ගොනුන් සෙවීම පිළිබඳ උපමාවෙන් මෙය පැහැදිලි කළයුතුය, එක් පුරුෂයෙකුගේ ගොන් සතර දෙනෙක් පලාගොස් වනයට පිවිසියාහුය, හෙතෙම කටු සහිත ලැහැබ් සහිත වනයෙහි ඔවුන් සොයන්නේ ලැහැබ් සහිත මගින්ම අමාරුවෙන් දුකසේ ගොස් ලැහැබකම සැඟවී සිටි ගොනුන් අමාරුවෙන් දුකසේ දුටුවේය. එක් පුරුෂයෙක් දුකසේ ගොස් එළිමහනෙහි හුන් ගොනුන් ඉක්මණින්ම දුටුවේය. අනිකෙක් ලැහැබ් නැති එළිමහන් මගින් ලැහැබක සැගවී සිටි ගොනුන් අමාරුවෙන් දුකසේ දුටුවේය, තවෙකෙක් එළිමහන් මගින්ම සුවසේ ගොස් එළිමහනෙහි හුන් ගොනුන් ඉක්මණින් දුටුවේය. එහි ගොනුන් සතරදෙනා මෙන් සතර ආර්‍ය මාර්‍ගය දැක්විය යුතුය. ගොනුන් සොයන මිනිසා මෙන් යෝගාවචරයා දැක්විය යුතුය. ලැහැබ් මගින් දුකසේ අමාරුවෙන් යාම මෙන් පූර්‍වභාගයෙහි ඥානපසෙහි වෙහෙසෙන්නාගේ දුක්සහිත ප්‍රතිපදාව දැක්විය යුතුය. ලැහැබෙහි සැඟවී සිටියකු දුකසේ දැකීම මෙන් අපරභාගයෙහි නවවිධ ඥානයන්හි වෙහෙසෙන්නහුගේ ආර්‍ය මාර්‍ග දැකීම දැක්විය යුතුය. මේ අයුරින් සෙසු උපමා ද යෙදිය යුතුය.
3. තෙවැනි ප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි අසූභානුපස්සී කායෙ විහරති යනු තමන්ගේ (මාපියන් නිසා හටගත්) ශරීරයෙහි යම්සේ එය ද එසේ මෙයයයි මේ ක්‍රමයෙන් බාහිරව දක්නා ලද දස අසුභයන් සලකා බැලීම් වශයෙන් අසුභානුපස්සීව වෙසෙයි, තමන්ගේ සිරුර අසුහ වශයෙන් ද පිළිකුල් වශයෙන් ද නුවණින් බලයි යන අර්‍ත්‍ථයි, ආහාරෙ පටික්කූලසඤ්ඤී යනු නවවැදෑරුම් පිළිකුල් කළයුතු ආකාර වශයෙන් කබලිංකාරාහාරයෙහි පිළිකුල් හැඟීම් ඇත්තේයි, සබ්බලොකෙ අනභීරතසඤ්ඤි යනු සියලු ත්‍රෛධාතුක ලොකයෙහිම වාසය කිරීමෙහි නොඇලීමෙන් උකටලී හැඟීමෙන් යුක්ත වූයේයි, සබ්බසංඛාරෙසු අනිච්චානුපස්සී යනු සියලුම ත්‍රෛභූමික සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලයි, මරණසඤ්ඤා යනු මරණය අරභයා උපන් හැඟීමයි, අජ්ඣත්තං සුපට්ඨිතා හොති යනු ස්වකීය අධ්‍යාත්මයෙහි මනාව එළඹසිටියේ වෙයි, මෙපමණකින් බලවත් විදර්‍ශනාව කියන ලදි, ඝෙබලානි යනු හික්මෙන්නවුන්ගේ බලයෝයි, මෙහි සෙස්ස පෙළ වශයෙන් පැහැදිලිමය, අසූභානුපස්සී යනාදිය දුක්සහගත වූ ප්‍රතිපදාව දැක්වීම සඳහා කියන ලදී. පඨමජ්ඣානාදිය සුඛ සහගත ප්‍රතිපදාව දැක්වීම සඳහාය. අසුභාදී පිළිකුල් අරමුණු වනාහි, ඒවායේ ස්වභාවෙයන්ම ප්‍රියකරනු ලබන සිත ඇලෙයි, එහෙයින් ඒවා වඩන්නේ දුක් ප්‍රතිපදාවට පිළිපන්නේ නම් වෙයි, ප්‍රථම ධ්‍යානාදිය ප්‍රණිත සැප ඇත්තේයි. එබැවින් ඒවා වැඩීමට පිළිපන්නේ සුඛපටිපදාවට පිළිපන්නේ නමි.
