2. දෙවැනි චක්කානුවත්තන සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි පිතරා පවත්තිතං චක්කං යනු සක්විති රජු පැවිදි වූ කල්හි හෝ කළුරිය කළ කල්හි හෝ චක්‍ර රත්නය දින සතක් පමණක් තිබී අතුරුදහන් වෙයි. කෙසේ නම් මෙතෙම එම චක්‍රය අනුපවත්වයි නම් වේද? පියාගේ ප්‍රවේණියෙහි සිට සක්විතිවත් පුරා සක්විති රජකම කරන්නේද පියා විසින් පවත්වන ලද්දම අනුපවත්වයි නමි,
3. ධම්මරාජ සූත්‍ර වර්ණනාව
තෙවැන්න තික නිපාතයෙහි කියන ලද ක්‍රමය ඇත්තේමය, මෙහි ඇසුරු කළ යුතු හා ඇසුරු නොකළ යුත්තේ වනාහි අන්තිම පද දෙකෙහිම විශේෂයයි, එහි සම්මා ආජීවය ඇසුරු කළ යුත්තේය, මිථ්‍යා ආජීවය ඇසුරු නොකළ යුතුය, ගැලපෙන ගම්නියම්ගම් ඇසුරු කළ යුතුය, නොගැලපෙන ගම් නියම් ඇසුරු නොකළ යුතුය.
4. ඛත්තියරාජ සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි උභතො යනු දෙපක්ෂයෙන්මය, මාතිතො ච පිතිතො ච යමෙකුගේ මව ක්ෂත්රිය ද මවගේ මව ක්ෂත්රිය ද ඇයගේ මව ද ක්ෂත්රිය ද පියා ක්ෂත්රිය ද පියාගේ පියා ක්ෂත්රිය ද ඔහුගේ පියා ද ක්ෂත්රිය ද හෙතෙම මවගේ ද පියාගේ ද යන දෙපසින්ම සුජාතය, සංසුද්ධග්ගණිකො යනු පිරිසුදු වූ මව්කුසින් යුක්ත වූයේයි, සමවෙපාකිනියා ගහණියා යනු මෙහි කර්මජ තෙජොධාතුව ගහණියයි කියනු ලැබේ, යාව සත්තමා පිතාමහයුගා යනු මෙහි පියාගේ පියා පිතාමහ නම් වේ. පිතාමහගේ යුගය පිතාමහ යුගං නමි, යුගය යනු ආයුෂ් ප්‍රමාණයයි, කියනු ලැබේ. මෙය හුදෙක් කථන ක්රමයකි, අරුත් වශයෙන් පිතාමහම පිතාමහ යුගයයි, එයින් උඩ සියලුම පූර්‍වපුරුෂයෝ පිතාමහ ගැනීමෙන් ගන්නා ලද්දාය. මෙසේ යම්තාක් සත්වැනි පුරුෂයා වේද ඒතාක් පිරිසුදු මව්කුස පිළිසිදීම් ඇත්තේයි, නැතහොත් ජාතිවාදයෙන් පහකොට නොසලකන ලද්දේ දොෂාරෝපණ නොලද්දේයි දැක්වෙයි, අක්ඛිත්තො යනු මොහු පහකරව මොහුගෙන් කවර වැඩක්දැයි මෙසේ ඉවත්කරන ලද්දේයි, නොසලකා හරින ලද්දේයි, අනුපක්කුට්ඨො යනු උපක්රොශ නොලද්දේයි, ආක්රොශයට හෝ නින්දාවට නොපත්විරූයි, කවරකරුණින්ද යත් ජාතිවාදෙන - ජාතිවාදයෙනි, මෙසේ මෙතෙම පහත් ජාති ඇත්තෙකැයි මෙබඳු වූ වචනයෙන් යයි අරුතය,
අඩ්ඪො යනාදියෙහි යම් කිසිවෙක් තමන් සතු සම්පත්තියෙන් ආඪ්‍ය වූයේයි, මහද්ධනො යනු මහත්වූ අප්‍රමාණ සංඛ්‍යාවෙන් වූ ධනයෙන් යුක්තවූයේ වෙයි. පස්කම් ගුණ වශයෙන් මහත්වූ බොහෝ වූ භෝග ඇත්තේ මොහුටනුයි. මහාභොගො නමි, පරිපුණ්ණකො සකොට්ඨාගාරො යනු කොසයයි කියනු ලබන්නේ භාණ්ඩාගාරයටයි, තැන්පත් කොට තැබූ ධනයෙන් පිරිපුන් භාණ්ඩාගාරය ඇත්තේ ද ධාන්‍යයෙන් පිරිපුන් භාණ්ඩාගාරය ඇත්තේ ද යන අරුත්ය. නැතහොත් ඇත් -අස් රිය රට යනුවෙන් කොෂ සතර වැදෑරුමිය, ධන කොෂ්ටාගාරය ධාන්‍ය කොෂ්ටාගාරය හා වස්ත්‍ර කොෂ්ටාගාරය යනුවෙන් කොෂ්ටාගාරය තෙවැදෑරුම්ය, ඒ සියල්ල පිරිපුන් වූයේ මොහුටනුයි පරිපුණ්ණ කොසකොට්ඨාගාරො නමි, අස්සවාය යනු කවරකුට හෝ බොහෝ වූද ධනය දෙන්නාගේ සේනාව නොඅසයිද හෙතෙම අනස්සවා නම් වෙයි, කවරකුට හෝ නොදෙන්නාගේ සේනාව අසයිද මෙතෙම අස්සවා නම්, ඔවාදපතිකරාය යනු මෙය ඔබවිසින් කළයුතු ය. මෙය නොකළ යුතුයයි දෙන ලද අවවාදයෙනි, පණ්ඩිතො යනු පාණ්ඩිත්‍යයෙන් යුක්තවූයේයි, ව්යත්තො යනු නුවණින් වියත් බවෙන් යුක්තවූයේයි, මෙධාවී යනු ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තවූයේයි, පටිබලො යනු සමත්වූයේයි අත්ථෙවින්තෙතුං යනු වැඩදායී අර්ත්ථයන් සිතීමටය, හෙතෙම වනාහි වර්තමාන අර්ත්ථ වශයෙන්ම අතීතයෙහි ද මෙසේ වූහ. අනාගතයෙහි ද මෙසේ වන්නාහුයයි සිතයි, විජිතාවිනං යනු දිනු දිනුම් ඇත්තවුන්ගේයි, මහත් වූ ජයග්රහණයෙන් යුක්තවූවන්ගේ හෝයි, විමුත්තවිත්තානං යනු විමුක්ති පසින් මිඳුණු මනස ඇත්තවුන්ගේයි.