10. සමාණමචල - ඛන්ධ සූත්‍ර වර්ණනාව
දසවැනි සූත්‍රයෙහි පළමුවරින් අරහත්බවට උත්සාහය නොඅරඹා සිටි ප්‍රමාදව වෙසෙන ශෛක්ෂ පුද්ගලයා කියන ලදි. දෙවැනිවරින් නොඋපදවන ලද ධ්‍යාන ඇති අරඹන ලද විදර්‍ශනා ඇති අප්‍රමාදව වෙසෙන ශෛක්ෂ පුද්ගලයා කියන ලදි, තෙවැනිවරින් අරඹන ලද විදර්‍ශනා ඇති අප්‍රමාදව වෙසෙන අෂ්ට විමොක්ෂලාභී ශෛක්ෂ පුද්ගලයා කියන ලදි. සිවුවැනිවරින් පරමසුඛුමාල වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියන ලදි.
සිවුවැනි වූ මචල වර්‍ගයයි.
5. අසුර වර්ගය
1. අසුර සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අසුරො යනු අසුරයකු වැනි පිළිකුල උපදවන්නේයි, දෙවො යනු දෙවියකු මෙන් වූ ගුණ වශයෙන් මනා රූ ඇති පහදවන සුලු වූයේයි :
2. පඨම සමාධි සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි අජ්ඣත්තං චෙතොසමථස්ස යනු ස්වකීය අධ්‍යාත්මයෙහි අර්‍පණා චිත්ත සමාධියේයි, අධිපඤ්ඤාධම්මවිපස්සනාය යනු සංස්කාරයන් විමසන විදර්‍ශනා ඥානයේයි, එය වනාහි අධිපඤ්ඤා සංඛ්‍යාත වූයේ ද පංචස්කන්ධසංඛ්‍යාත ධර්‍මයන්හි විදර්‍ශනාව වූයේද වෙයි. එහෙයින් අධිපඤ්ඤාධම්මවිපස්සනායි කියන ලදි.
3. දුතිය සමාධි සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි යොගො කරණීයො යනු සුදුසු බවට පත් බැවින් කළයුතුවූයි, ඡන්දො යනු කරනු කැමති බව පිළිබඳ ඡන්දය (කැමැත්ත) යි වායාමො යනු යෙදීමයි (වීර්යයයි), උස්සාභො යනු ඊට වැඩිමනත් වූ වීර්යයයි, උස්සොළහී යනු මඩෙහි එරුණු ගැලක් උඩට නැඟීමට සමාන වූ මහාවීර්යයයි, අප්පටිවානි යනු නොනැවැත්මයි.
4. තතිය සමාධි සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි එවං ඛො ආවුසො සඞ්ඛාරා දට්ඨබ්බා යනාදියෙහි ඇවැත්නි, සංස්කාරයෝ නම් අනිත්‍ය වශයෙන් දැකිය යුතුය. අනිත්‍ය වශයෙන් විමසිය යුතුය, අනිත්‍ය වශයෙන් විදර්‍ශනා කටයුතුය. එසේම දුක් වශයෙන් ද අනාත්ම වශයෙන් ද දැකියයුතුයි, එවං ඛො ආවුසො චිත්තං සණ්ඨපෙතබ්බං යනාදියෙහි ඇවැත්නි ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත පිහිටවිය යුතුය, ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත සන්සුන් කළයුතුය, ප්‍රථමධ්‍යාන වශයෙන් එකඟ කළයුතුය, ප්‍රථමධ්‍යාන වශයෙන් තැන්පත් කළයුතුය, එසේ දුතීය ධ්‍යාන වශයෙන්දැයි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය, මෙම සූත්‍ර තුනෙහිම ලෞකික ලෝකෝත්තර වූ සමථ විදර්‍ශනා කියන ලදී.