මෙහි මේ සියල්ලට සාධාරණ වූ උපමාවයි, යුදබට පුරුෂයෙක් පුවරු බලකොටුවක් තනා පඤ්චායුධ සන්නද්ධව යුදයට පිවිසෙයි, හෙතෙම අතරතුර විවේකගනු කැමැත්තේ බලකොටුවට පිවිස විශ්‍රාම ගනියි, එසේම ආහාරපාන ද ගනියි, ඉන්පසුව යළි සටනට පිවිස යුද කටයුතු කරයි, එහි සංග්‍රාමය මෙන් ක්ලේශ සංග්‍රාමය දැක්විය යුතුය, පඤ්චනිශ්‍රය බලයෝ බලකොටුව මෙනි, යෝගාවචර තෙමේ සටනට පිවිසෙන පුරුෂයා මෙනි, විපස්සනාව පස්වැනි ඉන්ද්‍රියයෝ පඤ්චාවුධ සන්නාහය මෙනි, විදර්‍ශනාවට කටයුතු කරන කාලය සටනට පිවිසෙන කාලය මෙනි, විදර්‍ශනාවට කටයුතු කරන්නහුගේ චිත්තොත්පාදයාගේ ආස්වාදරහිත කෙණෙහි පඤ්චබලයන් නිසා සිත සතුටුවන කාලය විශ්‍රාම ගනු කැමැත්තහු බලකොටුවට පිවිසෙන කාලය මෙනි, පංචබලයන්ගෙන් සිත සතුටු කොට යළි විදර්‍ශනාවට කටයුතු කරන්නහුගේ පෙරළා රහත්බව ගන්නා කාලය විශ්‍රාමගෙන කාබී යළි සටනට පිවිසෙන කාලය මෙනැයි දතයුතුය, මේ සූත්‍රයෙහි බලයන් මෙන්ම ඉන්ද්‍රියයෝ ද මිශ්‍රකවම කියන ලදහ.
4. සිවුවැනි ප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි අක්ඛමා යනු නොයිවසන පිළිවෙතයි, ඛමා යනු ඉවසන පිළිවෙතයි, දමා යනු ඉන්ද්‍රිය දමන ප්‍රතිපදාවයි. සමා යනු අකුශල විතර්‍කයන් සංසිඳවන පිළිවෙතයි, රොසන්තං පටිරොසති යනු ගැටෙන්නහු පිළිගටයි, භණඩන්තං පටිභණ්ඩති යනු පහරන්නහු පිළිපහරයි, පස්වැනි සවැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තේමය.
7. මොග්ගල්ලානපටිපදා සූත්‍ර වර්ණනාව
සත්වැනි සූත්‍රයෙහි මහමුගලන් තෙරුන්ගේ යටි මාර්‍ගතුන සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා වූවාහුය, අරහත් මාර්‍ගය ඛිප්පාභිඤ්ඤා විය. එහෙයින් මෙසේ කීය, ‘යමි මේ ප්‍රතිපදාවක් දුක්ඛා ඛිප්පාභිඤ්ඤා වේ ද මවිසින් මේ ප්‍රතිපදාවට පැමිණ දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් සිත මිදුනි’ යනුවෙනි,
8. සාරිපුත්තපටිපදා සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි දම්සෙනෙවි තෙරුන්ගේ යටි තෙමග සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා විය, අරහත් මාර්ගය සුඛ පටිපදා ඛිප්පාභිඤ්ඤා විය. එහෙයින් යම් මේ ප්‍රතිපදාවක් සුඛා ඛිප්පාභිඤ්ඤායි කීවේය, මේ සූත්‍ර දෙකෙහිදීම ප්‍රතිපදා මිශ්‍රකවම කියන ලදැයි දතයුතුය.
9. කිලෙස පරිනිබ්බාන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි පළමු හා දෙවැනි පුද්ගලයෝ ශුෂ්ක විදර්‍ශක වූවාහු මෙහෙයවීම් සහිතව ප්‍රයෝග සහිතව සංස්කාර නිමිත්ත උපදවත්, ඔවුනතුරින් එක්කෙනෙක් විපස්සනා ඉන්ද්‍රියයන්ගේ බලවත් බැවින් මෙහිම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවීමට පත්වෙයි, එක් කෙනෙක් ඉඳුරන්ගේ දුබල බැවින් මෙහිදී නොහැකි වන්නේ අනතුරු අත්බවෙහිදී එම මූලකර්‍මස්ථානයම ලැබ මෙහෙයවීම් සහිතව ප්‍රයෝග සහිතව සංස්කාර නිමිත්ත උපදවා කෙලෙස් පිරිනිවනෙන් පිරිනිවෙයි. තෙවැනි සිවුවැනි පුද්ගලයෝ සමථයානික වූවාහුයි, ඔවුනතුරින් එක්කෙනෙක් මෙහෙයවීම් නොමැතිව ප්‍රයෝග රහිතව ඉඳුරන් බලවත් බැවින් මෙහෙදීම කෙලෙසුන් ක්ෂය කරයි, එක්කෙනෙක් ඉඳුරන් දුබල බැවින් මෙහිදී නොහැකිවන්නේ අනතුරු අත්බවෙහි දී ඒ මුලකර්‍මස්ථානයම ලැබ මෙහෙයවීමෙන් තොරව ප්‍රයෝග රහිතව කෙලෙස් ක්ෂය කරතියි දතයුතුය.
10. අරහත්තප්පතති සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි සමථපුබ්බඞ්ගමා යනු සමථය පෙරටුකොට, ඉදිරිපත් කොටයි, මග්ගො සඤ්ජායති යනු පළමුවැනි වූ ලෝකෝත්තර මාර්‍ගය උපදියි, සො තං මග්ගං යනු එකචිත්ත ක්‍ෂණික මාර්‍ගයට ඇසුරු කිරීම් ආදිය නොමැත, ද්විතීයමාර්‍ගාදිය උපදවන්නේ එයම ඇසුරුකරයි, වඩයි, බහුලබවට පත් කරතියි කියනු ලැබේ. විපස්සනාපුබ්බඞ්ගමං යනු විදර්‍ශනාවට පෙරටුකොට, ඉදිරිපත්කොට සමථය වඩයි, ප්‍රකෘතියෙන් විදර්‍ශනාලාහී පුද්ගලයා විදසුනෙහි සිට සමථය උපදවයි යන අර්‍ත්‍ථයි,