2. බල වර්ගය
1. තථාගතබල සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි පුබ්බාහං භික්ඛවෙ අනනුස්සුතෙසු ධම්මෙසු යනු මම, මහණෙනි, පෙර නොඇසූ සිවුසස් දහම්හි යනුයි, අභිඤ්ඤාවොසාන පාරමිප්පත්තො පටිජානාමි යනු සිවුසස්හි සිවුමගින් සොළොස් වැදෑරුම් වූ කටයුතු කිරීමෙන් මනාව දැන අවසානයට පත්වීම නම් වූ සියලු කෘත්‍යයන් නිමවීමෙන් සපිරූ කටයුතු ඇතිබවෙහි පරතෙරට පත්වූයෙම් මනාව දනිමියි මහබෝ පළඟෙහි තමා වෙත පැමිණිය යුතු ගුණය දක්වයි, තථාගතස්ස යනු කරුණු අටකින් තථාගතයන් වහන්සේගේයි, තථාගතබලානි යනු යම්සේ එකරුණුවලින් යා යුතු ද එසේම ගියාවූ පැවතියා වූ ඥානබලයෝයි, ආසභංඨානං යනු ශ්‍රේෂ්ඨ ස්ථානයයි, සීහනාදං යනු අභීත නාදයයි, බ්රහ්මචක්කං යනු ශ්‍රේෂ්ඨ චක්රයයි, වත්තෙති යනු පැවැත්වීය. කීවේය,
2. සෙඛබලඅග්ග සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අග්ගං යනු උතුම් වූයි, සෙසු බලයන් ගොනැස්සෙහි මුදුන මෙන් එකට එක් කෙරේයයි සඞ්ගාහිකං නමි, ඒ බලයන්ම එකට එක්වූවක් කෙරේනුයි සඞ්ඝාතනියං නමි,
3. බලසඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි සෙඛබලානි යනු ශෛක්ෂයන්ගේ ඥානබලයෝයි, එහි සිහිමුළාවෙන් නොසැලේයයි සතිබලං නමි, විසුරුණු බවින් (උඩඟුවෙන්) නොකැලඹේනුයි සමාධිබලං නමි.
4. බලවිත්ථත සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි සතිනෙපක්කෙන යනු මෙහි ප්‍රඥාව නෙපක්ක යයි කියනු ලැබේ, එය සිහියට උපකාරබවින් ගන්නා ලදි,
5-6. බලදට්ඨබ්බ ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි ස්වකීය විෂයෙහිම ලෝකෝත්තර ධර්මයන් කීමට “කත්ථච භික්ඛවෙ සද්ධාබලං දට්ඨබ්බං” යනාදිය කීය. යම්සේ නම් සිටු පුතුන් සිවුදෙනකු හා රජු යන රජු පස්වැනි කොට ඇති යහළුවන් නැකැත් කෙළින්නෙම්හයි මගට බටකල්හි එක් සිටුපුතකුගේ ගෙට ගියවිට සෙසු සිවුදෙන නිහඬව සිටිත්ද ගෙහිමියාම මොවුන්ට කෑයුතුදෙය බිදිය යුතුදෙය දෙව්, ගඳමල් අබරණ ආදිය දෙව්යි කියමින් ගෙහි හැසිරෙයි ද දෙවැන්නාගේ, තෙවැන්නාගේ හා සතරවැන්නාගේ ගෙට ගිය විට ඉතිරි සිවුදෙන නිහඬව හිඳිත්ද ගෙහිමියාම මොවුනට කෑ යුතු, බිඳියයුතු දෙය දෙව්, ගඳමල් අබරණ ආදිය දෙව්යි කියමින් හැසිරෙයිද? ඉක්බිති සියල්ලට පසුව රජුගේ ගෙට ගිය විට, රජු සියලු තන්හි අධිපතියා වුවද මෙවිට තමාගේ ගෙහිම මොවුනට කෑ යුතුදෙය බිදිය යුතු දෙය දෙව් ගඳමල් අබරණ ආදිය දෙව්යි කියමින් හැසිරෙයි ද, එපරිද්දෙන්ම ශ්‍රද්ධාව පස්වැනි කොට ඇති ඒ බලයන් යහළුවන් එක්ව මගට බස්නා කල්හි මෙන් එක් අරමුණක උපදනා කල්හි යම්සේ පළමුවැන්නාගේ ගෙහි ඉතිරි සිවුදෙනා නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද එසේ සෝවාන් අංගයන්ට පත්ව අධිමොක්ෂ ලක්ෂණ ඇති ශ්‍රද්ධා බලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්. යම්සේ දෙවැන්නාගේ ගෙහි ඉතිරි සිවුදෙනා නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද මෙසේ සම්යග්ප්රධානයන්ට පත්ව දැඩිව ගැනීම් ලක්ෂණ කොට ඇති වීර්යබලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්, යම්සේ තෙවැන්නාගේ ගෙහිදී ඉතිරි සිවුදෙන නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද එසේ සතිපට්ඨානයන් බවට පත්ව උපස්ථාන ලක්ෂණය ඇති සතිබලයම ජ්‍යෙෂ්ඨයා වෙයි පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්, යම්සේ සිවුවැන්නාගේ ගෙහිදී ඉතිරි සිවුදෙන නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද මෙසේ ධ්‍යාන විමොක්ෂයන් බවට පත්ව නොවිසිරීම ලක්‍ෂණකොට ඇති සමාධි බලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්, සියල්ලට පසුව රජුගේ ගෙට ගියවිට යම්සේ ඉතිරි සිවුදෙනා නිහඬව හිඳිත්ද රජුම ගෙහි හැසිරෙයිද මෙසේ ආර්ය සත්‍යයන්ට පැමිණ මනාව දැනීම ලක්ෂණ කොට ඇති ප්‍රඥා බලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙතැයි මෙසේ මෙහි පඤ්චබලයෝ මිශ්‍රකවම කියන ලද්දාහ. සයවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය, එසේ කලින් වර්ගයෙහි ද මෙහි ද සූත්‍ර අටෙහි ශෛක්ෂ බලයෝම කියන ලදහ. යට සූත්‍ර සතරෙහි ශෛක්ෂ බලයෝ කියන ලද්දාහුදැයිද මතු සූත්‍ර සතරෙහි අශෛක්ෂ බලයෝ කියන ලද්දාහුදැයිද කරණ්ඩකොල වාසී මහාදේව තෙරණුවෝ පැවසූහ.