5. ඡවාලාත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි ඡවාලාතං යනු සොහොනෙහි ගිනිපෙනෙල්ලයි, මජ්ඣෙ ගුථගතං යනු මැද තැනෙහි අසූවි තැවරුණාවූයි, නෙව ගාමෙ කට්ඨත්‍ථං ඵරති යනු කුළු, ගොණැස්, කණු, ඉනිමං ආදිය සඳහා නොඑලඹියයුතු බැවින් ගමෙහි දැව අවශ්‍යතාව නොසෑදෙයි. කෙතක පැල් කණුවක් හෝ ඇඳ කකුලක් හෝ කරන්නට නොඑළඹෙන බැවින් වනයෙහි දැව අවශ්‍යතාව ඉටු නොවෙයි. දෙකෙළවරින් ගනු ලබන විට අත දැවෙයි හෝ මැදින් ගනු ලබන විට අසූචියෙන් තැවරෙයි තථුපමං යනු ඊට සමානවූයි, අභික්කන්තරො යනු ඉතා සොඳුරු වූයි, පණීතතරො යනු ඉතා උතුම්වූයි, ගාවා ඛීරං යනු දෙනගෙන් කිරියි, ඛිරම්හාදධි යනාදියෙහි පසුව පසුව එන දෙය මුලින් මුලින්වූ දෙයට වඩා අග්‍රය, ගිතෙල් මණ්ඩිය ඒ සියල්ලෙන්ම අග්‍ර වේමය, අග්ගො යනාදියෙහි ගුණයන්ගෙන් අග්‍ර මෙන්ම ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද ප්‍රවර ද වේයැයි දතයුතුය, සොහොනෙහි ගිනිපෙලි උපමාවෙන් දුසිල්වත් පුද්ගලයා නොකියන ලද්දේය, අල්ශ්‍රැතවූ අත්හළ කර්‍මාන්ත ඇති ගොනකු වැනි පුද්ගලයා කියන ලදැයි දතයුතුය. සවැන්නෙහි සියල්ල පැහැදිලි අරුත් ඇත්තේමය,
7. ඛිප්පනිසන්ති සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි ඛිප්පනිසන්ති යනු ඉක්මණින් ඇහුම්කන් දෙන්නේ ඉක්මණින් දැනීමට සමත්වෙයි. ධතානඤ්ච ධම්මානං යනු සිතෙහි දැරීම දියුණු කළ පෙළදහමෙයි, අත්‍ථූපපරික්ඛි යනු අරුත් විමසන්නායි, අත්‍ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය යනු අර්‍ත්‍ථකථාව ද පෙළ ද දැනයි, ධම්මානුධම්ම පටිපන්නො හොති යනු නවලොවුතුරා දහමට අනුකූල ධර්‍මය වූ සීලය සහිත පුර්‍ව භාග ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. නො ච කලය්‍යාණවාචො යනු කල්‍යාණ වචන නොමැත්තේයි, න කල්‍යාණවාක්කරණො යනු සොඳුරු වදන්හඬ නැත්තේවෙයි, පොරියා යනාදිය සමග නොකාරය යෙදිය යුත්තේමය, ගුණයෙන් පිරිපුන් බාධාරහිත නිදොස් නොගිලිහුණු පදව්‍යංජන ඇති අර්‍ත්‍ථය හැඟවීමට සමත් වූ වචනයෙන් යුක්තවූයේයි අර්‍ත්‍ථය හැඟවීමට සමත් වූ වචනයෙන් යුක්ත වූයේයි අර්‍ත්‍ථයි. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුය.
8-9. අත්තහිත ආදි සූත්‍ර වර්ණනා
අටවැන්න පුද්ගලයන්ගේ අධ්‍යාසය (අදහස්) වශයෙන් ද බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය වශයෙන් ද කියන ලදි. නවවැන්න පස්වැදෑරුම් වෛර වශයෙනි,
10. පොතලිය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි කාලෙන යනු සුදුසු කාලයෙහියි, ඛමති යනු කැමැති වෙයි, යදිදං තත්‍ථ තත්‍ථ කාලඤ්ඤුතා යනු ඒ ඒ තැන සුදුසු කාලය දැනීමයි, ඒ ඒ කාලය දැනම නොවැණිය යුත්තහුගේ නුගුණකීම වැණිය යුත්තහුගේ ගුණකීම පණ්ඩිතයන්ගේ ස්වභාවය යැයි දක්වයි.
පස්වැනි වූ අසුර වර්‍ගයයි
දෙවැනි පණ්ණාසකය නිමියේයි