10. පරිබ්බාජක සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අභිඤ්ඤාතා යනු දන්නා ලද, මනාව දන්නා ලද ප්‍රකට වූවාහුයි. අන්නහාරො යනාදිය ඔවුන්ගේ නම්ය. පටිසල්ලාණාවුට්ඨිතො යනු පලසමවතින් නැඟීසිටියේයි. එයම මෙහි පටිසල්ලාණ යනුවෙන් අදහස් කරන ලදී. පච්චකාය යනු ප්‍රතික්‍ෂෙප කොටයි. අභිජ්ඣාලුං යනු තෘෂ්ණා සහිතවූයි. කාමෙසු තිබ්බසාරාංගං යනු වස්තු කාමයන්හි දැඩි රාගයයි. තමහං තත්‍ථ එවං වදෙය්‍යං යනු මම එය ඒ වචනයෙහි කීකල්හි මේ කාරණයෙහි මෙසේ කියන්නෙමි යනුයි. පටික්කොසිතබ්බං මඤ්ඤෙය්‍ය යනු දොස්නැගිය යුත්තකැයි මැඩලිය යුත්තකැයි හඟින්නේය. සහධම්මිකා යනු කරුණු සහිත වූවෝයි වාදානුපාතා යනු ධාර්මිකවාදයෙහි ගැටෙනු ලබන ආධාර්මිකවාදයෙන් පිරිහෙළන වාදප්‍රවෘත්තීනුය යන අර්ථයි. ගාරය්හා ඨානා යනු ගැරහිය යුතු වූ හේතුයි. ආගච්ඡන්ති යන එළඹෙති.
උක්කලා යන උක්කල ජනපදවාසීහුය. වස්සභඤ්ඤා යනු වස්ස හා භඤ්ඤ යන දෙදෙනායි. අහෙතුවාදා යනු සත්ත්වයන්ගේ පිරිසුදුබවට හේතු නැත ප්‍රත්‍යය නැතැයි මෙබඳු වූ වාද ඇත්තේයි. අකිරියවාදා යනු “කරොතො න කරීයති පාපං” යනුවෙන් මෙසේ ක්‍රියාව ප්‍රතික්ෂේප කරන වාද ඇත්තාහුයි. නත්‍ථිකවාදා යනු නත්‍ථිදින්නං යනාදී වාද ඇත්තාහුයි. ඔවුහු මේ ත්‍රිවිධ දර්‍ශනයන්හිම බැසගන්නා ලද නියාමයෝ වූහ. කෙසේ නම් ඔවුහු එම දර්‍ශනයන්හි නියාමයෝ වෙත්ද? යමෙක් වනාහි මෙබඳු වූ ලබ්ධියක් ගෙන රාත්‍රි ස්ථාන දිවා ස්ථානයන්හි හුන්නේ සජ්ඣායනය කරයි (උගනියි), විමසයිද හේතුවක් නැති ප්‍රත්‍යයක් නැත කරන්නහු විසින් පාපයක් නොකරනු ලැබේ. -පෙ- දුන්දෙයක් නැත. -පෙ- කය බිඳීමෙන් උච්ඡේදයට යෙයි යන ඒ අරමුණෙහි ඔහුගේ මිථ්‍යා සතිය පිහිටයි. සිත එකඟවෙයි. ජවනයෝ දුවත්. පළමු ජවනයෙහි පිළියම් කළ හැක්කේ වෙයි. දෙවැනි ජවනාදියෙහිද එසේමය. සත්වැන්නෙහිදී බුදුවරුනට ද සුවකළ නොහැකි වන්නේ පෙරළා නොඑන රළු කටුවක් වැනි වූයේ වෙයි. එහි කිසිවෙක් එක් දර්‍ශනයකට බැසගනියිද කිසිවෙක් දෙකකට ද තුනටම බැසගනියිද කිසිවෙක් දෙකකට ද තුනටම බැසගනියිද නියත මිථ්‍යාදෘෂ්ටිකයෙක්ම වෙයි. ස්වර්‍ගමාර්ග ආවරණයටද මොක්‍ෂ මාර්ග ආවරණයටද පත්වූයේ වෙයි. ඒ අත්බවින් අනතුරුව හෙතෙම ස්වර්‍ගයට යාමටද නුසුදුසුවෙයි. මොක්‍ෂයට යාම ගැන කියනුම කිම? සසරට කණුවක් නම් වූ මෙම සත්ත්වයා බොහෝසෙයින් පොළොව රකින්නෙකි. මෙබඳු වූ භවයෙන් නැගීසිටීමක් නැත. වස්ස භඤ්ඤ යන දෙදෙනා ද මෙබන්දෝ වූහ. නින්දාඛ්‍යාරොසනාඋපාරම්භභයා යනු තමන්ට නින්දා භයෙන්ද සම්මත භයෙන්ද දෝෂාරෝපන භයෙන්ද යන අර්‍ත්‍ථයි. අභිජ්ඣාවිනයෙ සික්ඛං යනු රහත්බව අභිජ්ඣාවිනය යයි කියනු ලැබේ. රහත්බවෙහි හික්මෙන්නේ අප්පමත්ත නමැයි කියනු ලැබේ. සූත්‍රාන්තයෙහි සසර හා නිවන කියා ගාථාවෙහි පලසමවත් කියන ලදි.
තුන්වැනි වූ උරුවෙල වර්‍ගයයි.
