2. පටිභානපුග්ගල සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි යුත්තපටිභානො නො මුත්තපටිභානො යනු ප්‍රශ්නයක් කියන්නේ සුදුසු දෙයක්ම කියයි, ඉක්මණින්ම නොකියයි, සෙමෙන්ම කියයි යන අර්‍ත්‍ථයි. මේ ක්‍රමයෙන් සියලු පද දත යුතුය.
3. නෙය්‍යපුග්ගල සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි සිවුවැදෑරුම් පුද්ගලයන්ගේ විශේෂය සූත්‍රයෙන් දතයුතුය,
“කවර නම් පුද්ගලයෙක් උග්ඝටිතඤ්ඤූ නම් වේද? යම් පුද්ගලයකුට ගෙනහැර දැක්වූ වේලෙහිම ධර්‍මාවබෝධය වේද මෙතෙම උග්ඝටිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් විපචිතඤ්ඤූ වේද? යම් පුද්ගලයකුට විස්තර වශයෙන් අර්‍ත්‍ථය බෙදා දක්වන විට ධර්‍මාවබෝධය වේද මෙතෙම විපචිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ. කවර නම් පුද්ගලයෙක් ඤෙය්‍ය නම් වේද? යම් පුද්ගලයකුට උදෙසීමෙන්, විමසීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් අනුක්‍රමයෙන් ධර්‍මාවබෝධය වෙයිද මෙතෙම ඤෙය්‍ය පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් පදපරම නම් වේද? යම් පුද්ගලයකුට බොහෝවක් ඇසීමෙන්ද බොහෝවක් දැරීමෙන්ද බොහෝවක් කියවීමෙන්ද එම ජාතියෙහි (භවයෙහි) ධර්‍මාවබෝධය නොවේද මෙතෙම පදපරම පුද්ගලයායි කියනු ලැබේ.”
4. ඵලූපජීවීපුග්ගල සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි නැඟීසිටි වීර්‍ය්‍යයෙන්ම දවස ගෙවා කිසියම් ප්‍රවෘත්ති විපාක මාත්‍රයක්ම ලැබ ජීවිකාව කරයි. එම වීර්‍ය්‍යයට පැමිණ කිසිදු පුණ්‍ය ඵලයක් නොලබයි, මෙතෙම උට්ඨානඵලූපජීවි න කම්මඵලූපජීවි නමි. චාතුම්මහාරාජිකයෙහි දෙවියන් ආදිකොට ඇති සියලුම දෙවියෝ උට්ඨාන වීර්‍ය්‍යය නැතිව පුණ්‍යඵලයෙන්ම ජීවත්වන බැවින් කම්මඵලූපජීවිනො න උට්ඨානඵලූපජීවිනො නමි. රාජ රාජ මහාමාත්‍යාදීහු උට්ඨානඵලූපජීවිනො ච කම්මඵලූපජීවිනො ච නමි. නිරයගත සත්ත්වයෝ නෙව උට්ඨානඵලූපජීවිනො න කම්මඵලූපජීවිනො නම් වෙති, මෙම සූත්‍රයෙහි පුණ්‍ය ඵලයම කර්‍ම ඵලයයි අදහස් කරන ලදී, එයද ඔවුනට නැත.
5. වජ්ජපුග්ගල සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි පළමුවැන්නා අඥාන පෘථග්ජනයායි, දෙවැන්නා අතරතුර කුසල් කරන්නා වූ ලෞකික පෘථග්ජනයායි, තෙවැන්නා සෝවාන් පුද්ගලයායි. සකෘදාගාමි, අනාගාමීහුද ඔහු සමඟම එක්කරන ලදහ. සිවුවැන්නා ක්ෂීණාශ්‍රවයායි, හෙතෙම ඒකාන්තයෙන්ම වැරදි රහිතවූයේයි.
6-7. පරිපූරකාරීපුග්ගල ආදි සූත්‍ර වර්ණනා
සයවැනි සූත්‍රයෙහි පළමුවැන්නා ලෞකික මහාජනයායි, දෙවැන්නා ශුෂ්ක විදර්‍ශක සෝවාන් වුවහුද සකෘදාගාමී වුවහුද වේ. තෙවැන්නා අනාගාමී පුද්ගලයායි, හෙතෙමේද යම් හෙයකින් ඒක ක්ෂණික වූද උත්පත්තිය ඇතිකරවන ධ්‍යානයක් ලබන්නේමය, එහෙයින් ශුෂ්කවිදර්ශකයා ද සමාධිය සපුරන්නෙක් වේමය. සිවු වැන්නා ක්ෂීණාශ්‍රවයාමය, හෙතෙම වනාහි සියලු ශීලාදියට විරුද්ධ ධර්‍මයන් ප්‍රහීන කළ බැවින් සියල්ල සපුරන්නා නම් වෙයි,
සත්වැනි සූත්‍රයෙහි ද සයවැන්නෙහි කියන ලද පරිද්දෙන් පුද්ගල පරිච්ඡේදය දතයුතුයි.
