2. දෙවැනි ප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි අභික්ඛණං යනු නිතරයි, ආනන්තරියං යනු අනතුරුව විපාක දෙන්නා වූ මාර්‍ග සමාධියයි, ආසවානං ඛයාය යනු අරහත්ඵලය සඳහායි, පඤ්චින්ද්‍රියානි යනු විදර්‍ශනාව පස්වැනිකොට ඇති පංච ඉන්ද්‍රියයෝයි, පඤ්ඤින්ද්‍රියං යනු මෙහි විදර්‍ශනා ප්‍රඥාවම පඤ්ඤින්ද්‍රිය යන්නෙන් අදහස් කෙරෙයි, මෙහි සෙස්ස පෙළ වශයෙන් පැහැදිලිමය,
මේ ප්‍රතිපත්තීන්ගේ පැහැදිලි කිරීමේ කථාව මෙයයි: මෙහි භික්ෂුව පෙර නොකළ ඇළුම් ඇත්තේ පුර්‍වභාගයෙහි රූප පරිග්‍රහයෙහි වෙහෙසෙයි. තුන්කල්හි වෙහෙසෙයි, මාර්‍ගාමාර්ගයෙහි වෙහෙසෙයි, මෙසේ පස්තැනක වෙහෙසෙන්නේ විදර්‍ශනාවට පැමිණෙයි, විදර්‍ශනාවට පත්ව ද හටගැනීම පිළිබඳ අනුපස්සනාවෙහි බිඳීම පිළිබඳ අනුපස්සනාවෙහි සංස්කාර පිළිබඳ බියට පත්වීමෙහි ආදිනවයන් පිළිබඳ අනුපස්සනාවෙහි නිර්‍වේදය පිළිබඳ අනුපස්සනාවෙහි, මුඤ්චිතුකම්‍යතා ඥානයෙහි, සඞ්ඛාරුපෙක්ඛා ඥානයෙහි අනුලොම ඥානයෙහි ගොත්‍ර ඥානයෙහි යන මෙම නවවිධ වූ විදර්‍ශනා ඥානයෙහි ද වෙහෙසට පත්වම ලෝකෝත්තර මාර්‍ගයට පැමිණෙයි, ඔහුට එම ලෝකෝත්තර මාර්‍ගය දුකසේ ගරුබවින් ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් “දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා” නම් විය. යමෙක් පූර්‍ව භාගයෙහි පස්වැදෑරුම් ඥානයන්හි වෙහෙසෙන්නේ අපරාහාගයෙහි නවවිධ වූ විදර්‍ශනා ඥානයන්හි නොවෙහෙසී මාර්‍ගය ප්‍රත්‍යක්ෂ කරයිද ඔහුට ඒ මාර්‍ගය මෙසේ දුකින් බර අඩුව ප්‍රත්‍යක්ෂ කළ බැවින් “දුක්ඛාපටිපදො ඛිප්පාභිඤ්ඤා” නම් වූයේය. මේ උපායයෙන් සෙසු දෙක ද දතයුතුය,
ගොනුන් සෙවීම පිළිබඳ උපමාවෙන් මෙය පැහැදිලි කළයුතුය, එක් පුරුෂයෙකුගේ ගොන් සතර දෙනෙක් පලාගොස් වනයට පිවිසියාහුය, හෙතෙම කටු සහිත ලැහැබ් සහිත වනයෙහි ඔවුන් සොයන්නේ ලැහැබ් සහිත මගින්ම අමාරුවෙන් දුකසේ ගොස් ලැහැබකම සැඟවී සිටි ගොනුන් අමාරුවෙන් දුකසේ දුටුවේය. එක් පුරුෂයෙක් දුකසේ ගොස් එළිමහනෙහි හුන් ගොනුන් ඉක්මණින්ම දුටුවේය. අනිකෙක් ලැහැබ් නැති එළිමහන් මගින් ලැහැබක සැගවී සිටි ගොනුන් අමාරුවෙන් දුකසේ දුටුවේය, තවෙකෙක් එළිමහන් මගින්ම සුවසේ ගොස් එළිමහනෙහි හුන් ගොනුන් ඉක්මණින් දුටුවේය. එහි ගොනුන් සතරදෙනා මෙන් සතර ආර්‍ය මාර්‍ගය දැක්විය යුතුය. ගොනුන් සොයන මිනිසා මෙන් යෝගාවචරයා දැක්විය යුතුය. ලැහැබ් මගින් දුකසේ අමාරුවෙන් යාම මෙන් පූර්‍වභාගයෙහි ඥානපසෙහි වෙහෙසෙන්නාගේ දුක්සහිත ප්‍රතිපදාව දැක්විය යුතුය. ලැහැබෙහි සැඟවී සිටියකු දුකසේ දැකීම මෙන් අපරභාගයෙහි නවවිධ ඥානයන්හි වෙහෙසෙන්නහුගේ ආර්‍ය මාර්‍ග දැකීම දැක්විය යුතුය. මේ අයුරින් සෙසු උපමා ද යෙදිය යුතුය.
