5. පිඞ්ගියානී සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි නීලා යනු මෙය සියල්ල ඇතුළත් කොට ගන්නා ලද්දේයි, නීලවණ්ණා යනාදිය ප්‍රභේද දැක්වීමයි, එහි ඔවුන්ගේ පියවි පැහැය නිල් පැහැය නොවේ, නිල් විලවුන් ගැල් වූ බැවින් මෙය කියන ලදි, නීල වත්ථා යනු දුහුල්පට කොසෙය්යවස්ත්රාදිය ද ඔවුන්ගේ නිල්ම වෙයි, නීලාලඞ්කාරා යනු නිල්මිණිවලින් නිල් මලින් අලංකාර කරන ලද ඔවුන්ගේ ඇත් සැරසිලි අස් සැරසිලි රියසැරසිලි තිර වියන් සැට්ට ද සියල්ල නිල්ම වෙයි, මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්ත්ථය දතයුතුය,
පදුමං යථා යනු සියපත් ඇති රත්පියුම යම්සේද යනුයි, කොකනන්දං යනු එයටම සමාන වචනයකි, පාතො යනු හිරු නැගීමට පෙරාතුවමයි, සියා යනු වන්නේය, අවීතගන්ධං යනු ඉවත් නොවූ සුවඳ ඇත්තාවූයි, අඞ්ගීරසං යනු භාග්‍යවතුන් වහන්සේගේ අවයවයන්ගෙන් රශ්මීහු පිටවෙත්, එබැවින් අඞ්ගීරසයයි කියනු ලැබේ, තපන්තමාදිච්චමීචන්තලික්ඛෙ යනු දෙදහසක් දිවයින් පිරිවරකොට ඇති සතර මහා දිවයිනෙහි ආලෝක කිරීම් වශයෙන් අහසෙහි බබළන හිරු මෙන් දිලිසෙන අඞ්ගීරස බුදුන්වහන්සේ බලවයි තමා සඳහාම හෝ මහජනයා සඳහා හෝ මෙසේ කියයි.
6. මහාසුපින සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි මහා සුපිනා යනු මහා පුරුෂයන් විසින් දැකිය යුතු බැවින් ද මහත් අර්ත්ථයන්ට නිමිතිවන බැවින් ද මහත් වූ සිහිනයෝයි. පාතුරහෙසුං යනු පහළවූහ, එහි සිහින දකින්නේ ධාතු කැළඹීම් වශයෙන් හෝ කලින් අත්විඳීමක් වශයෙන් හෝ දෙවියන් විසින් ඉදිරිපත් කිරීම වශයෙන් හෝ පෙරනිමිත්තක් වශයෙන්දැයි කරුණු සතරකින් දකියි,
එහි පිත ආදීන්ගේ කැළඹීම් ඇතිකරන හේතු යෙදීමෙන් කැළඹුණු ධාතු ඇත්තේ, ධාතු කැළඹීම් ඇත්තේ සිහිනයක් දකියි, දකින්නේද නා නා ආකාර ඇති සිහින දකියි, පර්වතයකින් වැටෙන්නේ මෙන් අහසින් යන්නේ මෙන් දරුණු මෘග ඇත් සොරුන් ආදීන් විසින් එහු බඳින්නේ මෙන් වෙයි, කලින් අත්විදීම් වශයෙන් දකින්නේ පෙර අත්විදි අරමුණක් දකියි, දෙවියන්ගේ ඉදිරිපත් කිරීමක් වශයෙන් දකින්නාට දෙවිවරු හිත කැමැත්තෙන් හෝ අහිත කැමැත්තෙන් හෝ වැඩ සඳහා හෝ ඇවැඩ සඳහා හෝ නොයෙක් අරමුණු එළවත්, හෙතෙම ඒ දෙවිවරුන්ගේ අනුභාවයෙන් ඒ අරමුණු දකියි, පෙරනිමිත්තක් වශයෙන් දකින්නේ පින්පවු වශයෙන් උපදිනු කැමැත්තාගේ යහපත් හෝ අයහපතේ පෙරනිමිත්තක් වූ සිහිනයක් දකියි, බෝසත් මව පුතකු ලැබීමේ නිමිත්ත මෙන් ද කොසොල් රජු සොළොස් සිහිනයන් මෙන් ද භාග්‍යවතුන් වහන්සේ බෝසත්ව සිටියදී මේ පස් මහ සිහිනයන් මෙන් ද වේ,