4. චක්ක වර්ගය
1. චක්ක සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්‍ගයෙහි පළමුවැනි සුත්‍රයෙහි චක්කානි යනු සම්පත්තීහුය. චතුචක්කං වත්තති යනු සතර සම්පත්ති චක්‍ර ඇත, පවතී, ගැටෙයි යනුම අර්‍ත්‍ථයි. පතිරූපදෙසවාසො යනු යම්තැනක සිවු පිරිස දක්නා ලැබේද එබඳුවූ සුදුසු දෙසෙක විසීමයි. සප්පුරිසුපස්සයො යනු බුද්ධාදී සත්පුරුෂයන්ගේ ඇසුරු කිරීමයි, සේවනය කිරීමයි. අත්තසම්මාපණිධි යනු තමා මනාව පිටුවීමයි. ඉදින් පෙර අශ්‍රද්ධාදියෙන් යුක්තවූයේ වෙයිද ඒවා අතහැර ශ්‍රද්ධාදීන්හි පිහිටුවීමයි. පුබ්බෙ ච කතපුඤ්ඤතා යනු පෙර රැස්කළ කුසල් ඇති බවයි. මෙහි මෙයම ප්‍රමාණවත්ය. යමකු විසින් ඥානසම්ප්‍රයුක්ත සිතකින් කුශල කර්‍මයක් කරන ලද්දේ වේද, ඒ කුශලයම එම පුද්ගලයා සුදුසු දෙසෙකට පමුණුවයි. සත්පුරුෂයන් ඇසුරු කරවයි. ඒ පුද්ගලයාම තමා මනාව පිහිටුවයි. පුඤ්ඤකතො යනු කරන ලද පින් ඇත්තේයි. සුඛඤ්වෙත්‍ථ අධිවත්තති යනු සැපය ද එම පුද්ගලයා වෙත පැමිණෙයි. පතුරුවා සිටියේ යන අර්‍ත්‍ථයයි.
2. සඞ්ගහවත්ථු සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සඞ්ගහවත්ථුති යනු සංග්‍රහ කරවන්නා වූ (සැලකුම් ඇති කරවන්නා වූ) කරුණුයි. දානඤ්ච යනාදියෙහි ඇතමෙක් දානයෙන්ම සැලකිය යුත්තේ වෙයි. ඔහුට දානයම දියයුතුය. පෙය්‍යවජ්ජං යනු ප්‍රිය වචනයයි. ඇතමෙක් වනාහි “මෙතෙම දියයුත්තනම් දෙයි. එක් එක් වචනයෙන් සියල්ල තවරා වනසයි මොහුගේ දානය කිමෙක්දැ”යි කියන්නේ වෙයි. ඇතමෙක් “මෙතෙම කිසිදු දානයක් නොදෙයි, කියන්නේ තෙලෙන් මෙන් තවරයි. මෙතෙම දේවා හෝ නොදේවා මොහුගේ වචනයම දහසක් අගීය”යි කියන්නේ වෙයි. මෙබඳු වූ පුද්ගලයා දානය නොකැමති වෙයි. ප්‍රියවචනම කැමති වෙයි. ඔහුට ප්‍රියවචනයම කිවයුතුය. අත්‍ථචරියා යනු යහපත (වැඩ) වඩවන කථාවයි. ඇතමෙක් වනාහි දානය ද ප්‍රිය වචනය ද කැමති නොවෙයි. තමන්ට හිතවැඩ සලසන කථාවම කැමති වෙයි. මෙබඳු වූ පුද්ගලයාට මෙය ඔබ විසින් කළයුතුය මෙය නොකළයුතුය මෙබඳු පුද්ගලයා ඇසුරු කළ යුතු ය. මෙබඳු පුද්ගලයා නොසෙවිය යුතුයයි මෙසේ හිතවැඩ සලසන කථාවම කිවයුතුය. සමානත්තතා යනු සමවු සුවදුක් ඇති බවයි. ඇතමෙක් වනාහි දානාදිය අතුරෙන් එකක්වත් කැමති නොවෙයි. ඒකාසනයෙහි හිඳීම, එක් පළඟක නිදීම, තනිව බොජුන් ගැනීම යයි මෙසේ සමාන සුවදුක් ඇතිබවම කැමතිවෙයි. හෙතෙම ඉදින් ජාතියෙන් (උපතින්) ගිහියකුට ශීලයෙන් පැවිද්දෙකුට සමාන වෙයිද, ඔහුට මෙම සමානත්තතාව කළයුතුය. තත්‍ථ තත්‍ථ යථාරහං යනු ඒ ඒ ධර්‍මයන්හි කැමැති පරිද්දෙන් සමානාත්මතාවය යන අර්‍ත්‍ථයයි. රථස්සාණීව යායතො යනු යම්සේ යන්නාවූ රියට කඩ ඇණය සඞ්ග්‍රහයක් වේද රියට උපකාරවත් වේද එසේ මෙම සංග්‍රහයෝ ලෝකයට උපකාර වෙත්. න මාතා පුත්තකාරණා යනු ඉදින් මව මෙම සංග්‍රහයන් පුතුට නොකරයි ද පුතු කරණ කොටගෙන බුහුමනක් හෝ පිදීමක් නොලබන්නේය. සඞ්ගහා එතෙ යනු එක්කිරීම් (උපයොග) අර්‍ත්‍ථයෙන් කර්‍මවිභක්ති වචනයි. සඞ්ගහෙ එතෙ යනුද පාඨයි. සමවෙක්ඛන්ති යනු මනාව බලත්, පාසංසා ච භවන්ති යනු පැසසිය යුතුද වෙත්.