5. මාතාපුත්ත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි පරියාදාය තිට්ඨති යනු හාත්පසින් ගෙන ගෙවා සිටියි, උග්ඝාතිතා යනු ඉඳිමුණාවූයි,
අසිභත්‍ථෙන යනු හිසසිඳීම සඳහා කඩුව රැගෙන ආවහු විසින් ද යනුයි, පිසාචෙන යනු කෑමට පැමිණි යක්ෂයා විසිනුදුයි, ආසීද යනු ගටන්නේය, මඤ්ජුනා යනු මෘදුවූ දෙයිනි, කාමොඝවුළ්හානං යනු කාමොඝයෙන් ඉපිඑනවුන්ගේ කැඩුණවුන්ගේයි, කාලංගතිභවාභවං යනු සසරකාලය ද ගතිය ද නැවත නැවත වූ භවයෙහි ද යනුයි, පුරක්ඛතා යනු ඉදිරියෙන් හැසිරෙන්නේ ඉදිරියෙහි කරන ලද්දෝමය, යෙ ච කාමෙ පරිඤ්ඤාය යනු යම් පණ්ඩිතයෝ දෙවැදෑරුම් කාමයන් ත්‍රිවිධ පරිඥාවන්ගෙන් මනාව දැනයි, චරන්ති අකුතොභයා යනු ක්ෂීණාශ්‍රවයන්ට කිසිදු තැනකින් බියක් නැත. එබැවින් ඔවුහු අකුතොභය වී හැසිරෙති, පාරංගතා යනු නිවන පාරයි කියනු ලැබේ. එයට එළඹුණාහු ප්‍රත්‍යක්‍ෂ කොට සිටියාහුයි අරුත්ය, ආසවක්ඛයං යනු අරහත්වයයි, මේ සූත්‍රයෙහි සංසාරයම කියා ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.
6. උපජ්ඣාය සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි මධුරකජාතො යනු හටගත් ගරුබවයි, දිසාපි මෙ න පක්ඛායන්ති යනු සිවුදිසා ද අනුදිසා ද මට නොවැටහේයි කියයි. ධම්මා ච මං නප්පටිභන්ති යනු මට සමථ විදර්‍ශනා ධර්‍මයෝ ද නොවැටහෙති, අනභිරතො ච බ්‍රහ්මචරියං වරාමි යනු උකටලී වී බඹසර හැසිරෙමි, යෙන භගවා තෙනුපසඞ්කමි යනු ඔහුගේ කථාව අසා මෙතෙම බුදුන් විසින් හික්මවිය යුතු පුද්ගලයකැයි යන කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකිරීමට එළඹියේය. අවිපස්සකස්ස කුසලානං ධම්මානං යනු කුශල ධර්‍මයන් නොදකින්නාගේ නොසොයන්නාගේ නොපිරික්සන්නාගේ යන අර්‍ත්‍ථයයි, බොධිපක්ඛියානං යන සතිපට්ඨානාදී වූ සත්තිස් ධර්‍මයයි.
7. ඨාන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි ජරාධම්මොමහි යනු දිරන ස්වභාවය ඇත්තේ වෙමි, ජරං අනතීතො යනු ජරාව නොඉක්මවන්නේ ජරාව තුළම හැසිරෙමි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, කම්මස්සකො යනාදියෙහි කර්‍මය මගේය, තමන්ගේය, තමන් සතුයයි කර්‍මය ස්වකීය කොට ඇත්තේ වෙමි, කර්‍මයට දායාදවූයේ කම්මදායාදො නමි, කර්‍මය මගේ දායාදයයි, අයිතියයි යන අර්‍ත්‍ථයි, කර්‍මය මගේ යෝනිය කාරණාය වේනුයි කම්මයොනි නමි, කර්‍මය මගේ ඥාතියායි කම්මබන්ධු නමි, කර්‍මය ඥාතිකොට ඇත්තේය යන අර්‍ත්‍ථයයි, කර්‍මය මගේ පිළිසරණය ප්‍රතිෂ්ඨාව වේනුයි කම්මපටිසරණො නමි, තස්ස දායාදො භවිස්සාමි යනු ඒ කර්‍මයාගේ දායාදය, එයින් දෙන ලද විපාක පිළිගන්නා වෙමැයි අර්‍ත්‍ථයයි, යොබ්බනමදො යනු යොවුන්බව අරභයා උපන් මදයයි, සෙසු තැන්හි ද මේ ක්‍රමයමැයි, මග්ගො සඤ්ජායති යනු ලොවුතුරු මග හටගනියි, සඤ්ඤොජනා පහීයන්ති යනු දශසංයෝජනයේ සර්‍වප්‍රකාරයෙන්ම ප්‍රහීන වෙති, අනුසයා ව්‍යන්ති හොන්ති යනු සප්ත අනුසයෝ පහවූ බැවින් සම්පූර්‍ණයෙන් නැසුණාහු විනාශවූවාහු වෙත්, මෙසේ මෙහි යට පස් තැනක විදර්‍ශනාව කියන ලදි, මේ පස් තැනෙහි ලොවුතුරා මග කියන ලදි,
