4. කාරණපාලී සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි කාරණපාලි යනු පාල යනු ඔහුගේ නමයි, රාජකුලයන්හි කර්‍මාන්ත කෙරේනුයි කාරණපාලි නම් වූයේය, කම්මන්තං කාරෙති යනු උදයෙන්ම නැගිට දොරටු අටලු ප්‍රාකාරයන්හි (නිමා) නොකළ දෙය කරවයි, දිරුණු තැන් පිළිසකර කරවයි, පිඞ්ගියානිං බ්‍රාහ්මණං යනු මෙසේ නම් ඇති අනාගාමි පෙලෙහි පිහිටි ආර්යශ්‍රාවක බමුණායි, හෙතෙම උදෑසනින්ම නැඟිට ගඳමල් ආදිය ගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් වැඳ ගඳමල් ආදියෙන් පුදා නුවරට එයි, මෙය බමුණාගේ දිනපතා පිළිවෙතයි, හෙතෙම මෙසේ වත්කොට එන්නහු දුටුවේය, එතදවොච යනු මේ බමුණා නුවණැත්තෙකි, ඥානයෙන් උසස් වූවෙකි, කොහි උදෑසනින්ම ගොස් එන්නේදැයි සිතා පිළිවෙලින් සමීපයට ආවහු හැඳින භන්දකුතොනු භවං යනාදි වචන කීව්වේය.
එහි දිවාදිවස්ස යනු දහවලෙහි ද දහවලයි, මධ්‍යාහ්න කාලයයි අරුත්ය, පණ්ඩිතො මඤ්ඤති යනු පිඞ්ගියානි බමුණා ශ්‍රමණභවත් ගෞතමයන් පණ්ඩිතයෙකැයි හඟිත්ද නැතහොත් නැද්දැයි මෙය මෙහි අර්‍ත්‍ථයයි, කො චාහං භො යනු පින්වත ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාවිශාරදත්වය දැනීමෙහි මම කවරෙක් නම් වේද, කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්‍යත්තියං ජානිස්සාමි යනු කොයින් මම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාවිශාරදත්වය දැන ගන්නෙම්ද කවර කරුණින් දැන ගන්නෙම්දැයි මෙසේ සර්‍වප්‍රකාරයෙන් ම තමන් නොදන්නා බව දක්වයි, සොපි නුනස්ස තාදිසොව යනු යමෙක් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥා විශාරදත්වය දන්නේද හෙතෙමේත් ඒකාන්තයෙන්ම දශපාරමිතාවන් පුරා සර්‍වඥ බවට පත් වූ එබඳු බුදුවරයෙක්ම වන්නේය, මහමෙර හෝ පොළොව හෝ අහස හෝ මනිනු කැමැත්තහු විසින් එපමණම වූ දණ්ඩක් හෝ රැහැනක් හෝ ලැබීමට වටියි, ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව දන්නහු විසින් ද ඔහුගේ ඥානයට සමාන වූම සර්‍වඥතාඥානය ලැබීමට වටීයයි දක්වයි, ගෞරව වශයෙන් මෙහි ආමෙණ්ඩිතය (විශ්මය ප්‍රකාශනය) කරන ලදි. උළාරාය යනු උතුම් වූ ශ්‍රේෂ්ඨවූයි, කො චාහං භො යනු පින්වත මම ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි කවරෙක් නම් වෙම්ද? කොච සමණං ගොතමං පසංසිස්සාමි යනු කුමන කරුණකින් ප්‍රශංසා කරන්නෙම්ද?
පසත්‍ථපසත්‍ථො යනු සියලු ගුණයන්ට මත්තෙහි හැසිරෙන්නා වූ සියලු ලෝකයා විසින් පසස්නා ලද තමන්ගේ ගුණයන්ගෙන්ම පසස්නා ලද්දේයි, උන්වහන්සේට අන්‍යයන් විසින් පැසසීමේ වැඩක් නැත. යම් සේ සපුමලක් හෝ නිලුපුලක් හෝ පියුමක් හෝ රතු සඳුන් හෝ තමන්ගේ වර්‍ණගන්ධ ශ්‍රියාවෙන්ම පහදන සුලු වූයේ ද සුවඳවත් වූයේ ද වෙයි, එයට අමුතුවෙන් පැමිණෙන වර්‍ණගන්ධයන්ගෙන් ස්තුති කිරීමේ වැඩක් නැත. යම්සේ මැණික් රත්නයක් හෝ සඳමඬල හෝ තමන්ගේ ආලෝකයෙන්ම බබළයි ද එයට අන්‍යයන් විසින් බැබළවීමේ වැඩක් නැත. මෙසේ ශ්‍රමණ ගෞතමයෝ සියලු ලෝකයා විසින් පසස්නා ලද තමන්ගේ ගුණයන්ගෙන්ම පසස්නා ලද්දාහුය, ස්තුති කරන ලද්දාහුය. සියලු ලෝකයාගේ ශ්‍රේෂ්ඨබවට පැමිණියේ උන්වහන්සේට අන්‍යයකු විසින් පැසසීමේ වැඩක් නැත.
ප්‍රශස්තයන් විසින් හෝ පසස්නා ලද්දේයි පසත්‍ථපසත්‍ථො යනු ද වෙයි, කවරහු නම් ප්‍රශස්තයෝ නම් වෙත්ද? පසේනදී කොසොල් රජතෙමේ කාසි කෝසල වැසියන් විසින් පසස්නා ලද්දේය, බිම්සර රජතෙමේ අංග මගධ වැසියන් විසිනි, විශාලාවෙහි ලිච්ඡවීහු වැදෑරට වැසියන් විසින් පසස්නා ලදහ. පාවෙය්‍යක මල්ල රජදරුවෝ කුසිනාරා වැසි මල්ලයෝ වෙනත් ඒ ඒ ක්ෂත්‍රියෝත් ඒ ඒ ජනපදවාසීන් විසින් පසස්නා ලදහ. චංකි ආදී බමුණෝ බමුණු සමූහයා විසින් ද අනේපිඬු ආදී උවසුවෝ උවසු සමුහයා විසින් ද විශාඛා ආදී උවැසියෝ නොයෙක් සියගණන් උවැසියන් විසින් ද සකුලදායී ආදි පිරිවැජියෝ නොයෙක් සිය ගණන් පිරිවැජියන් විසින් ද උපුල්වන් තෙරණිය ආදී මහා ශ්‍රාවිකාවෝ නොයෙක් සියගණන් භික්ෂුණීන් විසින් ද සැරියුත් තෙරුන් ආදී මහතෙරවරු නොයෙක් සියගණන් භික්‍ෂූන් විසින් ද ශුක්‍රාදී දෙවිවරු නොයෙක් දහස් ගණන් දෙවිවරුන් විසින් ද මහා බ්‍රහ්මාදී බ්‍රහ්මයෝ නොයෙක් දහස් ගණන් බ්‍රහ්මයන් විසින් ද පසස්නා ලදහ, ඒ සියල්ලෝම දශබලයන් වහන්සේට ස්තුති කරති. වර්‍ණනා කරති, පසසතියි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශස්තයන්ගෙන් ප්‍රශස්තයායි කියනු ලැබෙත්, අත්‍ථවසං යනු අර්‍ත්‍ථානිශංසයයි,
ඉක්බිති හෙතෙම ඔහුට තමන්ගේ පැහැදීමේ හේතුව පවසමින් “සෙය්‍යථාපි භො පුරිසො” යනාදිය කීවේය. එහි අග්ගරසපරිතිත්තො යනු බොජුන් රසයන්හි පායාසය ද තෙල් රසයෙහි ගවගිතෙල් ද කසට රසයන්හි ඛුද්දමධු අනෙළකය ද මිහිරි රසයන්හි සකුරුදැයි මේ ආදිය අග්‍රරස නම් වෙයි, ඒවා අතුරෙහි යම්කිසිවකින් ලොල්වූයේ උගුර පමණට අනුභව කොට සිටියේයි. අඤ්ඤෙසං හිනානං යනු අග්‍රරසයන්ගෙන් අන්‍යවූ පහත් රසයන්ගේයි, සුත්තසො යනු සූත්‍රයෙන්, සූත්‍රභාවයෙනියි අර්ථයයි, සෙසු තැන්හි ද මේ ක්‍රමයමයි, තතො තතො යනු සූත්‍රාදියෙහි ඒ ඒ තැනින් යනුයි, අඤ්ඤෙසං පුථුසමණබ්‍රාහ්මණප්පවාදානං යනු අන්‍ය වූ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ යම් ලබ්ධි සංඛ්‍යාත ප්‍රවාදයෝ වෙත්ද ඔවුනට කැමති නොවෙයි, නොපතයි, ඔවුහු (ඒවා) කියනු ලබන විට ඇසීමට ද නොකැමති වෙයි, ජිගච්ඡා දුබ්බල්‍යපරෙතො යනු කුසගින්නෙන් ද දුබල බවින් ද අනුගත වූයේයි, මධුපිණ්ඩිකං යනු හාල්පිටි බැද චතුමධුර සමඟ යොදා කරන ලද බදිනා ලද අග්ගලා පිඬයි, මිහිරි කැවුම හෝ වෙයි, අධිගච්ඡෙය්‍ය යනු ලබන්නේය, අසෙවනකං යනු මිහිරිබව කරනු සඳහා වෙනත් රසයකින් නුමුසුවූ ඔදවත් ප්‍රණීත රසයයි,