3. තෙවැනි ප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි අසූභානුපස්සී කායෙ විහරති යනු තමන්ගේ (මාපියන් නිසා හටගත්) ශරීරයෙහි යම්සේ එය ද එසේ මෙයයයි මේ ක්‍රමයෙන් බාහිරව දක්නා ලද දස අසුභයන් සලකා බැලීම් වශයෙන් අසුභානුපස්සීව වෙසෙයි, තමන්ගේ සිරුර අසුහ වශයෙන් ද පිළිකුල් වශයෙන් ද නුවණින් බලයි යන අර්‍ත්‍ථයි, ආහාරෙ පටික්කූලසඤ්ඤී යනු නවවැදෑරුම් පිළිකුල් කළයුතු ආකාර වශයෙන් කබලිංකාරාහාරයෙහි පිළිකුල් හැඟීම් ඇත්තේයි, සබ්බලොකෙ අනභීරතසඤ්ඤි යනු සියලු ත්‍රෛධාතුක ලොකයෙහිම වාසය කිරීමෙහි නොඇලීමෙන් උකටලී හැඟීමෙන් යුක්ත වූයේයි, සබ්බසංඛාරෙසු අනිච්චානුපස්සී යනු සියලුම ත්‍රෛභූමික සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලයි, මරණසඤ්ඤා යනු මරණය අරභයා උපන් හැඟීමයි, අජ්ඣත්තං සුපට්ඨිතා හොති යනු ස්වකීය අධ්‍යාත්මයෙහි මනාව එළඹසිටියේ වෙයි, මෙපමණකින් බලවත් විදර්‍ශනාව කියන ලදි, ඝෙබලානි යනු හික්මෙන්නවුන්ගේ බලයෝයි, මෙහි සෙස්ස පෙළ වශයෙන් පැහැදිලිමය, අසූභානුපස්සී යනාදිය දුක්සහගත වූ ප්‍රතිපදාව දැක්වීම සඳහා කියන ලදී. පඨමජ්ඣානාදිය සුඛ සහගත ප්‍රතිපදාව දැක්වීම සඳහාය. අසුභාදී පිළිකුල් අරමුණු වනාහි, ඒවායේ ස්වභාවෙයන්ම ප්‍රියකරනු ලබන සිත ඇලෙයි, එහෙයින් ඒවා වඩන්නේ දුක් ප්‍රතිපදාවට පිළිපන්නේ නම් වෙයි, ප්‍රථම ධ්‍යානාදිය ප්‍රණිත සැප ඇත්තේයි. එබැවින් ඒවා වැඩීමට පිළිපන්නේ සුඛපටිපදාවට පිළිපන්නේ නමි.
මෙහි මේ සියල්ලට සාධාරණ වූ උපමාවයි, යුදබට පුරුෂයෙක් පුවරු බලකොටුවක් තනා පඤ්චායුධ සන්නද්ධව යුදයට පිවිසෙයි, හෙතෙම අතරතුර විවේකගනු කැමැත්තේ බලකොටුවට පිවිස විශ්‍රාම ගනියි, එසේම ආහාරපාන ද ගනියි, ඉන්පසුව යළි සටනට පිවිස යුද කටයුතු කරයි, එහි සංග්‍රාමය මෙන් ක්ලේශ සංග්‍රාමය දැක්විය යුතුය, පඤ්චනිශ්‍රය බලයෝ බලකොටුව මෙනි, යෝගාවචර තෙමේ සටනට පිවිසෙන පුරුෂයා මෙනි, විපස්සනාව පස්වැනි ඉන්ද්‍රියයෝ පඤ්චාවුධ සන්නාහය මෙනි, විදර්‍ශනාවට කටයුතු කරන කාලය සටනට පිවිසෙන කාලය මෙනි, විදර්‍ශනාවට කටයුතු කරන්නහුගේ චිත්තොත්පාදයාගේ ආස්වාදරහිත කෙණෙහි පඤ්චබලයන් නිසා සිත සතුටුවන කාලය විශ්‍රාම ගනු කැමැත්තහු බලකොටුවට පිවිසෙන කාලය මෙනි, පංචබලයන්ගෙන් සිත සතුටු කොට යළි විදර්‍ශනාවට කටයුතු කරන්නහුගේ පෙරළා රහත්බව ගන්නා කාලය විශ්‍රාමගෙන කාබී යළි සටනට පිවිසෙන කාලය මෙනැයි දතයුතුය, මේ සූත්‍රයෙහි බලයන් මෙන්ම ඉන්ද්‍රියයෝ ද මිශ්‍රකවම කියන ලදහ.