3. සීහ සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයෙහි සීහො යනු තිණසීහ, කාළසීහ, පණ්ඩුසීහ හා කෙසරසීහ යනුවෙන් එන සිවුවැදෑරුම් සිංහයෝයි, ඔවුනතුරින් තිණ සිංහයා පරෙවි පැහැය ඇති දෙනක සමාන වූයේ තණ බුදියි. කාළ සිංහයා කලුදෙනක සමානවූයේ තණ බුදින්නේම වෙයි. පණ්ඩු සිංහයා, පරඬලාපත් පැහැය ඇති දෙනක සමාන වූයේ මස් බුදියි. කේසර සිංහයා, ලතු පිරියම් කළාක් මෙන් වූ මුවින් ද නගුට අගින් ද සිවුපා කෙළවරින් ද යුක්ත වූයේයි. ඔහුගේ හිසමත්තේ සිට ලතු පින්සලෙන් කළාක් මෙන් වූ රේඛා තුනක් පිටමැදින් ගොස් කලවා අතරෙහි දකුණට කැරකී සිටියේ වෙයි. ඔහුගේ කඳෙහි ලක්ෂයක් වටිනා කම්බිලියකින් වටකළාක් මෙන් වූ කෙසුරුබර වෙයි. සෙසුතැන් පිරිසුදු හැලිපිඬු සක්සුණු පිඬු පැහැය ඇත්තේ වෙයි. මේ සිවුවැදෑරුම් සිංහයන් අතුරෙහි මෙහිදී මෙම කේසර සිංහයා අදහස් කරන ලදි.
මිගරාජා යනු සියලු මෘග සමුහයාගේ රජුයි. ආසයා යනු රන් ගුහාවෙන් හෝ රිදීමැණික් පළිඟු මනොසිලා ගුහාවෙන් හෝ වසන තැනින් නික්මේ යයි කියන ලද්දේ වෙයි. මෙතෙම (ගුහාවෙන්) නික්මෙන්නේ කරුණු සතරකින් නික්මෙයි. අඳුරෙන් පෙළුණේ ආලෝකය සඳහා හෝ මළමූවලින් පෙළුණේ ඒවා ඉවතලනු සඳහා හෝ කුසගින්නෙන් පෙළුණේ ගොඳුරු සඳහා හෝ කාමයෙන් පෙළුණේ මෙවුන්දම් සෙවුනා සඳහා හෝ යනුවෙනි. මෙහි වනාහි ගොදුරු සඳහා නික්මෙන කේසර සිංහයා අදහස් කරන ලදි.
විජම්හති යනු රත් තලාවක හෝ රිදී මැණික් පළිඟු මනෝසිලා තලාවන්ගෙන් එකෙක හෝ පසු පා දෙක සමව පිහිටුවා ඉදිරිපා දෙක ඉදිරියට දික්කොට සිරුරේ පසුකොටස ඇද ඉදිරි කොටසට ගෙන පිට නමා ගෙල ඔසවා ගෙන හඬක් කරන්නාක් මෙන් නාස්පුඬු පොලා සිරුරෙහි ලැගුණු දූවිලි ගසා දමමින් කෙසරු සලයි. කෙසරු සලන බිමෙහි ද තරුණ වස්සකු මෙන් ඔබමොබ දුවයි. දුවන්නා වූ ඔහුගේ සිරුර අඳුරෙහි කැරකෙන ගිනිපෙනෙල්ලක් මෙන් හැඟෙයි.
අනුචිලොකෙති යනුවෙන් කුමක්නිසා වටපිට බලයිද අනුන් කෙරෙහි දයාව නිසාය. ඔහු සිංහනාදය නගනවිට පර්වත තටාකාදී වූ විස්මස්ථානයන්හි හැසිරෙන ඇත් ගෝණ මීහරක් ආදීවූ ප්‍රාණීහු ප්‍රපාතයෙහි ද ආවාටයෙහි ද වැටෙත්. ඔවුනට දයාවෙන් හාත්පස බලයි. කිම, අනුන්ගේ මස්බුදින රුදුරු වූ මොහුගේ දයාවක් නම් ඇත්ද? එසේය ඇත. මරණ ලද බොහෝ දෙනාගෙන් මට කවර වැඩක්දැයි (සිතා) ගොදුරු සඳහා ද කුඩා ප්‍රාණින් නොගනියි. මෙසේ දයාව දක්වයි. මෙය කියන ලද්දේ වෙයි. “මම විසමස්ථානයන්හි වූ කුඩා සතුන් මරණයට පත් නොකෙළෙමි” යනුවෙනි.