දැන් ගාථාවන් කුළුගන්වන්නේ “ව්‍යාධිධම්මා” ආදිය කීවේය. එහි ඤත්වා ධම්මං නිරූපධිං යනු උපධි රහිත වූ රහත්මග දැනයි, සබ්බෙමදෙ අභිභොස්මි යනු මේ සියලු තුන් මදයන් මැඩ පැවැත්වීමි, ඉක්මවා සිටියෙමියි අර්‍ත්‍ථයයි: නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො යනු පැවිද්ද නිර්භය තැන ලෙස දැකයි, තස්ස මෙ අභු උස්සාභො නිබ්බානං අභිපස්සතො යනු නිවන ඉදිරියෙහි දකින්නාවූ මට උත්සාහය වීය, අනිවත්ති භවිස්සාමි යන පැවිද්දෙන් නොනැවතෙන්නෙක් වන්නෙමි. බ්‍රහ්මචරියවාසයෙන් නොනැවතෙන්නෙක්, සර්‍වඥතාඥානයෙන් නොනැවතෙන්නෙක් වන්නෙමි. බ්‍රහ්මචරියපරායනො යනු මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව පිහිට කොට ඇත්තේයි, මෙයින් ලෝකෝත්තර වූ අෂ්ටාංගික මාර්‍ගය කියන ලදි.
8. ලිච්ඡවිකුමාර සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි සජ්ජානි ධනුනි යනු දුනුදිය අදින ලද නංවනලද දුනුයි, අද්දසු යනු දුටුවාහුය, භවිස්සන්ති වජ්ජි යනු වජ්ජි රජදරුවෝ වැඩෙති, අපජහා යනු අවැඩ ඇසුරු වූ මානයෙන් දැඩිවූවෝයි, පච්ඡාලියං ඛීපං යනු පිටුපසින් ගොස් පිටිපයින් ගසත්, රට්ඨිකස්ස යනාදියෙහි රට පරිභොග කරයිනුයි රට්ඨික නමි. පියා විසින් දෙන ලද ධනය පරිභෝග කෙරේයි පෙත්තනිකො නමි, සේනාවට ස්වාමියාය, ජ්‍යෙෂ්ඨයායි, සෙනාපති කො නමි, ගාමගාමිකස්ස යනු ගම්වල ස්වාමියාගේයි, අධිපතියාගේයි, පුග්ගාමණිකස්ස යනු සමූහයක ප්‍රධානයාගේයි, කුලෙසු යනු ඒ ඒ කුලයන්හියි, පෙච්චකාධීපච්චං කාරෙන්ති යනු තනිතනිව ප්‍රධාන තනතුර කරත්, කල්‍යාණෙන මනසා අනුකම්පන්ති යනු සොඳුරු සිතෙන් අනුග්‍රහ කරති. ඛෙත්තකම්මන්ත සාමන්ත සංවොහාරෙ යනු තමන්ගේ කර්‍මාන්තයන්ගේ සාමාන්තයෝ (අසල්වැසියෝ), සමීප කුඹුරු හිමියෝ වෙත්ද ඔවුහු ද රැහැන් දඬුවලින් භූමි ප්‍රමාණයන් ගන්නා වූ ව්‍යාපාරයන් ද යනුයි, බලිපටිග්ගාහිකා දෙවතා යනු කුල පරපුරින් ආවාවූ ආරක්‍ෂක දේවතාවෝයි, සක්කරොති යනු ඒ දෙවිවරුන් අග්‍රයාගු (කැඳ) බත් ආදියෙන් සත්කාර කරයි.
කිච්චකරො යනු ඇතිවූ කටයුතු කරන්නායි, යෙ චස්ස උපජීවිනො යනු යමෙක් ඒවා ඇසුරු කොට ජීවත් වෙත්ද ඔවුහුයි. උභින්නංයෙච අත්‍ථාය යනු දෙදෙනාටම යහපත සඳහා පිළිපන්නේ වෙයි, යන අරුත්ය. පුබ්බපෙතානං යනු පරලොව ගියවුන්ගේයි, දිට්ඨධම්මො ච ජීවිතං යනු යමෙක් මෙලොව ජීවත් වෙත්ද ඔවුන්ගේයි. මෙසේ පද දෙකින්ම අතීත හා වර්‍තමාන ඥාතීන්ම දක්වයි. විත්තිසංජනනො යනු සතුට දනවන්නේයි, ඝරමාවසං යනු ගිහිගෙහි වසන්නේයි, පුජ්ජො හොති පසංසියො යනු පිදිය යුත්තෙක් ද පැසසිය යුත්තෙක් ද වෙයි.