10. මහාසාල සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි මහාසාලා යනු මහත් වෘක්ෂයෝයි, සාඛාපත්තාපලාසෙන වඩ්ඪන්ති යනු කුඩා අතුවලින් ද පත්‍ර සංඛ්‍යාත වූ පලාසයෙන් ද වැඩෙත්, අරඤ්ඤස්මිං යනු නොගම් පෙදෙසෙහිය, බ්රහා යනු මහත්ය, වනෙ යනු කැලයෙහියි, මෙහි සෙස්ස පැහැදිලිමය.
සිවුවැනි වූ සුමනා වර්ගයයි.
5. මුණ්ඩරාජ වර්ගය
1. භොගආදිය සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි භොගානං ආදියා යනු භෝගයන්ගේ ගැනීමට සුදුසු කාරණයෝයි, උට්ඨානවීරියාධිගතෙහි යන උපට්ඨාන සංඛ්‍යාත වූ වීර්යයෙන් ලබන ලද දෙයිනි, බාහාබලපරිචිතෙහි යනු බාහුබලයෙන් රැස්කළ දෙයිනි, සෙදාවක්ඛිත්තෙහි යනු දහදිය හෙලා උපදවන ලද දෙයිනි, ධම්මිකෙහි යනු ධර්මයෙන් යුක්ත දෙයිනි, ධම්මලද්ධෙහි යනු දශකුශලධර්මය විනාශ නොකොට ලද දෙයිනි, ජිනෙති යනු වැඩි කරයි, මහත්වූවක් කරයි, මෙහි ඉතිරිය චතුක්ක නිපාතයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,
3. ඉට්ඨධම්ම සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි ආයුසංචත්තනිකා පටිපදා යනු දානශීලාදී වූ පුණ්‍ය ප්‍රතිපදාවයි, සෙසු තැන්හිද මේ ක්‍රමයමයි, අත්ථාභිසමයා යනු අර්‍ත්‍ථයාගේ එක්වීමෙනි, අර්ත්ථප්රතිලාභයෙනියි කියන ලද්දේ වෙයි:
4. මනාපදායී සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි උග්ගො යනු ගුණයෙන් උස්ව සිටි බැවින් මෙසේ ලබන ලද නම ඇත්තේයි: සාලපුප්ඵකං ඛාදනීයං යනු චතුමධුරය යෙදූ හැල්පිටිවලින් කළ සල්මල් වැනි වූ කෑයුතු දෙයයි, එය ද පෙනෙනු ලබන (පරිද්දෙන්) නැටි පත් රේණු තබා දුරු වර්ගවලින් යුතු ගිතෙලෙහි උයා ගිතෙල හරවා ලොකු සැලියක බහා සුවඳ කවා වසා මුද්‍රා තබා තබන ලද්දේ වෙයි, හෙතෙම එය කැඳ පානය කොට හුන්නාවූ බුදුරජාණන් වහන්සේට බතට අනතුරුව දෙනු කැමැත්තේ මෙසේ කීය, පටිග්ගහෙසි භගවා යනු මෙය දෙශනා මාත්‍රයකි, උවසුතෙමේ එය භාග්‍යවතුන් වහන්සේට ද පන්සියයක් භික්ෂූන්ට ද දුන්නේය, යම්සේ එය (දුන්නේද) එසේ සූකරමාංශාදිය ද දුන්නේය. එහි සම්පත්තකොලකං යනු හටගත් ඩෙබර ගෙඩියි, සුකරමංසං යනු මිහිරි රසැති ඩෙබර (මසන්) සමඟ දුරු වර්ග යොදා පිසුවා වූ අවුරුද්දක් ගතවූ සූකර මාංශයයි, නිබද්ධතෙලං යනු හරනා ලද තෙලයි, නාළියා සාකං යනු හාල්පිටි සමඟ මිරිකා දුරුවර්ග සහිත ගිතෙලෙහි පිස චතුමධුර යොදා සුවඳ ගල්වා තබනලද බඳුන්වල වැඩූ එළවුලුවයි, නෙතං භගවතො කප්පති යනු මෙහි අකැපදෙය අරභයා කැපදෙය ද නොකැපයයි කියන ලදි, සිටුතෙමේ ඒ සියල්ල ගෙවා ගොඩවල් කොට යමක් යමක් අකැප වේද ඒ ඒ දෙය වෙළඳ සැලට යවා කැපවූ උපභොග පරිභොග දෙය දුන්නේය, ඉතා මහත් නොවූ රියන් දෙකහමාරක් දිගැති රියන් එකහමාරක් පළලැති සඳුන් පුවරුව හරවත් උතුම් භාණ්ඩයක් වූ බැවින් මහත් වටිනා දෙයක් වූයේය, භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන කෑලිවලට කඩවා භික්ෂූන්ට අඳුන් කුඩු සඳහා දෙවූ සේක.
උජ්ජුභූතෙසු යනු කය වචන හා සිතෙන් සෘජු වූවන් අතරෙහිය, ඡන්දසා යනු ප්‍රේමයෙනි, චත්තං යනාදියෙහි පරිත්‍යාග වශයෙන් අත්හළ දෙයයි, අත්හළ ත්යාගවත්බව නිසා මුත්තං නමි, බලාපොරොත්තු රහිත සිත ඇති බැවින් සිතෙන් නොම නොගන්නා ලදැයි අනග්ගහිතං නමි, ඛෙත්තුපමෙ යනු වැඩෙන අරුතින් කෙතක් බඳු වූ දෙයෙහියි,
අඤ්ඤතරං මනොමයං යනු සුද්ධාවාසයන් අතුරෙහි ධ්‍යාන මනසින් උපන් දේවකායකි, යථාධිප්පායො යනු අදහස පරිද්දෙනි, මෙයින් කුමක් අසයිද? ඔහුට මිනිස් කාලයෙහි රහත්බව සඳහා අදහසක් වූයේය, එය අසමැයි අසයි, දිව්‍යපුත්‍රයා ද රහත්බවට පැමිණි බැවින් “තග්ඝ මෙ භගවා යථාධිප්පායො”යි කීවේය. යත්ථ යත්ථුප්පජ්ජති යනු ත්‍රිවිධ කුල සම්පත්තීන්හි හෝ කාමස්වර්ග සයෙහි හෝ යම් යම් තැනක උපදියි ද ඒ ඒ තන්හි දීර්ඝායු ඇත්තේ කීර්ති ඇත්තේ වී උපදියි. පස්වැන්න චතුක්ක නිපාතයෙහි කියන ලද අයුරින් දතයුතුය, සවැනි සත්වැනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේමය.