5-6. බලදට්ඨබ්බ ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි ස්වකීය විෂයෙහිම ලෝකෝත්තර ධර්‍මයන් කීමට “කත්‍ථච භික්ඛවෙ සද්ධාබලං දට්ඨබ්බං” යනාදිය කීය. යම්සේ නම් සිටු පුතුන් සිවුදෙනකු හා රජු යන රජු පස්වැනි කොට ඇති යහළුවන් නැකැත් කෙළින්නෙම්හයි මගට බටකල්හි එක් සිටුපුතකුගේ ගෙට ගියවිට සෙසු සිවුදෙන නිහඬව සිටිත්ද ගෙහිමියාම මොවුන්ට කෑයුතුදෙය බිදිය යුතුදෙය දෙව්, ගඳමල් අබරණ ආදිය දෙව්යි කියමින් ගෙහි හැසිරෙයි ද දෙවැන්නාගේ, තෙවැන්නාගේ හා සතරවැන්නාගේ ගෙට ගිය විට ඉතිරි සිවුදෙන නිහඬව හිඳිත්ද ගෙහිමියාම මොවුනට කෑ යුතු, බිඳියයුතු දෙය දෙව්, ගඳමල් අබරණ ආදිය දෙව්යි කියමින් හැසිරෙයිද? ඉක්බිති සියල්ලට පසුව රජුගේ ගෙට ගිය විට, රජු සියලු තන්හි අධිපතියා වුවද මෙවිට තමාගේ ගෙහිම මොවුනට කෑ යුතුදෙය බිදිය යුතු දෙය දෙව් ගඳමල් අබරණ ආදිය දෙව්යි කියමින් හැසිරෙයි ද, එපරිද්දෙන්ම ශ්‍රද්ධාව පස්වැනි කොට ඇති ඒ බලයන් යහළුවන් එක්ව මගට බස්නා කල්හි මෙන් එක් අරමුණක උපදනා කල්හි යම්සේ පළමුවැන්නාගේ ගෙහි ඉතිරි සිවුදෙනා නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද එසේ සෝවාන් අංගයන්ට පත්ව අධිමොක්‍ෂ ලක්ෂණ ඇති ශ්‍රද්ධා බලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්. යම්සේ දෙවැන්නාගේ ගෙහි ඉතිරි සිවුදෙනා නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද මෙසේ සම්‍යග්ප්‍රධානයන්ට පත්ව දැඩිව ගැනීම් ලක්‍ෂණ කොට ඇති වීර්යබලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්, යම්සේ තෙවැන්නාගේ ගෙහිදී ඉතිරි සිවුදෙන නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද එසේ සතිපට්ඨානයන් බවට පත්ව උපස්ථාන ලක්‍ෂණය ඇති සතිබලයම ජ්‍යෙෂ්ඨයා වෙයි පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්, යම්සේ සිවුවැන්නාගේ ගෙහිදී ඉතිරි සිවුදෙන නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද මෙසේ ධ්‍යාන විමොක්ෂයන් බවට පත්ව නොවිසිරීම ලක්ෂණකොට ඇති සමාධි බලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්, සියල්ලට පසුව රජුගේ ගෙට ගියවිට යම්සේ ඉතිරි සිවුදෙනා නිහඬව හිඳිත්ද රජුම ගෙහි හැසිරෙයිද මෙසේ ආර්ය සත්‍යයන්ට පැමිණ මනාව දැනීම ලක්‍ෂණ කොට ඇති ප්‍රඥා බලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙතැයි මෙසේ මෙහි පඤ්චබලයෝ මිශ්‍රකවම කියන ලද්දාහ. සයවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය, එසේ කලින් වර්‍ගයෙහි ද මෙහි ද සූත්‍ර අටෙහි ශෛක්ෂ බලයෝම කියන ලදහ. යට සූත්‍ර සතරෙහි ශෛක්ෂ බලයෝ කියන ලද්දාහුදැයිද මතු සූත්‍ර සතරෙහි අශෛක්ෂ බලයෝ කියන ලද්දාහුදැයිද කරණ්ඩකොල වාසී මහාදේව තෙරණුවෝ පැවසූහ.
7. අත්තහිත සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි ශීල ආදිහු මිශ්‍රකව කියන ලදහ. විමුත්ති යනු අරහත්ඵල විමුක්තියමයි, විමුත්තිඤාණදස්සනං යනු ප්‍රත්‍යවෙක්ෂණ ඥානයයි, එය ලෞකිකමය,
8-10. පරහිත ආදි සූත්‍ර වර්ණනා
අටවැන්නෙහි දුශ්ශීල බහුශ්‍රැතයා කියන ලදි. නවවැන්නෙහි අල්පශ්‍රැත දුශ්ශීලයායි, දසවැන්නෙහි බහුශ්‍රැත ක්ෂීණාශ්‍රවයා කියන ලදි.
දෙවැනි බල වර්‍ගයයි
3. පඤ්චඞ්ගික වර්ගය
1. පඨමඅගාරව සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අසභාගවුත්තිකො යනු සභාග නොවූ අසමාන වූ ජීවන වෘත්තියෙන් යුක්තවූයේයි, ආභිසමාචාරිකං ධම්මං යනු උතුම් හැසිරීම වූ වත් වශයෙන් පනවන ලද ශීලයයි, සෙඛං ධම්මං යනු ශෛක්‍ෂයන් වශයෙන් පනවන ලද ශීලයයි, සීලානි යනු සතර මහ සිල්ය, සම්මාදිට්ඨිං යනු විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටියයි, සම්මාසමාධි යනු මාර්‍ග සමාධිය හා ඵලසමාධියයි, මේ සූත්‍රයෙහි ශීලයෝ මිශ්‍රකව කියන ලදහ.
2. දුතියඅගාරව සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සීලක්ඛන්ධං යනු සිල්රැසයි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි, මේ සමූහ තුනම මිශ්‍රකව කියන ලදි.
3. උපක්කීලෙස සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි න ච පභස්සරං යනු ප්‍රභාමත් නොවූයි, පභඞ්ගු ච යනු බිඳෙනසුලුවූයි, අයො යනු කළු ලෝහයයි, ලොහං යනු මෙහි කියන ලද සතර හැර සෙසු ලෝහයයි, සජක්ඛුං යනු රිදියි, චිත්තස්ස යනු චතුභූමික කුශලචිත්තයාගෙයි, ත්‍රෛභූමක සිතට උපක්ලේශ වියහැකි වුවද ලෝකෝත්තර සිතට කෙසේනම් උපක්ලේශයෝ වෙත්ද යත්? ඉපදීමට නොදීමෙන් යම් ලෙසකින් ඉපදීමට ඉඩ නොදෙත්ද එලෙසින්ම ලෞකික සිතට ද ලෝකෝත්තර සිතට ද ඔවුහු උපක්ලේශයෝ නම් වෙති, පභඞ්ගු ච යනු අරමුණෙහි සුණුවිසුණු බවට එළඹීමෙන් බිඳෙන බවයි, සම්මා සමාධියති ආසවානං ඛයාය යනු ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම් සංඛ්‍යාත අරහත්බව සඳහා හේතුවෙන් කරුණින් එකඟබවට පමුණුවයි, පෙමණකින්, සිත පිරිසුදු කොට රහත් බවෙහි පිහිටි ක්ෂීණාශ්‍රවයා දැක්වීය, දැන් ඔහුට අභිඥාප්‍රතිවෙධය දක්වමින් යස්ස යස්ස ච යනාදිය කීය, එය පැහැදිලි අරුත් ඇත්තේමය.
4. දුස්සීල සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි හතුපනිසො යනු නැසූ උපනිශ්‍රය ඇත්තේ නැසූ කරුණු ඇත්තේයි. යථාභූතං ඤාණදස්සනං යනු නාමරූප පරිච්ඡෙද ඥානය ආදි කොට ඇති තරුණ අවස්ථාවෙහි වූ විදර්‍ශනාවයි. නිබ්බිදාවිරාගො යනු කළකිරීම හා අතහැරීමයි, එහි නිබ්බිදාව බලවත් විදර්‍ශනාවයි, විරාගය වූ කලී මාර්‍ගයයි, විමුත්තිඤාණදස්සනං යනු ඵලවිමුක්තිය හා ප්‍රත්‍යවෙක්ෂණ ඥානයයි.
5. අනුග්ගහිත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි සම්මාදිට්ඨි යනු විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටියයි, චෙතොවිමුත්තිඵලා යනාදියෙහි චෙතොවිමුත්ති යනු මාර්‍ගඵලසමාධියයි, පඤ්ඤාවිමුත්ති යනු ඵලඥානයයි, සීලානුග්ගහිතා යනු ශීලයෙන් අනුග්‍රහ කරන ලද්දේ රක්නා ලද්දේයි, සුතානුග්ගහිතා යනු බහුශ්‍රැතභාවයෙන් රක්නා ලද්දේයි, සාකච්ඡානුග්ගහිතා යනු ධර්‍ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන ලද්දේයි, සමථානුග්ගහිතා යනු සිතෙහි එකඟ බවින් රක්නා ලද්දේයි,