8. අරියවංස සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයට අත්තජ්ඣාසයික නික්ෂෙපයයි. (තමන්ගේ අදහස් පරිදි ඉදිරිපත් කිරීම). මේ මහා ආර්යවංස සූත්‍රාන්තය භාග්‍යවතුන් වහන්සේ දෙව්රම මහවෙහෙරෙහි ධම්සභාවෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන් සේක් තමන් වහන්සේගේත් අනෙක් පුද්ගලයන්ගේත් අදහස් වශයෙන් පිරිවරා හුන්නා වූ සතළිස් දහසක් භික්ෂූන් වහන්සේලා මහණෙනියි අමතා “චත්තාරො මෙ අරියවංසා” යනුවෙන් ඇරඹූ සේක. එහි අරියවංසා යනු ආර්‍ය්‍යයන්ගේ වංසයෝයි. යම්සේ ක්‍ෂත්‍රිය වංශය, බ්‍රාහ්මණ වංශය, වෛශ්‍ය වංශය, ශුද්‍ර වංශය, ශ්‍රමණ වංශය, කුල වංශය, රාජ වංශය වේ ද එසේ මේ අටවැන්න ආර්‍ය්‍ය වංශයයි. ආර්‍ය්‍ය පරපුර ආර්‍ය්‍ය ප්‍රවේණිය නම් වේ. මේ වංශය වනාහි මූලගන්ධාදියට කලු සඳුන් ආදිය මෙන් මෙම වංශයන්ට අග්‍ර යයි කියනු ලැබේ.
ඒ ආර්‍ය්‍යයෝ කවරහුද? මේ වංශයේ කවරකුගේද? බුදු පසේබුදු තථාගත ශ්‍රාවක යන මොවුහු ආර්‍ය්‍ය යයි කියනු ලැබෙති. මේ ආර්‍ය්‍යයන්ගේ වංශයෝනුයි ආර්‍ය්‍යවංශයෝ නමි. මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට මත්තෙහි තණ්හඞ්කරය, මේධංකරය, සරණංකරය, දීපංකරයැයි බුදුවරු සතරදෙනෙක් උපන්නාහ. උන්වහන්සේලා ආර්‍ය්‍යයෝය. ඒ ආර්‍ය්‍යයන්ගේ වංශයනුයි ආර්‍ය්‍ය වංශයෝ නම් වෙති. ඒ බුදුවරුන්ගේ පිරිනිවනෙන් පසු කාලයෙහි අසංඛ්‍යයක් ඉක්මවා කොණ්ඩඤ්ඤ නම් බුදු කෙනෙක් උපන්නාහ. - පෙ- මේ කල්පයෙහි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, අපගේ භාග්‍යවතුන් වහන්සේ වන ගෞතම යන සිවු බුදුවරු උපන්හ. ඒ ආර්‍ය්‍යයන්ගේ වංශයෝනුයි ආර්‍ය්‍ය වංශයෝ නම් වෙති. තවද අතීත වර්‍තමාන අනාගත කාලයට අයත් සම්මාසම්බුද්ධ පච්චෙකබුද්ධ බුද්ධශ්‍රාවක යන ආර්‍ය්‍යයන්ගේ වංශයෙනුයි ආර්‍ය්‍ය වංශයෝ නම් වෙත්.
ඒ මේ ආර්‍ය්‍ය වංශයෝ අග්ගඤඤා යනු අග්‍ර යයි දතයුත්තාහ. රත්තඤ්ඤා යනු බොහෝකාලයක් පැවතීයයි දතයුත්තාහ. වංසඤ්ඤා වංශයෝ යයි දතයුත්තාහ. පොරාණා යනු අලුත නූපන්නාහුය. අසංකිණ්ණා යනු නොගැවසුණු ඉවත්නොවූයි. අසංකිණ්ණපුබ්බා යනු අතීත බුදුවරුන්ගෙනුදු නොගැවසුණුවිරූය. මේ බුදුවරුන්ගෙනුදු වෙන්නොවූ විරූය. න සංකීයන්ති යනු දැනුදු ඉවත් නොවෙති. න සංකීයිස්සන්ති යනු අනාගත බුදුවරුන් විසිනුදු ඉවත් නොකරනු ලැබෙත්. ලෝකයෙහි යම් නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද ඔවුන් විසින් අප්පතිකුට්ඨා සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි යි නින්දා නොකරනු ලද්දාහ. නොගරහනු ලද්දාහුය.
