4. තිකණ්ඩකී සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි අප්පටික්කුලෙ යනු පිළිකුල් නොවන අරමුණෙහියි, පටික්කුලසඤ්ඤි යනු පිළිකුල්යයි මෙසේ හැඟීම් ඇත්තේයි, සියලු තන්හි මේ ක්‍රමයයි, කෙසේ නම් මෙතෙම මෙසේ වෙසේද යත්? ඉෂ්ට වස්තුවෙහි අසුභය සඳහා හෝ පතුරුවයි, අනිත්‍ය වශයෙන් හෝ යොමු කරයි, මෙසේ පිළිකුල් නොවන දෙයෙහි පිළිකුල් හැඟීම් ඇත්තේ වසයි, අනිටු වස්තුවෙහි මෙත් සිතින් හෝ පතුරුවා සිටියි, ධාතු වශයෙන් හෝ යොමු කරයි, මෙසේ පිළිකුල් දෙයෙහි පිළිකුල් නොවීමේ හැගීම් ඇතිව වෙසෙයි, දෙකෙහිම මුල් ක්‍රමය හා පසුක්‍රමය වශයෙන් තෙවැනි හා සිවුවැනි වාර කියන ලදි, අංග සයක් ඇති උපේක්ෂාව වශයෙන් පස්වැන්නයි, මේ අංග සයක් ඇති උපේක්ෂාව ක්ෂීණාශ්‍රවයාගේ උපෙක්ෂාවයි, ක්‍ෂීණාශ්‍රවයාගේ උපේක්ෂාව සමාන වන්නක් නොමැත. එහි උපෙඛකො විහරෙය්‍ය යනු මැදහත් බවෙහි සිටියේ හැසිරෙන්නේය, කච්චිනි යනු කිසි අරමුණෙකයි, කත්‍ථචි යනු කිසියම් පෙදෙසකයි, කිඤ්චනා යනු කිසියම් නොපමාවූවෙක් ද වේ, මෙසේ මේ සූත්‍රයෙහි පස් තැනක විදර්‍ශනාව කියන ලදි, අරඹන ලද විදසුන් ඇති එක් භික්ෂුවක් එය කිරීමට සමත්වෙයි, නුවණැති ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ වූ බහුශ්‍රැත ශ්‍රමණයෙක් ද එය කිරීමට සමත්වෙයි. සෝවාන් සකෘදාගාමි අනාගාමීහු කිරීමට සමත් වෙත්මය, ක්ෂීණාශ්‍රවයා ගැන කිවයුත්තක්ම නැත. පස්වැන්න පැහැදිලිමය.
6. භික්ඛුමිත්ත සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි කම්මන්තං කාරෙති යනු කුඹුරු ආදී කර්‍මාන්ත කරවයි, අධිකරණං ආදියති යනු සතර අධිකරණ ගනියි, පාමොක්ඛෙසු භික්ඛුසු යනු දිශා ප්‍රමුඛ වූ භික්ෂූන් කෙරෙහිය, පටිවිරුද්ධො හොති යනු ප්‍රතිවිරුද්ධ ගැන්වීමට විරුද්ධ වෙයි, අනවත්‍ථ චාරිකං යනු අනිශ්චිත හැසිරීමයි.
7. අසප්පුරිස දාන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි අසක්කච්චං දානං දෙති යනු සත්කාර කොට පිරිසුදුකොට නොදෙයි, අචීන්තීකත්වා දෙති යනු නොසැලකිල්ලෙන් අගෞරවයෙන් දෙයි, අපවිද්ධං දෙති යනු නිරතුරුව නොදෙයි, නැතහොත් ඉවතදමනු කැමැත්තේ මෙන් දෙයි, අනාගමනදිට්ඨිකො දෙති යනු කවදා නම් ප්‍රතිඵලයක් එන්නේදැයි මෙසේ ප්‍රතිඵල ලැබීම පිළිබඳ දෘෂ්ටියක් උපදවා නොවෙයි,
යහපත් පැත්තෙහි, චිත්තීකත්වා දෙති යනු දෙය්‍ය ධර්‍මයන්හි ද දීමට සුදුසු පුද්ගලයන් කෙරෙහි ද ගෞරවය උපදවා දෙයි, එහි දානවස්තුව රසවත් කොට ඔදවත් කොට දෙන්නේ දෙය්‍යධර්‍මයෙහි ගෞරවය එළවයි නමි, පුද්ගලයා විමසා දෙන්නේ දීමට සුදුසු පුද්ගලයන් කෙරෙහි ගෞරවය එළවන්නේ නමි. සහත්‍ථා දෙති යනු ඇණවීමෙන් අනුන් අතින් නොදී නොදත් අග් ඇති සසරෙහි හැසිරෙන්නා වූ මවිසින් අත්පා නොලද අවස්ථාවන්ගේ ප්‍රමාණයක් නම් නැත. සසරින් මිදීම භවයෙන් අත්හැරීම කරන්නෙමැයි සියතින්ම දෙයි, ආගමනදිට්ඨිකො යනු අනාගත භවයට ප්‍රත්‍යය වේ යයි කර්‍මය ද විපාකය ද අදහා දෙයි.
8. සප්පුරිස දාන සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි සද්ධාය යනු දානයත් දාන ඵලයත් අදහායි, කාලෙන යනු සුදුසු කාලයෙනි, අනග්ගහිතචිත්තො යනු දැඩිව අල්වා නොගත් සිත් ඇත්තේ අත්හළ බැඳීම් ඇත්තේ වීයි, අනුපහච්ච යනු නොනසා, ගුණය නොමකායි, කාලාගතා චස්ස අත්‍ථා පචුරා හොන්ති යනු අර්ථයෝ පැමිණෙන්නාහු වයස්ගත වූ කාලයෙහි නොපැමිණ සුදුසු කල්හි ප්‍රථම වයසෙහි (තරුණ කල)ම පැමිණෙත්. එමෙන්ම බෙහෝ ද වෙත්.
9. පළමුවැනි සමයවිමුත්ත සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සමයවිමුත්තස්ස යනු (අරමුණට) නංවන ලද නංවන ලද කෙණහි යටපත් කළ කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් සමය විමුක්ති සංඛ්‍යාත ලෞකික විමුක්තියෙන් මිදුනු සිත් ඇත්තහුගේයි, දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
පස්වැනි වර්‍ගයයි.
තෙවැනි පණ්ණාසකයයි.
4. සිවුවැනි පණ්ණාසකය
1. සද්ධම්ම වර්ගය
1. පළමුවැනි සම්මත්තනියාම සූත්‍ර වර්ණනාව
සිවුවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මහතං යනු කුශල ධර්‍මයන්හි සම්පූර්‍ණත්වය වූ මාර්‍ගනියමයට බැසගන්නට නොසුදුසුවූයේ බදුන් නොවූයේයි, කථං පරිභොති යනාදියෙහි මෙය කවරනම් කථාවක්දැයි කියමින් කථාව පරිභව කරයි නමි, මෙතෙම කුමක් කියයි ද මෙතෙම කුමක් දනියිදැයි කියමින් කථිකයාට පරිභව කරයි නමි, අපි කුමක් දනිමුද අපට මෙය ඇසීමට කොයින් බලයක්දැයි කියමින් තමන් පරිභවයට ලක්කරයි නමි, විරුද්ධාකාරයෙන් යහපත් පැත්ත දතයුතුය.