8. නිකට්ඨපුග්ගල සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි නිකට්ඨකායො යනු නික්මුණු සිරුරු ඇත්තේයි, අනිකට්ඨවිත්තො යනු නොපිවිසි සිත් ඇත්තේයි, කයින්ම ගමෙන් නික්මෙන්නේ සිතෙන් ආරණ්‍යයෙහි වසන්නේද ගමටම පිවිසියේයි කියන ලද්දේ වෙයි, මෙනයින් සියලුතන්හි අරුත් දතයුතුය.
9. ධම්මකථික සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි අසහිතං යනු අර්‍ත්‍ථයෙන් යුක්ත නොවූයි, න කුසලො හොති යනු දක්ෂයෙක් නොවෙයි, සහිතාසහිතස්ස යනු අරුත් ඇසුරු කොට ඇත්තෙහි හෝ ඇසුරුකොට නොමැත්තෙහියි, මෙසේ සියලු තැන අර්ථය දතයුතුය.
10. වාදී සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අත්‍ථතො පරියාදානං ගච්ඡති යනු අර්‍ත්‍ථකථාව විමසන ලද්දේ හාත්පසින් ගැනීම නිමාවට යයි, කීමට නොහැකි වෙයි, නො ඛ්‍යංජනතො යනු ඔහුට ලකුණු පවතියි, හාත්පසින් නොගනියි, සියලු තන්හි මෙම ක්‍රමයයි.
සිවුවැනිවූ පුද්ගලවර්‍ගයයි.
5. ආභා වර්ගය
1. ආභා සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි බැබළීම් වශයෙන් චන්ද්‍රයා චන්දහා නමි, සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි,
2-5. පභා ආදි සූත්‍ර වර්ණනා
දෙවැන්න ආදියෙහිද දිලිසීම් වශයෙන් චන්ද්‍රයාම චන්දප්පභා නමි, ආලෝක කිරීම් වශයෙන් චන්ද්‍රයාම චන්ද්‍රාලොකො නමි, බැබලීම් වශයෙන් චන්ද්‍රයාම චන්ද්‍රොභාසො නමි, දීප්තිමත්වීම් වශයෙන් චන්ද්‍රයාම චන්ද්‍රපජ්ජොතො නමි. මෙසේ සියලු පදයන්හි අර්‍ත්‍ථය දතයුතුය.
6. කාල සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි කාලො යනු සුදුසු කාලයයි, කාලෙන ධම්මසවණං යනු සුදුසු කාලයෙහි දහම් ඇසීමයි, ධම්මසාකච්ඡා යනු පැන පුඑවිසීම් විසඳීම් වශයෙන් පැවැති යහපත් කථාවයි.
7. දුතියකාල සූත්‍ර වර්ණනාව
සත්වැනි සූත්‍රයෙහි කාලා යනු ඒ ඒ කාලයෙහි දහම් ඇසීම් ආදී වශයෙන් පවතින්නා වූ කුශලධර්‍මයන්ට මේ නමකි, ඔවුහු වඩනු ලැබෙත්ද අනුව පෙරළෙනු ලැබෙත්ද වෙති, ආසවානං ඛයං යනු අරහත්වයයි, අටවැන්න පැහැදිලිමය,
9-10. වචීසුචරිත ආදි සූත්‍ර වර්ණනා
නවවැන්නෙහි, සණ්හවාචා යනු මෘදුවචනයි, මන්තාභාසං යනු මන්තා සංඛ්‍යාත වූ ප්‍රඥාවෙන් පිරිසිඳ කියනලද කථායි, දසවැන්නෙහි සීලසාරො යනු සාරය (හරය) ට පමුණුවන්නා වූ ශීලයයි, සෙසු තැන්හිද මේ ක්‍රමයයි.
පස්වැනිවූ අභාව වර්‍ගයයි.
තෙවැනි පණ්ණාසකය නිමි.
4. සිවුවැනි පණ්ණාසකය
1. ඉන්ද්‍රිය වර්ගය
1-5. ඉන්ද්‍රිය ආදි සූත්‍ර වර්ණනා
සිවුවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි ශ්‍රද්ධා ධුරයෙන් අධිපති බව කෙරේනුයි සද්ධින්ද්‍රියං නමි, සෙසු තන්හිද මේ ක්‍රමයමයි, දෙවැනි සූත්‍රයෙහි නොසැලෙන අරුතින් සද්ධාබලං නමි. සෙසු තැන්හිද මේ ක්‍රමයමයි. තෙවැන්නෙහි අනවජ්ජබලං යනු නිර්‍දොෂ බලයයි, සඞ්ගාහබලං යනු සංග්‍රහ කළයුත්තවුන් සංග්‍රහ කිරීමේ බලයයි, සිවුවැනි පස්වැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තේමය.