6. ඔනතොනත සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි ඔණතොණතො යනු දැන් පහත් තැනැත්තේ අනාගතයෙහි ද පහත්වූවෙක්ම වන්නේය. ඔණතුණ්ණතො යනු දැන් පහත් තැනැත්තේ අනාගතයෙහි උසස් වූවෙක් වන්නේය, උණ්ණතොණතො යන දැන් උසස් තැනැතත්තේ අනාගතයෙහි පහත්වූවෙක් වන්නේය, උණ්ණතුණ්ණතො යනු දැන් උසස් තැනැත්තේ අනාගතයෙහි ද උසස්වූවෙක් වන්නේයයි මොවුන්ගේ විස්තරය මුල් සුත්‍රයේ ක්‍රමයෙන්ම දතයුතුය.
7. සමාණමචල - පුත්ත සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි සමණමචලො යනු සමණඅචලො යනුයි, මකාරය පදසන්ධිය කරන්නේයි. නිශ්චල ශ්‍රමණයා යනාර්ථයි, මෙයින් සත්ආකාර වූ ශෛක්ෂයා දක්වයි, හෙතෙම සසුනෙහි මුල වූ ශ්‍රද්ධාවෙහි පිහිටි බැවින් නොසෙල්වෙන්නේ නම් වෙයි, සමණපුණ්ඩරිකො යනු හෙළඋපුලක් වැනි වූ ශ්‍රමණයායි, පුණ්ඩරීකය නම් සියපතට අඩු පියුමකි. මෙයින් ශුෂ්කවිදර්‍ශක ක්ෂීණාශ්‍රවයා දක්වයි, හෙතෙම ධ්‍යාන අභිඥා නැති බැවින් නොපිරිපුන් ගුණ ඇති බැවින් සමණපුණ්ඩරීක නම්වෙයි. සමණපදුමො යනු පියුමක් සමාන වූ ශ්‍රමණයායි, පදුමය නම් පිරිපුන් සියපත් ඇති පියුමයි, මෙයින් උභතොභාග විමුක්ත වූ ක්ෂීණාශ්‍රවයා දක්වයි. හෙතෙම ධ්‍යාන අභිඥා පැවතීමෙන් පිරිපුන්ගුණ ඇත්තේ සමනපදුම නම්වෙයි. සමණොසු සමණසුඛුමාලො යනු මේ සියලු ශ්‍රමණයන්ගෙන් සියුමැලි මහණතෙමේ මුදු සිත හා සිරුර ඇත්තේ කායික චෛතසික දුක්රහිත වූයේ ඒකාන්තයෙන්ම සුව ඇත්තේයි, මෙයින් තමන් ද තමන් වැනිවූවන් ද දක්වයි.
මෙසේ මාතෘකාව තබා දැන් පිළිවෙළින් බෙදා දක්වන්නේ “කතමො ච භික්ඛවෙ” යනාදිය කීවේය. එහි සෙඛො යනු සත් ආකාරවූද ශෛක්‍ෂයායි, පටිපදො යනු පිළිපන් තැනැත්තායි, අනුත්තරං යොගක්ඛෙමං පත්‍ථයමානො විහරති යනු රහත්බව පතමින් වාසයකරයි, මුද්ධාවසිත්තස්ස යනු මුදුනෙහි ඉසින ලද්දහුගේයි, කරනලද අබිසෙස් ඇත්තහුගේ යන අරුතය, ආභිසෙකො යනු අබිසෙස් කිරීමට සුදුස්සායි, අනභිසිත්තො යනු මෙතෙක් අබිසෙස් නොකරන ලද්දේයි, මචලප්පත්තො යනු මුදුනෙහි අබිසෙස් කරනලද ක්ෂත්‍රිය රජුගේ පුත් බැවින් ද පුතුන් අතර දෙටුබැවින් ද, එතෙක් අබිසෙස් නොකරන ලද බැවින් ද, අභිෂේකයට පැමිණීම සඳහා නිසල බවට පත්වූයේ නිසල පැතුම් ඇත්තේයි, මකාරය නිපාත මාත්‍රයකි, කායෙන ඵස්සිත්වා යනු නාමකායයෙන් ස්පර්‍ශකොටයි,
