5. චතුකොටික සුඤ්ඤතා සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි බ්රාහ්මණසච්චානි යනු බ්රාහ්මණයන්ගේ සත්යයෝයි, වෙනස් නොවන දේයි, සො තෙන න සමණො මඤ්ඤති යනු ඒ ක්ෂීණාශ්රව තෙමේ ඒ සත්යයෙන් මම ශ්රමණයෙක් වෙමැ’යි තෘෂ්ණා මාන දෘෂ්ටීන්ගෙන් මඤ්ඤනය නොකරයි, සෙසු පදයන්හි ද මේ ක්රමයයි, යදෙව තත්ථ සච්චං තදභිඤ්ඤාය යනු එහි සියලු ප්රාණීහු නොනැසිය යුත්තාහ යන ප්රතිපත්තියෙන් යමක් සත්ය ද එසේම වේද නොවෙනස් වේද, මෙයින් වාග්සත්යය ඇතුළත් කොට පරමාර්ත්ථ සත්යය වූ නිර්වාණය දක්වයි, තදභිඤ්ඤාය යනු ඒ දෙකම අතිවිශිෂ්ට වූ ප්රඥාවෙන් දැනයි, අනුද්දයාය අනුකම්පාය පටිපන්නො හොති යනු කරුණාවෙන් ද අනුකම්පාවෙන් ද යම් පිළිවෙතක් වේද එයට පිළිපන්නේ වෙයි, පුරවා සිටියේයි අර්ත්ථයි, සෙසු පදයන්හි ද මේ ක්රමයමැයි,
සබ්බෙ කාමා යනු සියලු වස්තුකාම ක්ලේශ කාමයෝයි, ඉතිවදං බ්රාහ්මණො සච්චමාහ යනු මෙසේ ද කියන්නා වූ ක්ෂීණාශ්රව බ්රාහ්මණ තෙමේ සත්යයම කීවේය. සබ්බො භවා කාමභවාදීවූ තුනයි, නාහං කච්චනි යන මෙහි වනාහි චතුෂ්කෝටික වූ ශුන්යතාව කියන ලදි, මේ “නාහං කච්චනි” යනු කිසිතැනක තමා නොදකියි, කස්සචී කිඤ්චනතස්මිං යනු තමාගේ ආත්මය අන්කිසිවකුගේ යමක් බවෙහිලා සලකා නොබලයි, සහෝදරස්ථානයෙහි සහෝදරයා ද සහායස්ථානයෙහි සහායයා ද පරිෂ්කාරස්ථානයෙහි පරිෂ්කාර ද ලෙස සිතා එළවිය යුත්තක් කොට නොබලයි යන අරුත්ය, න ච මම කච්ඡිති යන මෙහි මම ශබ්දය එපමණකින් තබා න ච ක්වචනි යනු අනුන්ගේ කිසි ආත්මයක් ද නොදකියි යන මේ අර්ථයයි, දැන් ‘මම’ ශබ්දය ගෙනහැර දක්වා මගේ කිසිවක් කිසිතැනක නැතැයි යමෙක් අනුන්ගේ ආත්මය මගේ කිසිතැනක කිසිවක් ලෙස නොබලයි, තමන්ගේ සහෝදර ස්ථානයෙහි පරිෂ්කාරය දැයි කිසිදු තැනක අනුන්ගේ ආත්මය මේ යමක් බවෙහි එළවිය යුත්තක් කොට නොබලයි යන අර්ත්ථයයි, මෙසේ මෙතෙම කිසිතැනක තමා නොදකියි ද එය අනුන්ගේ යම්කිසිවක් කොට එළවිය යුත්තක් ලෙස නොබලයි, අනුන්ගේ ආත්මය නොබලයි, අනුන්ගේ (ආත්මය) තමන්ගේ යම්කිසිවක් බවෙහිලා සැලකියයුතු කොට නොබලයි, ඉතිවදං බ්රාහ්මණො යනු චතුස්කෝටික ශුන්යතාව කියන්නා වූ ද ක්ෂීණාශ්රව බ්රාහ්මණ තෙමේ ඒ ප්රතිපදාවෙහි මනාව වටහාගත් බැවින් සත්යයම කීවේය, මුසාවක් නොවේයයිද සියලු වාරයන්හි මඤ්ඤනාවන් ප්රහීනවූ බැවින්ම මඤ්ඤනා නොකරන්නේයයි ද අර්ත්ථය දතයුතුයි, ආකිඤ්චඤ්ඤංයෙව පටිපදං යනු කිසියම්බවින් තොර වූ උවදුරු රහිත අල්ලාගැනීමක් නැති ප්රතිපදාවයි, පටිපන්නො යනු සපුරා සිටියේයි,
ඉමානි ඛො පරිබ්බාජකා චත්තාරී බ්රාහ්මණ සච්චානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි යනු නුඹලා භොවාදිබ්රාහ්මණයන්ගේ යම් සත්යයක් කියහුද අප විසින් ඒවායින් අන්ය වූ බහා තැබූ පව් ඇති බ්රාහ්මණයාගේ මේ සත්ය සතර සිවුමගෙහි සොළොස් ආකාර වූ කෘත්යයෙන් දැන ප්රත්යක්ෂ කොට දන්නා ලදි, දෙසන ලදි. බබුළුවන ලදැයි අර්ත්ථයි, මෙසේ මේ සූත්රයෙහි සතර තන්හිම ක්ෂීණාශ්රවයාගේ වාග් සත්යයම කියන ලදි.
