4. අග්ගප්පසාද සූත්‍ර වර්ණනාව
සිවුවැනි සූත්‍රයෙහි ශ්‍රේෂ්ඨයන් කෙරෙහි පැහැදීම් ඇත්තාහු හෝ ශ්‍රේෂ්ඨ වූ පැහැදීම් ඇත්තාහු හෝනුයි අග්ගප්පසාදා නමි. යාවතා යනු යම්පමණවූයි. අපදා යනු සප්මසුන් ආදී පා නැත්තේයි. දිපදා යනු මනුෂ්‍ය පක්ෂි ආදීහුයි. චතුප්පදා යනු ඇත්, අස් ආදීහුයි. බහුප්පදා යනු පත්තෑ ආදීහුයි. නෙවසඤ්ඤිනාසඤ්ඤිනො යනු භවාග්‍රයෙහි උපන් සත්ත්වයෝයි. අග්ගමක්ඛායති යනු ගුණ තුනෙන් අග්‍ර වූයේ උත්තමවූයේ ශ්‍රෙෂ්ඨවූයේ යයි පැවසෙයි. අසංඛතා යනු නිවනම ගෙන කියන ලද්දේ වෙයි. විරාගො යනාදිය නිවනටම නම්ය. එයට පැමිණ සියලු කෙලෙස් නොඇලීමට යයි (පිරිසුදු වෙයි). සියලු රාගමදාදී වූ මදයෝ මද නැත්තෝ වෙති. අභාවයට යත්. සියලු පිපාසයෝ දුරුවෙත්. සියලු ඇලීම් විනාශයට යයි. වෘත්තයෝ සිඳෙත්. තෘෂ්ණාවෝ ක්ෂයවෙත්. සසරදුක නිමාවෙයි. සියලු දැවීම් නිවෙයි. එබැවින් මේනම් ලබයි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.
5. වස්සකාර සූත්‍ර වර්ණනාව
පස්වැනි සූත්‍රයෙහි අනුස්සරිතා යනු ලුහුබැඳ සිහිකරන ලද්දේයි. අනුක්‍රමයෙන් සිහිකිරීමට සමත්ය යන අරුතය. දක්ඛො යනු දක්ෂයායි. තත්‍රෑපායාය යනු මෙකල්හි මෙනම් දැය කළයුතු යයි මෙසේ ඒ ඒ තැන උපාය වූ ප්‍රඥාවෙන් යුක්තවූයේයි. අනුමොදිතබ්බං යනු සතුටුවිය යුතුය. පටික්කොසිතබ්බං යනු ප්‍රතික්ෂේප කළයුතුය. නෙව ඛො ත්‍යාහං යනු නෙව ඛො තෙ අහං යන පදයන්ගේ එකතුවයි. කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ එය සතුටු නොවෙත්ද පිළිකෙව් කෙරෙත්ද යත්? ලෞකික බැවින් සතුටු නොවෙත්. ලෞකික අර්‍ත්‍ථය ගෙන සිටි බැවින් පිළිකෙවු නොකරත්. බහුස්ස ජනතා යනු බොහෝ දෙනා වෙති. මෙයද කරණාර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයයි දතයුතුය. අරියෙ ඤායෙ යනු විදර්‍ශනා සහගත වූ මාර්‍ගයෙහියි. කල්‍යාණධම්මතා කුසලධම්මතා යනුද එයටම නම්ය. යං විතක්කං යනු නෙක්ඛම්ම විතර්‍කාදීන් අතුරෙන් එකකි. න තං විතක්කං විතක්කෙති යනු කාම විතර්‍කාදිය අතුරෙන් එකකුදු විතර්‍කනය නොකරයි. සෙස්ස එයටම වෙනත් නමකි. විතක්කපථෙ යනු මෙහි විතර්‍කයම විතක්ක පථයයි. අහං හි බ්‍රාහ්මණ යනාදියෙහි පළමු නයින් ක්ෂීණාශ්‍රවයාගේ ශීලය ද බහුශ්‍රැත බව ද කියන ලදි. දෙවැනි, තුන්වැනි කරුණින් ක්ෂීණාශ්‍රවයාගේ ක්‍රියාවිර්‍තකයෝ ද ක්‍රියාධ්‍යානයෝ ද කියන ලද්දාහ. සිවුවැන්නෙන් ක්ෂීණාශ්‍රවභාවය කියනලදැයි දතයුතු ය.
මච්චුපාසා පමොවනං යනු මාරපාශය මුදවන්නා වූ මාර්ගයයි. ඤායං ධම්මං යනු විදර්‍ශනා සහගත මාර්ගයයි. දිස්වා ච සුත්වා ච යනු නුවණින්ම බලා ද අසා ද යනුයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
6. දොණ ලොක සූත්‍ර වර්ණනාව
සවැනි සූත්‍රයෙහි අන්තරා ච උක්කට්ඨං අන්තරා ච සෙතව්‍යං යනු මෙහි උක්කට්ඨ යනු ගිනිහුළු දරනු ලබන්නවුන් විසින් මැවූ බැවින් එසේ ලබන ලද ව්‍යවහාරය ඇති නගරයයි. සෙතව්‍යං යනු අතීතයෙහි කාශ්‍යප සම්මාසම්බුදුන් වහන්සේ උපන් නගරයයි. අන්තරා ශබ්දය, කාරණය, ක්‍ෂණය, සිත, මැද, සිදුර යනාදියෙහි පවතියි. “තදනන්තරං කො ජානෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතා” හා “ජනා සඞ්ගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරං” යනාදියෙහි අන්තර ශබ්දය කාරණයෙහිය. “අද්දසා මං භන්තෙ අඤ්ඤතරා ඉත්ථි විජ්ජන්තරිකාය භාජනං ධොවන්ති” යනාදියෙහි ක්ෂණයෙහි ( ඇසිල්ලෙහි) වේ. “යස්සන්තරතො න සන්ති කොපාං” යනාදියෙහි සිතෙහිය. “අන්තරා වොසානමාපාදි” යනාදියෙහි මැදය. “අපි චායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති” ආදී තන්හි සිදුරෙහිය. ඒ අන්තරා ශබ්දය මෙහි විවරයෙහි (සිදුරෙහි) පවතියි. එහෙයින් උක්කට්ඨාවට ද, සෙතව්‍යාවට ද අතරතුරෙහියි මෙසේ මෙහි අර්‍ත්‍ථය දැක්විය යුතුයි. අන්තරා ශබ්දයෙන් යුක්ත බැවින් උපයොග වචනය කරන ලදි. මෙබඳු වූ තන්හි දී අක්ෂර විද්‍යාඥයෝ “අන්තරා ගාමංච නදිඤ්ච යාති”යි මෙසේ එකම අන්තරා ශබ්දයක් යොදත්. එය දෙවැනි පදයෙන් ද යෙදිය යුත්තේ වෙයි. නොයෙදනු ලබන කල්හි උපයෝග වචනය නොපැමිණෙයි. මෙහි වනාහි යොදා මෙසේ කියන ලද්දේයි.