරුරෙහි සැක කෙරෙන්නේ දෙතිස් උතුම් ලකුණවලින් යුත් සිරුරක් ඇත්ද නැද්දැයි සැක කරයි, ගුණයෙහි සැක කෙරෙන්නේ අතීත අනාගත වර්‍තමානයන් ගැනීමට සමත් සර්‍වඥතා ඥානයක් ඇත්ද නැද්දැයි සැක කරයි, විචිකිච්ඡති යනු විමසමින් දුෂ්කර බවට පත්වෙයි, දුකට පත් වෙයි, විනිශ්චය කිරීමට නොහැකි වෙයි, නාධිමුච්චති යනු මෙය මෙසේයයි නිශ්චයක් නොලබයි, න සම්පසීදති යනු ගුණයන්හි බැස නිසැක බවින් පැහැදීමට, නොකැලඹුනකු වීමට නොහැකි වෙයි, ආතප්පාය යනු කෙලෙස් තවන වීර්යකිරීම සඳහාය, අනුයොගාය යනු නැවත නැවත යෙදීම සඳහාය, සාතච්චාය යනු නිබඳ කිරීම සඳහායි, පධානාය යනු වීර්ය වඩනු සඳහායි, අයං පඨමො චෙතොඛිලා යනු මෙය ශාස්තෲන් කෙරෙහි සැක කිරීම් සංඛ්‍යාත වූ පළමු වැනි සිතේ දැඩිබව මෙසේ මේ භික්ෂුවගේ ප්‍රහීනවූයේ නොවෙයි,
ධම්මෙ යන පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි හා ප්‍රතිවෙධ ධර්‍මයෙහියි, පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි සැක කරන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය අසූහාරදහසක් ධර්‍මස්කන්ධයකැයි කියති. මෙය ඇත්ද නැද්දැයි සැකකරයි, ප්‍රතිවෙධ ධර්‍මයෙහි සැකකරන්නේ විදර්‍ශනාවේ ප්‍රතිඵලය මාර්‍ගය නමි මාර්‍ගයේ ප්‍රතිඵලය ඵලය නමි, සියලු සංස්කාර අතහැරීම නිවන නමැයි කියත්, එය ඇත්ද නැද්දැයි සැක කරයි, සඞ්ඝෙ කඞ්ඛති යනු සෘජු ප්‍රතිපන්න ආදි පදයන්ගේ වශයෙන් මෙබඳු වූ පිළිවෙතකට පිළිපන් සතර මාර්‍ගස්ථයෝය සතර ඵලස්ථයෝයි පුද්ගලයන් අටදෙනාගේ සමුහය වූ සංඝයා නම් ඇත්ද නැද්දැයි සැක කරයි, ශික්‍ෂාවෙහි සැක කරන්නේ අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධිප්‍රඥා ශික්ෂායි නමැයි කියත්, එය ඇත්ද නැද්දැයි සැකකරයි: අයං පඤ්චමො යනු මේ සබ්‍රහ්මචාරීන් අතුරෙහි කෝප සංඛ්‍යාත පස්වැනි වූ සිතේ තදබවයි, කිළිටි බවයි, දැඩිබවයි.
6. විනිබන්ධ සූත්‍ර වර්ණනාව
සැවැන්නෙහි චෙතසො විනිබන්ධා යනු සිත එකට බැඳ මිටක් කොට ගන්නාක් මෙන් ගනිත්යැයි චෙතසො විනිබන්ධා නමි, කාමෙ යනු වස්තුකාමයන්හි හා ක්ලෙශ කාමයන්හියි, කායෙ යනු තමන්ගේ සිරුරෙහියි, රූපෙ යනු බාහිර රූපයෙහියි, යාවදත්‍ථං යනු යම් පමණක් කැමති ද එපමණකි, උදරාවදෙහකං යනු බඩපුරවන්නාවූයි, එය වනාහි කුස පුරා සිටින බැවින් උදරාවදෙහක යයි කියනු ලැබේ, සෙය්‍යසුඛං යනු ඇඳ පුටුවල සුවය සහ සෘතු සුවයයි, පස්සසුඛං යනු යම්සේ හැරෙමින් නිදන්නාට දකුණුපස වම්පස වශයෙන් සුවයක් වේද එසේ උපන් සුවයයි, මිද්ධසුඛං යනු නිදිසුවයයි, අනුයුත්තො යනු යෙදී වසයි, පණිධාය යනු ප්‍රාර්‍ත්‍ථනා කොටයි, සීලෙන යනාදී තන්හි සීලං යනු සිවුපිරිසුදු සිල්ය, වතං යනු ව්‍රත සමාදානයයි, තපො යනු තපස් හැසීමයි, බ්‍රහ්මචරියං යනු මෛථුන විරතියයි, දෙවො වා භවිස්සාමි යනු මහෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමියි, දෙවඤ්ඤතරො ච යනු අල්පෙශාක්‍ය දෙවියන් අතුරෙහි කිසියම් දෙවියෙකියි.
7. යාගු සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි වාතං අනුලොමෙති යනු සුළඟ අනුලොම්ව ගෙනයයි, වත්‍ථිං සොධෙති යනු ධමනීන් පිරිසුදු කරයි, ආමාවසෙසං පාවෙති යනු ඉදින් කුස තුළ ඉතිරි දෙයක් වේද එය පැසවයි.
8. දන්තකට්ඨ සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අචක්ඛුස්සං යනු ඇස්වලට හිතනොවූයි, ඇස පිරිසුදු නොකරයි,
9. ගීතස්සර සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි ආයතකෙන යනු දිගෙනි, පිරිපුන් පදව්‍යංජන බව ද ගාථාවෘත්තය ද වනසා පැවති දෙයිනි, සරකුත්තිම්පි නිකාමයමානස්ස යනු මෙසේ ගීතස්වරය කළයුතුයි ස්වරකෘත්‍යය කැමති වන්නාගේයි, සමාධිස්ස භඞ්ගො හොති යනු සමථ විදර්‍ශනා සිතේ විනාශය වෙයි.
10. මුට්ඨස්සති සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි දුක්ඛං සුපති යනු නොයෙක් සිහින දකිමින් දුකසේ නිදයි, දුක්ඛං පටිබුජ්ඣති යනු අවදි වන්නේද තැතිගෙන ලොමුදැහැ ගැනීම් ඇතිව අවදිවෙයි, මේ සූත්‍රයෙහි සිහිනුවණ මිශ්‍රකව කියන ලදි.
පළමුවැනි වර්‍ගයයි.
2. අක්කොසක වර්ගය
1. අක්කොසක සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයේ අක්කොසකපරිභාසකො යනු දශ ආක්‍රොශ වස්තූන්ගෙන් ආක්‍රොශ කරන්නේ භය දැක්වීමෙන් පරිභව කරන්නේයි, ඡින්නපරිපත්‍ථො යනු ලෝකෝත්තර බාධාව සිඳුණු බැවින් සිඳුණු බාධා ඇත්තේයි, රොගාතඞ්කං යනු රෝගයම දුෂ්කර ජීවිකාවක් ගෙන එන බැවින් රොගාතඞ්ක නම් වෙයි,
2. භණ්ඩනකාරක සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අධිකරණකාරකො යන සතර අධිකරණයන්ගෙන් යම්කිසිවක් කරන්නායි, අනධිගතං යනු පෙර නූපන් විශේෂයකි,