යාචිතො ච බහුලං චීවරං පරිභූඤ්ජති යනු ස්වාමීනි මෙය පරිභෝග කරනු මැනවැයි අයදිනු ලබන දායකයන් විසින් ගෙනෙන ලද බොහෝ සිවුරු පරිභොග කරයි, අයදිනු නොලබන කිසිවක් (පරිභොග නොකරයි). බක්කුල තෙරුන් මෙනි, ඛදිරවන මාර්‍ගයෙහි පිණ්ඩපාතය වැළඳු සීවලී තෙරණුවන් මෙනි, අට්ඨකනාගර සූත්‍රයෙහි සෙනසුන පරිභොග කළ ආනන්ද තෙරණුවන් මෙනි. ගිලන්පස වළඳන පිලින්දිවච්ඡ තෙරණුවන් මෙනි, ත්‍යස්ස යනු තෙ අස්ස යනුයි, මනාපෙන වා යනු සිත ඇලෙන දෙයිනි, සමුදාචරන්ති යනු කළයුතු කටයුතු කරත් හෝ පවතිත් හෝ යනුයි, උපහාරං උපහරන්ති යනු කායික චෛතසික ගෞරවය එලවත් ගෙනඑත් යනුයි, සන්නිපාතිකානි යනු සන්නිපාත තුනෙන්ම උපන්නා වූ දෙයයි. උතුපරිනාමජානි යනු ඍතු පරිනාමයෙන් දැඩි ශීත දැඩි උෂ්ණ සෘතුන්ගෙන් හටගත් දේයි, ඔපක්කමිකානි යනු වධබන්ධනාදී උපක්‍රමයෙන් හටගත් දෙයයි, කම්මවිපාකජානි යනු (ඉහත දැක්වූ) මේ කරුණින් තොරව ද හුදෙක් පෙරකළ කර්‍මවිපාක වශයෙන් හටගත්තාවූ දෙයයි, චතුන්නං ඣානානං යනු මෙහි ක්ෂීණාශ්‍රවයන්ගේ ද බුදුවරුන්ගේ ද ක්‍රියා ධ්‍යානයෝම අදහස් කරන ලද්දාහුය, සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.
8. සමාණමචල - සඤ්ඤාජන සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි සසුනෙහි ලබනලද ප්‍රතිෂ්ඨාව ඇති බැවින් “සමණමචලො”යි කියන ලදි. ඉතා බොහෝ ගුණ නැති බැවින් බොහෝ පත් නැති පියුමක් මෙන් සකෘදාගාමී තැනැත්තේ සමණපුණ්ඩරිකො නමි, එයින් බොහෝ වැඩි ගුණ ඇති බැවින් සියපත් ඇති පියුමක් මෙන් අනාගාමී තැනැත්තේ සමණපදුමො නමි, දැඩිබව ඇතිකරන කෙලෙසුන් සර්‍වප්‍රකාරයෙන් මුලසුන් කරනලද බැවින් මෘදුබවට පැමිණි ක්ෂීණාශ්‍රවයා සමණසුඛුමාලො නම් වෙයි.
9. සමාණමචල - දිට්ඨි සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සම්මාදිට්ඨිකො යනාදියෙහි අෂ්ටාංගිකමාර්‍ග වශයෙන් පළමු සූත්‍රයෙහි මෙන් ශෛක්ෂයෝ සත්දෙනා ගන්නා ලදහ. දෙවැනිවර දසාංගිකමාර්‍ග වශයෙන් හෝ අරහත්ඵලඤාණ හා අරහත්ඵල විමුත්තිඥාණයන් ද සමඟ අෂ්ටාංගික වශයෙන් හෝ ශුෂ්ක විදර්‍ශක ක්ෂීණාශ්‍රවයා කියන ලදි. තෙවැනිවරෙන් උභතොභොග විමුක්තයා ද සිවුවැනි වරින් තථාගතයන් වහන්සේ හා තථාගත සමාන ක්ෂීණාශ්‍රවයාදැයි මෙම සූත්‍රය පළමු සූත්‍රයෙහි කියන ලද පුද්ගලයන්ගේ වශයෙන් කියන ලදි. මෙහි දේශනා මාත්‍රයම විශේෂයයි.