සීහනාදං නදති යනු තෙවරක් දක්වා අභීත නාදය නගයි. මෙසේ කෙසරුසලන බිමෙහි සිට හඬ නගන්නා වූ ඔහුගේ නාදය හාත්පස තුන්යොදුන් පෙදෙස එකනින්නාද කෙරෙයි. ඔහුගේ එම නින්නාදය අසා තුන්යොදුනක් ඇතුළත වූ දෙපා සිවුපා සත්ත්ව සමූහයා නිසිතැන්හි සිටීමට නොහැකි වෙයි. ගොවරය පක්කමති යනු අහර සඳහා යයි. කෙසේදයත්? හෙතෙම කෙසරු සලන බිමෙහි සිට දකුණු පසින් හෝ වම්පසින් උඩ පනින්නේ උසභයක් පමණ තැන් ගනියි. උඩු අතට පනින්නේ උසභ සතරක් ද අඩක් ද පනියි. සමතැනක කෙළින් පනින්නේ සොළොස් උසභයක් පමණද උසභ විස්සක් පමණද තැනකට පනියි. තලාවකින් හෝ පව්වකින් හෝ පනින්නේ උසභ සැටක් පමණ වූ ද උසභ අසූවක් පමණ වූ ද තැනකට පනියි. අතරතුර ගසක් හෝ පර්වතයක් හෝ දැක එය මග හරින්නේ වමින් හෝ දකුණෙන් හෝ උඩට හෝ උසභයක් පමණ ඉවත්ව යයි. තෙවැනි සිංහනාදය නගා ඒ හඬ සමගම තුන්යොදුන් තැනක හැඟෙයිද තුන් යොදුන ගොස් නැවතී සිටියේ තමාගේම හඬෙහි ප්රතිරාවය අසයි. මෙසේ සීඝ්‍ර ජවයකින් යයි.
යෙභුය්යෙන යනු බොහෝසෙයිනි. භයං සන්තාසං සංවෙගං යන සියල්ල සිත් තැතිගැන්මටම නම්ය, සිංහයාගේ හඬ අසා බොහෝ දෙනෙක් බියවෙති. සුළුදෙනෙක් බිය නොවෙති. ඔවුහු කවරහුද යත්? සමාන සිංහයා, ආජානීය හස්තියා, ආජානීය අශ්වයා, ආජානීය වෘෂභයා, ආජානීය පුරුෂයා හා ක්ෂීණාශ්රවයන් වහන්සේ යන අයයි. කුමක් හෙයින් ඔවුහු බිය නොවෙත්ද යත්? සමාන සිංහයා උපතින් ගෝත්රකුල ශුරභාවයන්ගෙන් සමාන වෙමැයි බිය නොවෙයි. ආජානීය හස්ති ආදීහු තමන්ගේ සත්කායදෘෂ්ටිය බලවත් බැවින් බිය නොවෙත්. ක්ෂීණාශ්රවයන් වහන්සේ සත්කාය දෘෂ්ටිය ප්‍රහීණ වූ බැවින් බිය නොවෙති.
බිලාසයා යනු බිලෙහි නිදන බිලෙහි වසන සප්, මුගටි, ගොයි ආදීහුයි. දකාසයා යනු දියෙහි වෙසෙන මාළු ඉබි ආදීහුයි. වනාසයා යනු වනෙහි වෙසෙන ඇත්, අස්, ගෝණ මුව ආදීහුයි. පචිසන්ති යනු දැන් අවුත් ගන්නේ යයි මග බලා පිවිසෙති. දළ්හෙහි යනු දැඩි වූවෙනි. වරනෙත්හි යනු සම් රැහැනිනි. මහිද්ධිකො යනාදියෙහි කෙසරු සලන බිමෙහි සිට දකුණු පස ආදියෙන් උසභයක් පමණ සෘජුව විසිඋසභයක් පමණ ආදිය ඉක්මවීම් වශයෙන් මහත් සෘද්ධි ඇති බවයි. සෙසු මෘගයන්ට අධිපති බවින් මහෙසාඛ්ය බවයි. හාත්පස තුන් යොදුනක් තන්හි ශබ්දය අසා පළායන්නවුන්ගේ වශයෙන් මහානුභාව බව දතයුතුය.
එවමෙව ඛො යනු භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සූත්‍රයන්හි ඒ ඒ අයුරින් තමන් පිළිබඳව කී සේක. “සීහොති ඛො භික්ඛවෙ තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මා සම්බුද්ධස්ස” යන මෙම සූත්‍රයෙහි තමන් සිංහයකු සමාන කොට වදාළ සේක. “භිසක්කො සල්ලකත්තොති ඛො සුනක්ඛත්ත තථාගතස්සෙතං අධිවචනං” මෙහි වෙදකු සමාන කොටද “බ්රාහ්මණොති ඛො භික්ඛවෙ තථාගතස්සෙතං අධිවචනං” යන මෙහි බ්‍රාහ්මණයකුට සමාන කොටද “පුරිසො මග්ගකුසලොති ඛො තිස්ස තථාගතස්සෙතං අධිවචනං” මෙහි මාර්ගදේශක පුරුෂයකුට සමාන කොටද, “රාජාහමස්මි සෙල” යන මෙහි රජකු සමාන කොටද මෙම සූත්‍රයෙහි දී සිංහයකු සමාන කොටද තමා ගැන කියන සේක් මෙසේ වදාළ සේක.