3. පධානියඞ්ග සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයෙහි පධානියඞ්ගානි යනු උත්සාහ කිරීම පධානයි කියනු ලැබේ. උත්සාහය මොහුට ඇත්තේනුයි පධානියො නමි. උත්සාහය ඇති භික්ෂුවගේ අංගයෝනුයි පධානියඞ්ගාන නමි. සද්ධො යනු ශ්‍රද්ධාවෙන් යුක්තවූයේයි, මේ ශ්‍රද්ධාව වනාහි ආගම සද්ධා අධිගම සද්ධා ඔකප්පන සද්ධා පසාද සද්ධායි සිවුවැදෑරුම් වෙයි, එහි සර්‍වඥබෝධිසත්වයන්ගේ ශ්‍රද්ධාව (බුද්ධත්වය සඳහා වූ) අධිෂ්ඨානයේ පටන් පැමිණි බැවින් ආගමන සද්ධා නමි, ආර්‍යශ්‍රාවකයන්ගේ වැටහීමෙන් අවබෝධ කළ බැවින් අධිගම සද්ධා නමි, බුද්ධ - ධම්ම - සංඝ යැයි කියනලද තෙරුවනහි නොසැලෙන බැවින් වූ විශ්වාසය ඔකප්පනසද්ධා නමි, ප්‍රසාදයේ ඇතිවීම පසාදසද්ධා නමි, මෙහි ඔකප්පන සද්ධාව අදහස් කරන ලදි, බොධිං යනු මාර්‍ග සතරෙහි ඥානයයි, එය තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරන ලදැයි අදහයි, මෙය දේශනා ශීර්ෂයක් ද වේ. මේ අංගයෙන් ත්‍රිවිධ රත්නයෙහි ශ්‍රද්ධාව අදහස් කරන ලදි, යමකුගේ බුද්ධාදීන්හි පැහැදීම බලවත් වේද ඔහුගේ වීර්යය ඉෂ්ට වෙයි,
අප්පාබාධො යනු නිරෝගී වූයේයි. අප්පාතඞ්කො යනු නිදුක් වූයෙයි, සමවෙපාකිනියා යනු සමව පැසෙන්නාවූයි, ගහණියා යනු කර්‍මයෙන් හටගත් තෙජො ධාතුවෙනි, නාතිසීතාය නාච්චුණභාය යනු දැඩි ශීතතෙජොධාතුක වූ තැනැත්තේ ශීතට බිය ඇත්තේ වෙයි, දැඩි උෂ්ණ තෙජොධාතුක වූ තැනැත්තේ උණුසුමට බිය ඇත්තේ වෙයි, ඔවුන්ගේ වීර්යය සමෘද්ධ නොවේ. මධ්‍යම තෙජොධාතුක වූ තැනැත්තාගේ වීර්‍යය සමෘද්ධ වෙයි, එහෙයින් මජ්ඣිමාය පධානක්කමාය යි කියන ලදි: යථාභූතං අත්තානං ආචිකතත්තා යනු ඇති සැටියෙන් තමාගේ අගුණ පවසන්නායි, උදයත්‍ථගාමිනියා යනු හටගැනීම ද විනාශය ද පිරිසිඳ දැනීමට සමත් වූයි, මෙයින් ලක්ෂණ පණහකින් යුත් උදයව්‍යය ඥානය කියන ලදි, අරියාය යනු පිරිසුදුවූයි, නිබ්බෙධිකාය යනු නොනැසූවිරූ ලොභස්කන්ධාදිය වැනසීමට හැකි වූයි, සම්මාදුක්ඛ යගාමිනියා යනු තාවකාලික වශයෙන් කෙලෙසුන් ප්‍රහීන කළ බැවින් යම් දුකක් ගෙවේ ද ඒ දුකේ විනාශයට යන්නාවූයි, මෙසේ මේ සියලු පදයන්ගෙන් විදර්‍ශනා ප්‍රඥාවම කියන ලදි, දුර්‍වල ප්‍රඥා ඇත්තහුගේ උත්සාහය සාර්‍ත්‍ථක නොවෙයි:
4. අසමය - සමය සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි පධානාය යනු වීර්ය කිරීම සඳහායි, න සුකරං උඤ්ජෙන පග්ගහෙන ඨාපෙතුං යනු පාත්‍රය ගෙන තැනින් තැන අහර ලබා ගැනීමට හැසිරීමෙන් යැපීමට නොහැකි වෙයි, මේ සූත්‍රයෙහි ද සසර හා නිවනම කියන ලදි.