10. සමාණමචල - ඛන්ධ සූත්‍ර වර්ණනාව
දසවැනි සූත්‍රයෙහි පළමුවරින් අරහත්බවට උත්සාහය නොඅරඹා සිටි ප්‍රමාදව වෙසෙන ශෛක්ෂ පුද්ගලයා කියන ලදි. දෙවැනිවරින් නොඋපදවන ලද ධ්‍යාන ඇති අරඹන ලද විදර්‍ශනා ඇති අප්‍රමාදව වෙසෙන ශෛක්ෂ පුද්ගලයා කියන ලදි, තෙවැනිවරින් අරඹන ලද විදර්‍ශනා ඇති අප්‍රමාදව වෙසෙන අෂ්ට විමොක්ෂලාභී ශෛක්ෂ පුද්ගලයා කියන ලදි. සිවුවැනිවරින් පරමසුඛුමාල වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියන ලදි.
සිවුවැනි වූ මචල වර්‍ගයයි.
5. අසුර වර්ගය
1. අසුර සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අසුරො යනු අසුරයකු වැනි පිළිකුල උපදවන්නේයි, දෙවො යනු දෙවියකු මෙන් වූ ගුණ වශයෙන් මනා රූ ඇති පහදවන සුලු වූයේයි :
2. පඨම සමාධි සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි අජ්ඣත්තං චෙතොසමථස්ස යනු ස්වකීය අධ්‍යාත්මයෙහි අර්‍පණා චිත්ත සමාධියේයි, අධිපඤ්ඤාධම්මවිපස්සනාය යනු සංස්කාරයන් විමසන විදර්‍ශනා ඥානයේයි, එය වනාහි අධිපඤ්ඤා සංඛ්‍යාත වූයේ ද පංචස්කන්ධසංඛ්‍යාත ධර්‍මයන්හි විදර්‍ශනාව වූයේද වෙයි. එහෙයින් අධිපඤ්ඤාධම්මවිපස්සනායි කියන ලදි.
3. දුතිය සමාධි සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි යොගො කරණීයො යනු සුදුසු බවට පත් බැවින් කළයුතුවූයි, ඡන්දො යනු කරනු කැමති බව පිළිබඳ ඡන්දය (කැමැත්ත) යි වායාමො යනු යෙදීමයි (වීර්යයයි), උස්සාභො යනු ඊට වැඩිමනත් වූ වීර්යයයි, උස්සොළහී යනු මඩෙහි එරුණු ගැලක් උඩට නැඟීමට සමාන වූ මහාවීර්යයයි, අප්පටිවානි යනු නොනැවැත්මයි.
4. තතිය සමාධි සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි එවං ඛො ආවුසො සඞ්ඛාරා දට්ඨබ්බා යනාදියෙහි ඇවැත්නි, සංස්කාරයෝ නම් අනිත්‍ය වශයෙන් දැකිය යුතුය. අනිත්‍ය වශයෙන් විමසිය යුතුය, අනිත්‍ය වශයෙන් විදර්‍ශනා කටයුතුය. එසේම දුක් වශයෙන් ද අනාත්ම වශයෙන් ද දැකියයුතුයි, එවං ඛො ආවුසො චිත්තං සණ්ඨපෙතබ්බං යනාදියෙහි ඇවැත්නි ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත පිහිටවිය යුතුය, ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත සන්සුන් කළයුතුය, ප්‍රථමධ්‍යාන වශයෙන් එකඟ කළයුතුය, ප්‍රථමධ්‍යාන වශයෙන් තැන්පත් කළයුතුය, එසේ දුතීය ධ්‍යාන වශයෙන්දැයි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය, මෙම සූත්‍ර තුනෙහිම ලෞකික ලෝකෝත්තර වූ සමථ විදර්‍ශනා කියන ලදී.