1. සංයොජනපුග්ගල සූත්‍ර වර්ණනාව
සතරවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි උප්පත්තිපටිලාභීයානි යනු යම් දෙයකින් අනතුරු උපත ලබයිද ඒවායි, භවපටිලාභියානි යනු උත්පත්ති භවය ලැබීමට ප්‍රත්‍යයෝයි, සකදාගාමිස්ස යන මෙය ප්‍රහීන නොවූ සංයෝජන ඇති ආර්‍ය්‍යයන් කෙරෙහි උපරිමයෙන් ගන්නා ලදි. යම් හෙයකින් අන්තරා පරිනිබ්බායී ආර්‍ය්‍යයාට අනතුරු උපතක් නැත්ද හෙතෙම එහි යම් ධ්‍යානයකට සමවදියි ද එය දක්ෂභාවයෙන් උත්පත්තිභවයට ප්‍රත්‍යයයි පිළිගැනීමට පැමිණෙයි, එබැවින් ඔහුට උත්පත්ති ප්‍රතිලාභය ඇතිකරවන්නා වූ සංයෝජනයෝ ප්‍රහීන වූවාහුය, භවප්‍රතිලාභය ඇති කරවන්නා වූ සංයෝජනයෝ ප්‍රහීන නොවූවාහුයයි කියන ලදි. ඔරම්භාගියයන් අතුරෙහි ප්‍රහීන නොවූ දෙය ගෙන සකෘදාගාමී ආර්‍ය්‍යයාගේ අවිශේෂයෙන් ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීන නොවූහයි කියන ලදි. මෙහි සෙස්ස පැහැදිලිමය.
2. පටිභානපුග්ගල සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි යුත්තපටිභානො නො මුත්තපටිභානො යනු ප්‍රශ්නයක් කියන්නේ සුදුසු දෙයක්ම කියයි, ඉක්මණින්ම නොකියයි, සෙමෙන්ම කියයි යන අර්‍ත්‍ථයි. මේ ක්‍රමයෙන් සියලු පද දත යුතුය.
3. නෙය්‍යපුග්ගල සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි සිවුවැදෑරුම් පුද්ගලයන්ගේ විශේෂය සූත්‍රයෙන් දතයුතුය,
“කවර නම් පුද්ගලයෙක් උග්ඝටිතඤ්ඤූ නම් වේද? යම් පුද්ගලයකුට ගෙනහැර දැක්වූ වේලෙහිම ධර්‍මාවබෝධය වේද මෙතෙම උග්ඝටිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් විපචිතඤ්ඤූ වේද? යම් පුද්ගලයකුට විස්තර වශයෙන් අර්‍ත්‍ථය බෙදා දක්වන විට ධර්‍මාවබෝධය වේද මෙතෙම විපචිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ. කවර නම් පුද්ගලයෙක් ඤෙය්‍ය නම් වේද? යම් පුද්ගලයකුට උදෙසීමෙන්, විමසීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් අනුක්‍රමයෙන් ධර්‍මාවබෝධය වෙයිද මෙතෙම ඤෙය්‍ය පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් පදපරම නම් වේද? යම් පුද්ගලයකුට බොහෝවක් ඇසීමෙන්ද බොහෝවක් දැරීමෙන්ද බොහෝවක් කියවීමෙන්ද එම ජාතියෙහි (භවයෙහි) ධර්‍මාවබෝධය නොවේද මෙතෙම පදපරම පුද්ගලයායි කියනු ලැබේ.”
4. ඵලූපජීවීපුග්ගල සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි නැඟීසිටි වීර්‍ය්‍යයෙන්ම දවස ගෙවා කිසියම් ප්‍රවෘත්ති විපාක මාත්‍රයක්ම ලැබ ජීවිකාව කරයි. එම වීර්‍ය්‍යයට පැමිණ කිසිදු පුණ්‍ය ඵලයක් නොලබයි, මෙතෙම උට්ඨානඵලූපජීවි න කම්මඵලූපජීවි නමි. චාතුම්මහාරාජිකයෙහි දෙවියන් ආදිකොට ඇති සියලුම දෙවියෝ උට්ඨාන වීර්‍ය්‍යය නැතිව පුණ්‍යඵලයෙන්ම ජීවත්වන බැවින් කම්මඵලූපජීවිනො න උට්ඨානඵලූපජීවිනො නමි. රාජ රාජ මහාමාත්‍යාදීහු උට්ඨානඵලූපජීවිනො ච කම්මඵලූපජීවිනො ච නමි. නිරයගත සත්ත්වයෝ නෙව උට්ඨානඵලූපජීවිනො න කම්මඵලූපජීවිනො නම් වෙති, මෙම සූත්‍රයෙහි පුණ්‍ය ඵලයම කර්‍ම ඵලයයි අදහස් කරන ලදී, එයද ඔවුනට නැත.
5. වජ්ජපුග්ගල සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි පළමුවැන්නා අඥාන පෘථග්ජනයායි, දෙවැන්නා අතරතුර කුසල් කරන්නා වූ ලෞකික පෘථග්ජනයායි, තෙවැන්නා සෝවාන් පුද්ගලයායි. සකෘදාගාමි, අනාගාමීහුද ඔහු සමඟම එක්කරන ලදහ. සිවුවැන්නා ක්ෂීණාශ්‍රවයායි, හෙතෙම ඒකාන්තයෙන්ම වැරදි රහිතවූයේයි.
6-7. පරිපූරකාරීපුග්ගල ආදි සූත්‍ර වර්ණනා
සයවැනි සූත්‍රයෙහි පළමුවැන්නා ලෞකික මහාජනයායි, දෙවැන්නා ශුෂ්ක විදර්‍ශක සෝවාන් වුවහුද සකෘදාගාමී වුවහුද වේ. තෙවැන්නා අනාගාමී පුද්ගලයායි, හෙතෙමේද යම් හෙයකින් ඒක ක්ෂණික වූද උත්පත්තිය ඇතිකරවන ධ්‍යානයක් ලබන්නේමය, එහෙයින් ශුෂ්කවිදර්ශකයා ද සමාධිය සපුරන්නෙක් වේමය. සිවු වැන්නා ක්ෂීණාශ්‍රවයාමය, හෙතෙම වනාහි සියලු ශීලාදියට විරුද්ධ ධර්‍මයන් ප්‍රහීන කළ බැවින් සියල්ල සපුරන්නා නම් වෙයි,
සත්වැනි සූත්‍රයෙහි ද සයවැන්නෙහි කියන ලද පරිද්දෙන් පුද්ගල පරිච්ඡේදය දතයුතුයි.