6. විමුත්තායතන සූත්ර වර්ණනාව
සයවැන්නෙහි විමුත්තායතනානි යනු මිදීම ඇතිකරන කරුණුයි, යත්ථ යනු යම් විමුක්තිය ඇතිකරන කරුණුවලයි, සත්ථා ධම්මං දෙසෙති යනු සිවුසස් දහම් දෙසන සේක, අත්ථපටිසංවෙදිනො යනු පෙළ අරුත දන්නහුගේයි, ධම්මපටිසංවෙදිනො යනු පෙළ දන්නහුගේයි, පාමුජ්ජං යනු තරුණ ප්රීතියයි, පීති යනු සතුටු ආකාරය ඇත්තා වූ බලවත් ප්රීතියයි, කායො යනු නාමකායයයි, පස්සමහති යනු සංසිදීමට පැමිණෙයි, සුඛං වෙදෙති යනු සුවය ලබයි, චිත්තං සමාධියති යනු අරහත් ඵල සමාධියෙන් එකඟතාවට පැමිණෙයි, ඒ ධර්මය අසන්නා වූ මෙතෙම පැමිණි පැමිණි තැන ධ්යාන විදර්ශනා මාර්ගඵල දනියි, එසේ දන්නාවූ ඔහුට ප්රීතිය උපදියි, හෙතෙම ප්රීතියෙන් අනතුරුව පහතට වැටීමට නොදෙමින් උපචාර කර්මස්ථානිකයෙක් වී විදසුන් වඩා රහත් බවට පැමිණෙයි, ඒ සඳහා “චිත්තං සමාධියති”යි කියන ලදි. සෙස්සෙහි ද එම ක්රමයමයි, මෙහි මේ විශේෂයයි, සමාධිනිමිත්තං යනු අරමුණු තිස් අට අතුරෙන් එක්තරා සමාධියක්ම සමාධි නිමිත්තයි, සුග්ගහිතං හොති යනාදියෙහි ඇඳුරුවරයාගේ සමීපයෙහි කමටහන් උගන්නහු විසින් මනාව ගන්නා ලද්දේ වෙයි, මනාව මෙනෙහි කරන ලද්දේ මනාව මතකයෙහි තබන ලද්දේ වෙයි, සුප්පටිවිද්ධං පඤ්ඤාය යනු ප්රඥාවෙන් මනාව ප්රත්යක්ෂ කරන ලදි, තස්මිං ධම්මෙ යනු ඒ කමටහන් පෙළදහමෙහිය, මෙසේ මේ සූත්රයෙහි පස් විමුත්තායතනයෝ රහත් බවට පමුණුවා කියන ලද්දාහුය.
7. සමාධි සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි අප්පමාණං යනු ප්රමාණ කරන ධර්මයන්ගෙන් තොරවූ ලෝකෝත්තරත්වයයි, නිපකා පතිස්සතා යනු නුවණින් ද සිහියෙන් ද යුක්ත වූවාහු වීයි, පඤ්චඤාණානි යනු පස් වැදෑරුම් ප්රත්යවෙක්ෂණ ඥානයෝයි, පච්චත්තංයෙව උප්පජ්ජන්ති යනු තමා කෙරෙහිම උපදිත්, අයං සමාධී පච්චුප්පන්නසුඛො චෙව යනාදියෙහි අරහත්ඵල සමාධිය අදහස් කරන ලදි, මාර්ග සමාධියයි ද කියත්, එය වනාහි (සමාධියට) නැංවු නැංවූ කෙණෙහි සුව ඇති බැවින් පච්චුප්පන්නසුඛො නමි, කලින් කලින් වූ දෙය පසුව පසුව වන සමාධි සුඛයට ප්රත්යය වන බැවින් ආයතිං සුඛවිපාකො