එහි ධාතු කැළඹීමෙන් හා කලින් අත්දැකීම් වශයෙන් යම් සිහිනයක් දකියිද එය සත්‍යයක් නොවෙයි, දෙවියන්ගේ ඉදිරිපත් කිරීමක් වශයෙන් යමක් දකියිද එය සත්‍යයක් හෝ බොරුවක් හෝ වෙයි, කිපිණු දෙවියෝ උපායෙන් නසනු කැමැත්තාහු විපරීත කොට දක්වත්, පෙරනිමිති වශයෙන් යමක් දකියි ද එය ඒකාන්ත සත්‍යයක්ම වෙයි, මේ මුල් කරුණු සතරේ එකට එක්වීමේ ප්‍රභේද වශයෙන් ද ස්වප්න භේදය වෙයි,
ඒ මේ සිවුවැදෑරුම් සිහිනය ශෛක්ෂ පෘථග්ජනයෝ ම දකිත්, ප්‍රහීන නොවූ විපල්ලාස ඇති බැවිනි, කිම, මෙය දකින්නේ නිදිගත් පුද්ගලයා දකියිද අවදිවූ පුද්ගලයා දකියිද, නැතහොත් නොනිදන්නේත් අවදිනොවන්නේත් දකියිද, කිම මෙහි ඉදින් දන්නේ දකියි ද එවිට අභිධර්මයට විරුද්ධවීමක් වේද? භවංග සිතෙන්ම නිදයි, ඒ රූප නිමිත්තාදී අරමුණ රාගාදියෙන් යුක්ත වූයේ හෝ නොවේ, සිහින දකින්නාට ද මෙබඳු සිත් උපදියි, අවදිවූයේ දකියිද විනය විරෝධයක් ඇතිවෙයි, අවදිවූයේ යමක් දකියිද එය සර්වව්යවහාරික සිතෙන්ම දකියි, සර්වව්යවහාරික සිතින් ආපත්තිව්යතික්රමයක් කළ කල්හි අනාපත්තියක් නම් නැත. (එය ඇවතක්මය) සිහිනයක් දකින්න විසින් ව්‍යතික්‍රමයක් කළ කහි නිසැකයෙන්ම අනාපත්තියක්මය, එසේ නම් නොනිඳත් අවදිනොවන්නේත් දකියිද? නොදකියි, මෙසේ ඇති කල්හි සිහිනයාගේ අභාවයක්ම වෙයිද?, අභාවයක් නොවේ, කුමක් හෙයින්ද? වඳුරු නින්දෙන් මැඬුණේ සිහිනය දකියිද එබැවිනි, “කපිමිද්ධපරෙතො ඛො මහාරාජ සුපිනං පස්සති” (මහරජ වදුරු නින්දෙන් පෙළුණු තැනැත්තේ සිහිනය දකියි) යන මෙකරුණ කියන ලදි.
කපිමිද්ධෙපරෙතො යනු වඳුරු නින්දෙන් යුත් තැනැත්තායි, යම්සේ වඳුරාගේ නින්ද ඉක්මණින් පෙරළෙන සුලු වේද මෙසේ යම් නින්දක් නැවත නැවත කුශලාදී සිත්වලින් මුසුවූ බැවින් ඉක්මණින් පෙරළෙන සුලු වේ යම් නින්දක පැවැත්මේදී නැවත නැවත භවංගයෙන් මතුවීමක් වේද එම නින්දෙන් යුත් තැනැත්තේ සිහිනය දකියි. එබැවින් මේ සිහිනය ද කුශලයක් ද අකුශලයක් ද අව්යාකෘතයක්ද වෙයි, එහි සිහින කෙළවර සෑවැදීම් දහම් ඇසීම් දහම් දෙසීම් ආදිය කරන්නාට කුශලයයි, පරපණ නැසීම් ආදිය කරන්නාට අකුශලය, ඒ අන්ත දෙකින්ම මිදුනේ ආවර්ජන තදාරම්මණක්ෂණයෙහි අව්යාකෘතයයි දතයුතුය. ඒ මෙය දුර්වල වස්තුක බැවින් චේතනාවෙන් ප්රතිසන්ධිය ඇදගැනීමට අසමත් වෙයි, ප්රවෘත්ති (විපාක) යෙහි වනාහි අනෙක් කුශලාකුශලයන්ගෙන් උදව් ලබන ලද්දේ විපාක දෙයි, කිසියම් විපාකයක් දෙයි, සිහින කෙළවර චෙතනාව විෂය රහිතව උපන් බැවින් ගණන් නොගතයුතු බවට යෙයි. ඒ මේ සිහිනය දහවල දක්නා ලද්දේ නොගැලපෙයි (අර්ත්ථවත් නොවේ), ප්‍රථම මධ්‍යම යාමයන්හි ද එසේය, පශ්චිම යාමයෙහි ද ඉතා උදෑසන ආහාර වශයෙන් ගන්නා ලද බොන ලද හා කන ලද දෙය මනාව පරිනාමයට (දිරායාමට) ගියවිට කයෙහි ඔද පිහිටි බැවින් අරුණ නැගෙනවිට දක්නාලද සිහිනය ගැලපෙයි (අර්ත්ථවත් වෙයි), ඉටු නිමිති ඇති සිහිනයක් දක්නේ ඉෂ්ට දෙයක් (යහපත් දෙයක්) ලබයි, අනිටු නිමිත්තක් දන්නේ අනිටු දෙයක් ලබයි,