5. මාතාපුත්ත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි පරියාදාය තිට්ඨති යනු හාත්පසින් ගෙන ගෙවා සිටියි, උග්ඝාතිතා යනු ඉඳිමුණාවූයි,
අසිභත්‍ථෙන යනු හිසසිඳීම සඳහා කඩුව රැගෙන ආවහු විසින් ද යනුයි, පිසාචෙන යනු කෑමට පැමිණි යක්ෂයා විසිනුදුයි, ආසීද යනු ගටන්නේය, මඤ්ජුනා යනු මෘදුවූ දෙයිනි, කාමොඝවුළ්හානං යනු කාමොඝයෙන් ඉපිඑනවුන්ගේ කැඩුණවුන්ගේයි, කාලංගතිභවාභවං යනු සසරකාලය ද ගතිය ද නැවත නැවත වූ භවයෙහි ද යනුයි, පුරක්ඛතා යනු ඉදිරියෙන් හැසිරෙන්නේ ඉදිරියෙහි කරන ලද්දෝමය, යෙ ච කාමෙ පරිඤ්ඤාය යනු යම් පණ්ඩිතයෝ දෙවැදෑරුම් කාමයන් ත්‍රිවිධ පරිඥාවන්ගෙන් මනාව දැනයි, චරන්ති අකුතොභයා යනු ක්ෂීණාශ්‍රවයන්ට කිසිදු තැනකින් බියක් නැත. එබැවින් ඔවුහු අකුතොභය වී හැසිරෙති, පාරංගතා යනු නිවන පාරයි කියනු ලැබේ. එයට එළඹුණාහු ප්‍රත්‍යක්‍ෂ කොට සිටියාහුයි අරුත්ය, ආසවක්ඛයං යනු අරහත්වයයි, මේ සූත්‍රයෙහි සංසාරයම කියා ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.
6. උපජ්ඣාය සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි මධුරකජාතො යනු හටගත් ගරුබවයි, දිසාපි මෙ න පක්ඛායන්ති යනු සිවුදිසා ද අනුදිසා ද මට නොවැටහේයි කියයි. ධම්මා ච මං නප්පටිභන්ති යනු මට සමථ විදර්‍ශනා ධර්‍මයෝ ද නොවැටහෙති, අනභිරතො ච බ්‍රහ්මචරියං වරාමි යනු උකටලී වී බඹසර හැසිරෙමි, යෙන භගවා තෙනුපසඞ්කමි යනු ඔහුගේ කථාව අසා මෙතෙම බුදුන් විසින් හික්මවිය යුතු පුද්ගලයකැයි යන කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකිරීමට එළඹියේය. අවිපස්සකස්ස කුසලානං ධම්මානං යනු කුශල ධර්‍මයන් නොදකින්නාගේ නොසොයන්නාගේ නොපිරික්සන්නාගේ යන අර්‍ත්‍ථයයි, බොධිපක්ඛියානං යන සතිපට්ඨානාදී වූ සත්තිස් ධර්‍මයයි.
7. ඨාන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි ජරාධම්මොමහි යනු දිරන ස්වභාවය ඇත්තේ වෙමි, ජරං අනතීතො යනු ජරාව නොඉක්මවන්නේ ජරාව තුළම හැසිරෙමි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, කම්මස්සකො යනාදියෙහි කර්‍මය මගේය, තමන්ගේය, තමන් සතුයයි කර්‍මය ස්වකීය කොට ඇත්තේ වෙමි, කර්‍මයට දායාදවූයේ කම්මදායාදො නමි, කර්‍මය මගේ දායාදයයි, අයිතියයි යන අර්‍ත්‍ථයි, කර්‍මය මගේ යෝනිය කාරණාය වේනුයි කම්මයොනි නමි, කර්‍මය මගේ ඥාතියායි කම්මබන්ධු නමි, කර්‍මය ඥාතිකොට ඇත්තේය යන අර්‍ත්‍ථයයි, කර්‍මය මගේ පිළිසරණය ප්‍රතිෂ්ඨාව වේනුයි කම්මපටිසරණො නමි, තස්ස දායාදො භවිස්සාමි යනු ඒ කර්‍මයාගේ දායාදය, එයින් දෙන ලද විපාක පිළිගන්නා වෙමැයි අර්‍ත්‍ථයයි, යොබ්බනමදො යනු යොවුන්බව අරභයා උපන් මදයයි, සෙසු තැන්හි ද මේ ක්‍රමයමැයි, මග්ගො සඤ්ජායති යනු ලොවුතුරු මග හටගනියි, සඤ්ඤොජනා පහීයන්ති යනු දශසංයෝජනයේ සර්‍වප්‍රකාරයෙන්ම ප්‍රහීන වෙති, අනුසයා ව්‍යන්ති හොන්ති යනු සප්ත අනුසයෝ පහවූ බැවින් සම්පූර්‍ණයෙන් නැසුණාහු විනාශවූවාහු වෙත්, මෙසේ මෙහි යට පස් තැනක විදර්‍ශනාව කියන ලදි, මේ පස් තැනෙහි ලොවුතුරා මග කියන ලදි,