සන්තුට්ඨො හොති යනු ප්‍රත්‍යයෙහි සතුටුවීම් වශයෙන් සතුටුවූයේ වෙයි. ඉතරීතරෙන යනු ස්ථුල, සූක්‍ෂම, රූක්ෂ, ප්‍රණීත, ස්ථිර, දිරාපත් යන දෙය අතුරෙන් යම්කිසිවකිනි. ඉක්බිති ලද දෙයින් යමිකිසි දෙයකින් සතුටු වූයේයි අර්‍ත්‍ථයි. සිවුරෙහි වනාහි යථාලාභ සන්තෝසය, යථාබල සන්තෝසය හා යථාසාරුප්ප සන්තෝස යයි සන්තෝස තුනෙකි. පිණ්ඩපාතාදියෙහිද මේ ක්‍රමයමැයි. මේවායේ විස්තර කථාව, “සන්තුට්ඨස්ස භික්ඛවේ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති” යන මේ සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන් දතයුතුය. මෙසේ මේ තුන් සන්තෝසයන් සඳහා “සන්තුට්ඨො හොති ඉතරිතරෙන චීවරෙන යථාලද්ධාදිසු කෙනචි චීවරෙන සන්තුට්ඨා හොති”යි කියන ලදි.
මෙහිද චීවරය දතයුතුය. චීවර ක්ෂේත්‍රය දතයුතුය. පංසුකූලය දතයුතුය. චීවර සන්තොසය දතයුතුය. චීවර ප්‍රතිසංයුක්ත වූ ධුතංගයෝ දතයුත්තාහ. සිවුර දතයුතුය යනු? කොමු ආදි සිවුරු සය ද දුහුල් ආදී අනුලොම් සිවුරු සය ද දතයුතුය. මේ දොළොස කැප සිවුරුය. කුසතණ සිවුර, වැහැරිසිවුර, පැතලි පුවරුවලින් කළ සිවුර, කෙසින් හෝ ලොමින් කළ කම්බිලිය, පොතුවලින් කළ සිවුර, සමින් කළ සිවුර, වකමුහුණු පියාපතින් කළ සිවුර, ගසින් කළ වස්ත්‍රය, වැලින් කළ වස්ත්‍රය, ඒරක නම් තණවලින් කළ වස්ත්‍රය, කෙසෙල් පට්ටාවලින් කළ වස්ත්‍රය, හුණ පට්ටාවලින් කළ වස්ත්‍රය, යන මේ ආදිය අකැප සිවුරුය.
වීවර ක්ෂේත්‍රය යනු සංඝයාගෙන් හෝ සමූහයාගෙන් හෝ ඥාතීන්ගෙන් හෝ මිත්‍රයන්ගෙන් හෝ තමාගේ ධනයෙන් හෝ පාංසුකූලය හෝ වශයෙන් මෙසේ උපදනා බැවින් ක්‍ෂේත්‍ර සය ද මාතෘකා වශයෙන් ක්‍ෂේත්‍ර අට ද දතයුත්තාහ.
පංසුකූලං යනු සොසානික, (සොහොන් බිමෙන් ලද) පාපණික (වෙළඳ සැලෙන් ලද), රථිය (මගින් ලද), සංකාරකූටකං (කුණුගොඩෙන් ලද), සොත්ථිය (රෝහලින් ලද), සිනාන (නහන තැනින් ලද), තිත්ථ (තොටුපලින් ලද), ගතපච්චාගතං (ගෙන ගොස් ආපසු ගෙනෙන ලද), අග්ගිදඩ්ඪ (ගින්නෙන් දැවුණු), ගොඛායිත (ගවයන් විසින් කන ලද), උපච්කාඛායිත (වේයන් කන ලද), උන්දූරඛායිත (මීයන් කන ලද), අන්තචිඡන්න (කෙළවර සිඳින ලද), දසච්ඡින්න (දහවලු සිඳින ලද), ධජාහට (යුද්ධයෙන් අල්වාගත්), ථූප (ස්ථූප වැසීමට ගත්), සමණචීවර (ශ්‍රමණයන් ගෙන් ලද), සාමුද්දික (මුහුදෙන් ලද), ආභිසෙකිය (අභිෂේකයෙන් ලද), පථික (මාවතෙන් ලද), වාතාහට (සුළගෙන් ගසාගෙන එන ලද), ඉද්ධිමය (ඍද්ධියෙන් ලද), දෙවදත්තිය (දෙවියන් විසින් දෙන ලද), යනුවෙන් තෙවිසි පංසුකූලය දතයුතුය. මෙහිද සොත්ථියං යනු ගැබ්මල ඉවතලන වස්ත්‍රයයි. ගතපච්චාගත යනු මළසිරුර පොරවා සොහොනට ගෙනගොස් රැ ගෙන ආ සිවුරයි. ධජාහට යනු ධජය නංවා එයින් රැගෙන ආ වස්ත්‍රයයි. ථූප යනු තුඹසට පිදූ සිවුරයි. සාමුද්දිය යනු මුහුද රළින් වෙරළට හෙලන ලද වස්ත්‍රයයි. පථික යනු මග යන්නවුන් විසින් සොරබියෙන් ගල්වලින් කොට, පොරවන ලද සිවුරයි, ඉද්ධිමය යනු එහි භික්ෂුභාවයෙන් ලද සිවුරයි. සෙස ප්‍රකට අරුත් ඇත්තේමය.