10. ගිහිසාමීචිපටිපදා සූත්‍ර වර්ණනාව
දසවැනි සූත්‍රයෙහි සාමීචිපටිපදං යනු ගිහීන්ට සුදුසු පිළිවෙතයි, පච්චුපට්ඨිතා හොති යනු පිළිගන්වා දෙනු කැමැත්තෙන් ළඟට එළඹවූයේ වෙයි, සමීපවූයේ භික්ෂු සංඝයාට සිවුරු දෙයි යන අරුත්ය,
උපට්ඨිතා යනු උපස්ථායකයායි, තෙසං දිච්ච රත්තො ච යනු යමෙක් මෙසේ සිවුපසයෙන් උපස්ථාන කරත් ද ඔවුනට දහවල්හි ද රැයෙහි ද පරිත්‍යාග වශයෙන් මෙන්ම සිහිකිරීම් වශයෙන් ද හැමකල්හි පින වැඩෙයි. සග්ගඤ්ච කමතිට්ඨානං යනු එබඳු තැනැත්තේ ඒ යහපත් කර්මය කොට ස්වර්ගයට එළැඹෙයි, මේ සූත්‍රාන්ත සතරෙහිම අගාරිය ප්‍රතිපදාව කියන ලදි. සෝවාන් සකෘදාගාමීන්ට ද මැනවි.
පළමුවැනි පුඤ්ඤාභිසන්ද වර්ගයයි.
2. පත්තකම්ම වර්ගය
1. පත්තකම්ම සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අනිටුදෙය (අයහපත) පිළිකෙව් කිරීමෙන් ඉට්ඨා නමි, සිත ඇතුළත් වෙත්, පිවිසෙත්නුයි කන්තා නමි. සිත නගත් වඩනුයි මනාප නමි, දුල්ලභා යනු අතිශයින්ම දුර්ලභ වූවෝයි, භොගා යනු විඳිය යුතු රූපාදී වූ විෂයයෝයි, සහධම්මෙන යනු ධර්මය සමඟම උපදිත්වා; ධර්මය විනාශකොට අධර්මයෙන් නොවේ, නැතහොත් සහධම්මෙන යනු හේතු සහිතවීමෙනි, ඒ සෙනෙවි සිටු තනතුරු ආදී කරුණු සමගම උපදිත්වායි අරුත්ය. යසො යනු පිරිවර සැපතයි, සහඤාතීහි යනු නෑයන් සමගය, සහ උපජ්ඣායෙහි යනු සැපදුකෙහිදී මැදහත් වියයුතු බැවින් උපාධ්‍යාය සංඛ්‍යාත වූ හිතමිතුරන් සමඟය,
අකිච්චං කරොති යනු නොකළයුත්තක් කරයි, කිච්චං අපරාධෙති යනු කළයුතු වූ කටයුත්ත නොකරන්නේ එය වළක්වන්නේ නමි. ධංසති යනු වැටෙයි. පිරිහෙයි. අභිජ්ඣාවිසමලොභං යනු අභිධ්‍යා සංඛ්‍යාත වූ විෂම ලොභයයි, පජහති යනු දුරු කරයි, ඉවත්කරයි, මහාපඤ්ඤො යනු මහත් ප්‍රඥාවක් ඇත්තේයි, පුථුපඤ්ඤො යනු පළල් වූ නුවණ ඇත්තේයි, ආපාථදසො යනු ඒ ඒ අර්ත්ථයට පැමිණෙයි, එයම බලයි, සියුම් වූද අර්ත්ථසමූහය ඔහුගේ මාර්ගයට පැමිණේමය යන අරුත්ය.
උට්ඨානවිරියාධිතෙහි යනු උත්ථාන සංඛ්‍යාත වූ වීර්යයෙන් ලබන ලද්දෙනි, බාහාබලපරිචිතෙහි යනු බාහුබලයෙන් රැස්කළ, වඩන ලද්දෙනි, සෙදාවක්ඛිත්තෙහි යනු හෙළු දහදියෙනි, දහදිය හෙළා, වෑයමෙන් උත්සාහයෙන් රැස්කළ දෙයිනි යන අරුත්ය, ධම්මිකෙහි යනු ධර්මයෙන් යුතු වූ දෙයිනි, ධම්මලද්ධෙහි යනු දශකුශල කර්මපථ ධර්මයන් නොකෙලෙසා ලද දෙයිනි, පත්තකම්මානි යනු සුදුසු කර්මයෝයි. ගැලපෙන කර්මයෝයි, සුඛෙති යනු සුවපත් කෙරෙයි, පීණෙති යනු පිණවන ලද්දක්, බලසම්පන්න වූවක් කරයි, ඨානගතං හොති යනු කාරණාගත වූයේ වෙයි, එය කුමක්දයත්? සතර අතරෙන් එකක්වූ භොගයන්ගෙන් කළයුතු කර්මය භොග සමූහයටම ස්ථානගත වෙයි. පත්තගතං යනු සුදුසු තැනට ගියේයි, ආයතනසො පරිභූත්තං යනු කාරණයෙන්ම (සහේතුකවම) පරිභෝග කළ භොග සමුහය වෙයි.
පරියොධාය වත්තති යනු වසා පවතියි, යම්සේ ගිනි ආදියෙන් උපන් ආපදාවන්හි දී මෙසේ ගිනිගත්ගෙය නිවීම් ආදී වැඩ සඳහා ධන පරිත්‍යාග කොට ඒ උවදුරුවල මග වසයි. වළක්වයි, සොත්ථිං අත්තානං කරොති යනු තමා උවදුරු රහිතවූවකු නිර්භයවූවකු කරයි, ඤාතිබලිං යනු ඥාතීන් සඳහා වූ බලිය (පිදීම) යි, අථිතිබලිං යනු ආගන්තුක බලියයි, පුබ්බපෙතබලිං යනු පරලොව ගිය ඥාතීන් සඳහා වූ බලියයි, රාජබලිං යනු රජු සඳහා කළයුතු වූ රාජ බලියයි, දෙවතාබලිං යනු දෙවියන්ට කළයුතු බලියයි, මේ සියල්ල ඒ ඒ අයට සුදුසු පරිද්දෙන් දියයුතු දානයට නමයි,
ඛන්තිසොරච්වෙ නිවිට්ඨා යනු ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තියට ද මනා සිල්වත්බවට ද ඇතුළත්වූවාහුයි, එකමත්තානං දමෙන්ති යනු තමාගේම එක් ආත්මභාවය ඉන්ද්රිය දමනයෙන් දමනය කරති, සමෙන්ති යනු තමාගේ සිත කෙලෙස් සංසිඳවීමෙන් සමනය කරති, පරිනිබ්බාපෙන්ති යනු ක්ලේශ පරිනිර්වාණයෙන්ම පිරිනිවීමට පමුණුවත්, උද්ධග්ගිකං යනාදියෙහි මතුමතු භූමිවල පලදීම් වශයෙන් උසස් මාර්ගය මොහුගේනුයි උද්ධග්ගිකා නමි, ස්වර්ගයට හිතකරය. යන්නෙන් එහි උපදවීම් ඇතිකරවන බැවින් සොවග්නිකා නම් වෙයි, උපනුපන් තැන සැප විපාක මොහුගේනුයි සුඛවිපාකා නමි, මනාව උසස් වූ දිව්යවර්ණාදී දශ විශේෂයන් උපදවන බැවින් සග්ගසංවත්තනිකා නමි, මෙබඳු වූ දක්ෂිණාවක් පිහිටවීයයි අරුත්ය,