6. බහුස්සුත සූත්ර වර්ණනාව
සයවැන්නෙහි පරිකස්සති යනු අදිනු ලබයි, උම්මග්ගො යනු උඩට මතුව ඒමයි, ප්රඥාව පැමිණීම යන අර්ත්ථයයි, ප්රඥාව හෝ උඩට මතුවීමේ අරුතින් උම්මග්ගොයි කියනු ලැබේ, එම ප්රඥාවම වැටහීමේ අර්ථයෙන් පටිභානං නමි, චිත්තස්ස උප්පන්නස්ස වසං ගච්ඡති යනු යමෙක් සිතේ වසඟයට යත්ද ඔවුනටම මෙහි ග්රහණය දතයුතුයි, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය යනු, අර්ත්ථ කථාව ද පෙළ ද දැනයි, ධම්මානුධම්මපටිපන්නො හොති යනු ලොවුතුරු දහමට ගැලපෙන ධර්මයට සහ ශීලයෙන් පූර්වභාග ප්රතිපදාවට පිළිපන්නේ වෙයි, නිබ්බෙධික පඤ්ඤො යනු නිර්වේදයට පමුණුවන ප්රඥාව ඇත්තේයි, ඉදං දුක්ඛං යනු තෘෂ්ණාව හැර ඉතිරි ත්රෛභූමික ස්කන්ධ පංචකය දුකයයි අසන ලද්දේ වෙයි, පඤ්ඤාය යනු මාර්ගප්රඥාවෙනි, අයං දුක්ඛසමුදයො යනු සංසාරමූලක තෘෂ්ණාව ඒ දුකේ හේතුව යයි අසන ලද්දේ වෙයි, මේ ක්රමයෙන් සෙසු දෙකෙහි ද අර්ත්ථය දතයුතුය, සිවුවැනි ප්රශ්නය විසඳීමෙන් අරහත් ඵලය කියන ලදැයි දතයුතුය.
7. ද්වතීයවස්සකාර සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි තොදෙය්යස්ස යනු තුදිගම් වැසියාගේයි, පරිසතිං යනු රැස් වූ පිරිසේයි. පරෑපාරම්හං වත්තෙන්ති යනු අනුන්ට ගැරහීම පවත්වති, කියති. බාලො අයං රාජා යනාදිය ඔවුහු යම් ගැරහීමක් කරත්ද, එය දැක්වීම සඳහා කියන ලදි, සමණෙ රාමපුත්තෙ යනු උද්දකරාමපුත්රයන් කෙරෙහිය, අභිප්පසන්නො යනු ඉක්මවා පැහැදුණේයි, පරමනිපච්චාකාරං යනු බෙහෙවින්ම පහත් ක්රියාවයි, නීච වෘත්තියයි, පරිහාරකා යනු සේවකයෝයි, යමකො යනාදිය ඔවුන්ගේ නම්ය, ඔවුනතුරින් එකෙක් යමක නමි, එකෙක් මොග්ගල්ල නමි, එකෙක් උග්ග නමි. එකෙක් නාවින්දකී නමි, එකෙක් ගන්ධබ්බ නමි, එකෙක් අග්ගිවෙස්ස නමි, ත්යාස්සුදං යනු මෙහි අස්සුදං යනු නිපාත මාත්රයකි. ඔවුහු තමන්ගේ පිරිස හුන්කල්හි යන අර්ත්ථයයි, ඉමිනා නයෙන නෙති යනු මෙකරුණින් හඟවයි, දන්වයි, කරණීයාධිකරණීයෙසු යනු පණ්ඩිතයන් විසින් කළ යුතු දෙයෙහි හා අතිරේක කටයුතුවලයි, වචනීයාධිවචනීයෙසු යනු කිවයුතු දෙයෙහි ද අතිරේක කිවයුත්තෙහි ද යනුයි, අලමත්ථදසතරෙහි යනු මෙහි අර්ත්ථය දැකීමට සමත්හු අලමත්ථදසා නමි. ඔවුහු ඉක්මවා සිටියාහු අලමත්ථදසතරායි, ඒ අලමත්ථදස්තරයන්ගෙනි, අලමත්ථදස්තරො යනු අර්ත්ථය දැකීමට සමත් බැවින් ශ්රේෂ්ඨවූයේ දක්ෂයන්ගෙන් දක්ෂවූයේ පණ්ඩිතයන්ගෙනුත් අතිශයින් පණ්ඩිතවූයේයි අසන්නේ මෙසේ කීය. ඉක්බිති ඔහුට මනාව විමසන්නා වූ ඔවුහු එවං භො යනාදිය කීවාහුය, මෙසේ බමුණු තෙමේ තමන්ගේ සත්පුරුෂ බවින් ඒ එළෙය්ය රජු ද, ඔහුගේ සේවකයන් ද උද්දකරාම පුත්රයන් ද පැසසීය, අසත්පුරුෂයා අන්ධයකු වැනිය, සත්පුරුෂයා ඇස් ඇත්තෙකු වැනිය, අන්ධයා යම්සේ අන්ධ නොවූවකු මෙන්ම අන්ධයකු ද නොදකියි ද එසේ අසත්පුරුෂයා සත්පුරුෂයකු ද අසත්පුරුෂයකු ද නොදනියි. යම්සේ ඇස් ඇත්තා අන්ධයකු මෙන්ම අන්ධ නැත්තකු දකියි ද එසේ සත්පුරුෂයා සත්පුරුෂයකු ද අසත්පුරුෂයකු ද දනියි. තොදෙය්ය ද සත්පුරුෂ බවින් අසත්පුරුෂයන් දත්තේයයි මෙය අර්ත්ථ වශයෙන් සලකමින් සතුටු සිතැති බමුණු තෙමේ අච්ඡරියං භො ගොතම යනාදිය කියා තථාගතයන් වහන්සේ කී දෙය අනුමෝදන්ව පිටත්ව ගියේය.