නමි, කෙලෙසුන්ගෙන් දුරු වූ බැවින් අරියො නමි, කාමාමිෂ සංසාරාමිෂ ලෝකාමිෂයන්ගේ නැතිවීමෙන් නිරාමිසො නමි, බුද්ධාදී මහා පුරුෂයන් විසින් සෙවුනාලද බැවින් අකාපුරිසසෙවිතො නමි, අවයව සංසිඳීමෙන් ද අරමුණු සංසිදීමෙන් ද සියලු කෙලෙස් තැවුල් සංසිඳීමෙන් ද සන්තො නමි, නොතැවෙන අරුතින් පණිතො නමි, කෙලෙස් සංසිඳීමෙන් ලද බැවින්, කෙලෙස් සංසිඳීම ලද බැවින් හෝ පටිප්පස්සද්ධිලද්ධො නමි, පටිප්පස්සද්ධං පටිප්පස්සද්ධි යන මෙය අර්ත්ථ වශයෙන් එකකි, සංසිඳුනු කෙලෙසුන් ඇති රහතන් වහන්සේ විසින් ලද බැවින් ද පටිප්පස්සද්ධලද්ධො නමි, එකඟ බවින් අවබෝධ කළ බවින් හෝ එකඟ බවම ලද බවින් එකොදිභාවාධිගතො නමි, නොවඩනලද ආශ්රව සහිත සමාධිය මෙන් අනුන්ගේ මෙහෙයවීම ඇති ප්රයෝග සහිත සිතින් විරුද්ධ ධර්මයන් පෙළා කෙලෙසුන් වළක්වා අවබෝධ නොකළ බැවින් න ස සඞ්ඛාරනිග්ගය්හවාරිතවතො නමි, ඒ සමාධියට සමවදින්නේ එයින් නැඟී සිටින්නේ හෝ සිහිය මහත්බවට පත් බැවින් සිහියෙන්ම සමවදියි, සිහියෙන්ම නැගිටියි, යම්සේ සීමා කළ කාලවශයෙන් හෝ සිහියෙන් සමවදියි ද සිහියෙන් නැඟී සිටියි ද එබැවින් මෙහි මෙම සමාධිය වර්තමාන සැප ඇත්තේ මෙන්ම අනාගතයෙහි සැප විපාක ඇත්තේ යයි මෙසේ ප්රත්යවෙක්ෂා කරන්නහුට ඉහාත්මයෙහිම අපරප්පච්චය ඤාණය උපදියි, එය එක් ඥානයකි, සෙසුතන්හි ද මෙම ක්රමයයි, මෙසේ මේ ඥාන පස ඉහාත්මයෙහිම උපදියි.
8. පඤ්චඞ්ගිකසමාධි සූත්ර වර්ණනාව
අටවැන්නෙහි අරියස්ස යනු යටපත් කිරීම් වශයෙන් ප්රහීන වූ කෙලෙසුන්ගෙන් දුරුව සිටියහුගේයි, භාවනං දෙසෙස්සාමි යනු වැඩීම, දියුණුව ප්රකාශ කරන්නෙමි, ඉමමෙව කායං යනු මේ භෞතික ශරීරයයි, අභිසන්දෙති යනු තෙමයි, තෙත්කරයි, හැමතැනම පැවති ප්රීතිසුඛය ඇතිකරයි, පරිසන්දෙති යනු හාත්පසින් තමයි, පරිපූරෙති යනු සුළඟින් පසුම්බියක් මෙන් කරයි, පරිප්ඵරති යනු හාත්පසින් ස්පර්ශ කරයි, සබ්බාවතො කායස්ස යනු ඒ භික්ෂුවගේ සියලු කොටස් ඇති ශරීරයේයි, උපාදින්නරූප (භෞතික) සන්තතිය පැවති තැන්හි සම්-මස්-ලේ අනුව ගිය අණුමාත්ර වූ ද, තැනක් ප්රථමධ්යාන සුවයෙන් නොපැහැසී සිටියේ නම් නොවෙයි,