4-5. ඵාසුවිහාර ආදි සූත්‍ර වර්ණනා
සිවුවැන්නෙහි ඵාසුවිහාරො යනු සැප විහරණයෙනි, පස්වැන්නේ අකුප්පං යනු රහත්බවයි,
6. දෙවන අකුප්ප සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි අප්පට්ඨො යනු අඩු උත්සාහ ඇත්තේයි, අප්පකිච්චො යනු අඩු කටයුතු ඇත්තේයි, සුභරො යනු සුවසේ වැඩිය යුත්තේ, සුවසේ පොෂණය කළ හැක්කේයි, සුසන්තොසො යනු ත්‍රිවිධ සත්තෝෂයෙන් මනාව සතුටු වූයේයි, ජීවිතපරික්ඛාරෙසු යනු ජීවිතයට අවශ්‍ය (අඩුවැඩියෙනි) ද්‍රව්‍යවලිනි, අප්පහාරො යනු අඩු ආහාර ඇත්තේයි, අනොදරිකත්තං යනු දැඩිසේ කුස නොපිරියයුතුබවට, බොහෝ කුසගිනි නැති බවට පැමිණියේයි, අප්පමිද්ධො යනු බොහෝ නිදි නැත්තේයි, සත්වැනි අටවැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තෝය.
9. සීහ සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සක්කච්චඤ්ඤෙව දෙති නො අසක්කච්චං යනු අවඥාවෙන් විරුද්ධ නොවීම දෙයි, අවඥාවෙන් විරුද්ධ වී නොවේ, මා මෙ යොග්ගපථො නස්ස යනු මා විසින් කරනලද පුහුණුවීමේ මාර්‍ගය මට නොනසව, එක් සිංහයෙක් නැඟිට බළලකුට පහර දෙන්නේ අතපසුවී පහර දුන්නේයයි මෙසේ කියන්නෝ නොවෙත්වායි අරුත්ය. අන්නභාරනෙසාදානං යනු මෙහි අන්න යනු යවතණයි, ඒ බර මොවුන්ටනුයි අන්නභාරා නමි, යවතණට අදාළ කටයුතු කරන්නවුනට මේ නමෙකි, කුරුළු වැද්දෝ නෙසාදායි කියනු ලැබෙත්, මෙසේ යටත් පිරිසෙයින් යවවැඩ කරන්නවුනට හා කුරුළු වැද්දන්ට ද සකස්වම දේශනා කරයි.
10. කකුධ සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අත්තලාභපටිලාභො යනු ශරීර ප්‍රතිලාභයයි, ද්වෙ වා තීණි වා මාගධකාති ගාමක්ඛෙත්තානි යනු මෙහි මගධයට අයත් කුඩා මධ්‍යම හා මහත් ග්‍රාමක්‍ෂෙත්‍ර ඇත. කුඩා ග්‍රාමක්‍ෂෙත්‍රය මෙයින් සතළිස් ඉස්බකි. මෙයින් සතළිස් ඉස්බකැයි ගව්වක් වෙයි, මධ්‍යම ග්‍රාමක්‍ෂේත්‍රය මෙයින් ගව්වකි මෙයින් ගව්වකැයි අඩයොදුනකි, මහත් ග්‍රාමක්‍ෂෙත්‍රය මෙදෙසින් ගව් එකහමාරකි. මෙදෙසින් ගව් එකහමාරකැයි ගව් තුනක් වෙයි, ඔවුනතුරින් කුඩා ග්‍රාමක්‍ෂේත්‍රයෙන් තුනක් ද කුඩා හා මධ්‍යම ග්‍රාමක්‍ෂේත්‍රයෙන් දෙකක් ද ඔහුගේ ආත්මභාවය වෙයි, ඔහුගේ ශරීරය ගවුතුනෙකි, පරිභරිස්සාමි යනු පිළිදැගුම් කරන්නෙමි, පෝෂණය කරන්නෙමියි, රක්ඛස්සෙතං යනු මොහු රකිත්වායි, මොඝපුරිසො යනු පහත් මිනිසායි, නාස්සස්ස යනු මොහුට නොවේවා! සමුදාචරෙය්‍යාම යනු කියන්නෙමු. සම්මන්නති යනු සම්මානකරයි, යං තුමො කරිස්සති තුමොව තෙන පඤ්ඤායිස්සති යනු මෙතෙම යමක් කරයිද හෙතෙමේම එම ක්‍රියාවෙන් ප්‍රකට වන්නේය, සෙස්ස, සියලු තන්හි පැහැදිලිමය.
පස්වැනි වර්‍ගයයි.
දෙවැනි පණ්ණාසකය නිමියේයි.
3. තෙවැනි පණ්ණාසකය
1. ඵාසු විහාර වර්ගය
1. සෙඛවෙසාරජ්ජ සූත්‍ර වර්ණනාව
තෙවැනි පණ්ණාසකයෙහි පළමු සුත්‍රයෙහි වෙසාරජ්ජකරණා යනු සොම්නස් නුවණ ඇතිකරවන්නාවූයි, විශාරද බව දෙන්නාවූයි, සාරජ්ජං හොති යනු දොමිනස් වෙයි,
2. සඞ්කිත සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි උස්සඞ්කිතපරිසඞ්කිතො යනු සැකයෙන් වූයේ ද, හාත්පසින්ම සැක සහිත වූයේ ද වේ, අපි අකුප්පධම්මොපි යනු නොසැලෙන සුලු වූ රහතුන් වහන්සේ කෙනෙක් වූයේ ද වෙනත් පවිටු භික්ෂූන්ගෙන් සැක සහිතවූයේත් හාත්පසින් සැක සහිතවූයේත් වේ යයි අරුත්ය, වෙසියගොචරො යනු ආදියෙහි රූපයෙන් ජීවිකාව සලසන්නියෝ වෙසියයි කියනු ලැබෙත්. ඔවුහු ඔහුගේ ගෝචරය වෙත්නුයි වෙසිය ගොචරො නම් වෙයි, ඔවුන්ගේ ගෙවලට නිතර යන්නේයි අරුත්ය, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි, එහි විධවා යනු මළ සැමියා ඇත්තීයි, ථුල්ලකුමාරියො යනු මහළු කුමරියෝයි,
3. මහා චොර සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි ඉතො භොගෙන පටිසන්ථරිස්සාමි යනු මේ මාගේ ධනයෙන් භොගවස්තු ගෙන එයින් පිළිසඳර (සැලකීම්) කරමි, ඔහුගේත් මගේත් පරතරය වසන්නෙමැයි අරුත්ය, නිග්ගහණානි යනු අනුන් සතු බඩු ගැනීම්ය, ගුය්හමන්තා යනු සැඟවියයුතු මන්ත්‍රයෝයි, අත්තගාහිකාය යනු සාස්වත හෝ උච්ඡෙද දෘෂ්ටිය ගෙන සිටියහුගේය, මෙහි සෙස්ස පැහැදිලිමය, සිවුවැන්නෙහි සියල්ල යට කියනලද අයුරුමයි.
5. ඵාසුවිහාර සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි මෙත්තං කායකම්මං යනු මෙත් සිතින් පවත්වන ලද කායකර්‍මයයි, ආචිචෙව රභොව යනු ඉදිරියෙහි මෙන්ම පිටුපසෙහියි, සෙසු තන්හි ද මේ ක්‍රමයමයි, යානි තානි සීලානි යනාදිය සිවු පිරිසුදු සිල් වශයෙන් කියන ලදි, සමාධිසංවත්තනිකානි යනු මාර්‍ග සමාධි හා ඵලසමාධි උපදවන්නාවූයි, සීලසාමඤ්ඤගතො යනු සමාන සිල් ඇතිබවට ගියේයි, එක් සමාන සිල් ඇත්තේවීයි අරුත්ය, තක්කරස්ස යනු යමෙක් ඔහුට කරයිද එම තැනැත්තාගේයි, මෙසේ මේ සූත්‍රයෙහි සීලය මිශ්‍රකව කියන ලදි, දිට්ඨිවිපස්සනාව සම්මාදිට්ඨියයි,
6. ආනන්ද සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි නො ච පරං අධිසීලෙ සම්පවත්තා යනු අනිකකු සීලය කරණකොට ගෙන නොගරහයි, උවදුරු නොකරයි, අත්තානුපෙක්ඛි යනු තමාගේම කළ නොකළ දෙය දැනීම් වශයෙන් තමා දෙස බලන බවයි, නො පරානුපෙක්ඛි යනු අනුන් කළ නොකළ දෙයෙහි නිරත නොවන්නායි, අප්පඤ්ඤාතො යනු ප්‍රකට නොවූ මඳ පින් ඇත්තායි, අප්පඤ්ඤාතකෙන යනු අඩුව දන්නා බැවින් අප්‍රකට හෙයින් මඳ පින් ඇති බැවිනි, නො පරිතස්සති යනු තැවීමට නොඑයි, මේ සූත්‍රයෙන් ක්ෂීණාශ්‍රවයා ද කියන ලදි,
7-8. සීලසම්පන්න ආදි සූත්‍ර වර්ණනා
විමුත්ති යනු අරහත්තඵල විමුක්තියයි, ඥානදර්‍ශනය වූ ප්‍රත්‍යවෙක්ෂණ ඥානය ලෞකිකමය, අටවැන්නෙහි ද මේ ක්‍රමයමැයි, මෙහි ප්‍රත්‍යවෙක්ෂණ ඥානය අශෛක්ෂයාට පැවති බැවින් අශෛක්ෂ යයි කියනු ලැබේ.