1. කිම්බිල වර්ගය
1. කිම්බිල සූත්‍ර වර්ණනාව
පස්වැනි පණ්ණාසකයේ පළමු සූත්‍රයෙහි කිම්බිලායං යනු එබඳු නම් ඇති නුවරෙහිය, නිවෙලුවනෙ යනු මුචලින්ද වනයෙහියි, එතදවොච යනු මේ තෙරුන් වහන්සේ එනුවරෙහිම සිටු පුතෙකි, ශාස්තෲන් සමීපයෙහි පැවිදිව පෙර විසූ කඳපිළිවෙල පිළිබඳ නුවණ ලැබීය, හෙතෙම තමා විසූ ස්කන්‍ධ පරම්පරාව සිහි කරන්නේ කාශ්‍යප දශබලයන් වහන්සේගේ සසුන පිරිහෙමින් තිබූ කාලයෙහි පැවිදිව සිවු පිරිස සසුනෙහි නිගරු කරන කාලයෙහි හිණක් බැද පව්වකට නැග එහි මහණදම් කොට තමා විසු බව දුටුවේය, හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙත එළඹ එකරුණ විමසමැයි මේ “කො නු ඛො භන්තෙ” යන වචනය කීවේය.
සත්‍ථරි අගාරවා විහරන්ති අප්පතිස්ස යනු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවය ජ්‍යෙෂ්ඨභාවය ද නොඑළවා වාසය කරත්, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි. එහි සෑමිදුල් ආදියෙහි සත් දරා පාවහන් පැළඳ හැසිරෙන්නේ නොයෙක් ආකාර ඇති නිරර්ථක කථා කියන්නේ ශාස්තෲන් කෙරෙහි අගෞරවයෙන් වසයි නමි, දහම් අසන හලෙහි හිඳගෙන නිදියන්නේ ද නොයෙක් ආකාර නිරර්ථක කථා කියන්නේ ද ධර්‍මය කෙරෙහි අගෞරවයෙන් වසයි නමි, සඟ මැඳ දෙඅත් විසුරුවන නොයෙක් කථා කියන්නේ ස්ථවිර නවක මධ්‍යම භික්ෂූන් කෙරෙහි ගෞරව නොකරන්නේ සඞ්ඝයා කෙරෙහි අගෞරවයෙන් වසයි නමි, ශික්ෂාව නොපුරන්නේ ශික්ෂාවට අගෞරවයෙන් වසන්නේ නමි, ඔවුනොවුන් කලහ ආරවුල් ආදිය කරන්නේ ඔවුනොවුනට අගෞරවයෙන් වසයි නමි,
දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය
3-4. අජානීය ආදි සූත්‍ර වර්ණනා
තෙවැන්නෙහි අජ්ජවෙන යනු සෘජු බැවිනි, අවංක ගමනිනි, ජවෙන යනු පාදජවයෙනි, මද්දවෙන යන සිරුරේ බුදුබවිනි, ඛන්තියා යනු ඉවසීමේ ක්‍ෂාන්තියෙනි, සොරච්චෙන යනු පිරිසුදු සිල් ඇති බැවිනි, භික්‍ෂූන් පිළිබඳ වාරයෙහි අජ්ජවං යන ඥානයේ සෘජුගමනයි, ජවො යනු ශූරයකු වී ඥානය උසුලන බවයි, මද්දවං යනු ශීලයෙන් මෘදුබවයි, ඛන්ති යනු අධිවාසන ක්‍ෂාන්තියමයි, සොරච්චං යනු පිරිසුදු සිල් ඇති බවමයි, සිවුවැන්නෙහි පඤ්ච බලයෝ මිශ්‍රකව කියන ලදහ.
5. චෙතොඛිල සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි චෙතොඛිලා යනු සිතේ තද බවයි, නිසරු බවයි, දැඩිබවයි, සත්‍ථරි කඞ්ඛති යනු ශාස්තෲන් වහන්සේගේ ශරීරය පිළිබඳව හෝ ගුණය පිළිබඳව සැකකරයි, සිරුරෙහි සැක කෙරෙන්නේ දෙතිස් උතුම් ලකුණවලින් යුත් සිරුරක් ඇත්ද නැද්දැයි සැක කරයි, ගුණයෙහි සැක කෙරෙන්නේ අතීත අනාගත වර්‍තමානයන් ගැනීමට සමත් සර්‍වඥතා ඥානයක් ඇත්ද නැද්දැයි සැක කරයි, විචිකිච්ඡති යනු විමසමින් දුෂ්කර බවට පත්වෙයි, දුකට පත් වෙයි, විනිශ්චය කිරීමට නොහැකි වෙයි, නාධිමුච්චති යනු මෙය මෙසේයයි නිශ්චයක් නොලබයි, න සම්පසීදති යනු ගුණයන්හි බැස නිසැක බවින් පැහැදීමට, නොකැලඹුනකු වීමට නොහැකි වෙයි, ආතප්පාය යනු කෙලෙස් තවන වීර්යකිරීම සඳහාය, අනුයොගාය යනු නැවත නැවත යෙදීම සඳහාය, සාතච්චාය යනු නිබඳ කිරීම සඳහායි, පධානාය යනු වීර්ය වඩනු සඳහායි, අයං පඨමො චෙතොඛිලා යනු මෙය ශාස්තෲන් කෙරෙහි සැක කිරීම් සංඛ්‍යාත වූ පළමු වැනි සිතේ දැඩිබව මෙසේ මේ භික්ෂුවගේ ප්‍රහීනවූයේ නොවෙයි,
ධම්මෙ යන පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි හා ප්‍රතිවෙධ ධර්‍මයෙහියි, පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි සැක කරන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය අසූහාරදහසක් ධර්‍මස්කන්ධයකැයි කියති. මෙය ඇත්ද නැද්දැයි සැකකරයි, ප්‍රතිවෙධ ධර්‍මයෙහි සැකකරන්නේ විදර්‍ශනාවේ ප්‍රතිඵලය මාර්‍ගය නමි මාර්‍ගයේ ප්‍රතිඵලය ඵලය නමි, සියලු සංස්කාර අතහැරීම නිවන නමැයි කියත්, එය ඇත්ද නැද්දැයි සැක කරයි, සඞ්ඝෙ කඞ්ඛති යනු සෘජු ප්‍රතිපන්න ආදි පදයන්ගේ වශයෙන් මෙබඳු වූ පිළිවෙතකට පිළිපන් සතර මාර්‍ගස්ථයෝය සතර ඵලස්ථයෝයි පුද්ගලයන් අටදෙනාගේ සමුහය වූ සංඝයා නම් ඇත්ද නැද්දැයි සැක කරයි, ශික්‍ෂාවෙහි සැක කරන්නේ අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධිප්‍රඥා ශික්ෂායි නමැයි කියත්, එය ඇත්ද නැද්දැයි සැකකරයි: අයං පඤ්චමො යනු මේ සබ්‍රහ්මචාරීන් අතුරෙහි කෝප සංඛ්‍යාත පස්වැනි වූ සිතේ තදබවයි, කිළිටි බවයි, දැඩිබවයි.