10. භත්තුද්දෙසක සූත්ර වර්ණනාව
දසවැන්නෙහි භත්තුද්දෙසකො යනු ලහබත් ආදිය උදෙසන්නායි. කාමෙසු අසංයතා යනු වස්තුකාම ක්ලේශ කාමයන්හි අසංවර වූවෝයි, පරිසක්කසාවො ච පනෙස වුච්චති යන මෙය ද මෙබඳු වූ යම් පිරිසක් වේ ද එය පිරිස් කසල නමැයි කියනු ලැබේය යන අර්ත්ථයයි. සමණෙන යනු බුද්ධ ශ්රමණයා විසිනි, පරිසාය මණ්ඩො පනෙස වුච්චති යන මෙය මෙබඳු වූ පිරිස පසන් බැවින් පරිසමණ්ඩ යයි කියනු ලැබේ.
දෙවැනි වූ චර වර්ගයයි.
3. උරුවෙල වර්ගය
1. ප්රථම උරුවෙල සූත්ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි උරුවෙලායං යන මෙහි උරුවෙලා යනු මහාතලයයි, මහවැලි ගොඩය යන අර්ථයයි, නැතහොත් උරු යනු වැලි යයි කියනු ලැබේ. වෙලා යනු සීමාවයි, ඉවුර ඉක්මවා යන හේතුවෙන් ගෙනෙන ලද වැලි උරුවෙලායි මෙසේ මෙහි අර්ථය දැක්විය යුතුය, අතීතයෙහි බුදුන් නූපන් කල්හි කුලපුත්රයෝ දසදහසක් තවුස් පැවිද්දෙන් පැවිදිව ඒ පෙදෙසෙහි වසන්නාහු එක් දවසක රැස්වී කතිකාවතක් කළාහුය, කායකර්ම, වාක්කර්මයෝ නම් අන්යයන්ට ද ප්රකට වෙත්. මනෝ කර්මය වනාහි අප්රකටය. එබැවින් යමෙක් කාම විතර්කයක් හෝ ව්යාපාද විතර්කයක් හෝ විහිදා, විතර්කයක් හෝ විතර්කනය කරයි ද හෙතෙම එහි පාත්ර ගොටුවෙන් වැලි ගෙනවුත් විසුරුවයි. මෙසේ එහි පිළිවෙලින් මහවැලි ගොඩක් වූයේය. ඉක්බිති පැසුළු ජනතාව එය වටකොට චෛත්ය ස්ථානයක් කළේය. ඒ උදෙසා උරුවෙලා යයි කියන ලදි. මහාතලය, මහවැලි ගොඩය යන අර්ථයයි. ඒ සඳහාම කියන ලදි. නැතහොත් වැලි උරු යයි කියනු ලැබේ. වෙලා යනු සීමාවයි. සීමාව (වෙරළ) ඉක්මවා යන හේතුවෙන් ගෙනෙන ලද වැලි උරුවෙලායි මෙසේ මෙහි අර්ත්ථය දැක්විය යුතුය.
නජ්ජා නෙරඤ්ජරාය තීරෙ යනු උරුවෙලාගම ඇසුරුකොට නෙරඤ්ජරා නදී තෙර වසමියි දක්වයි. අජපාලනිග්රොධෙ යනු එළුපල්ලෝ නුග ගසේ සෙවනැල්ලෙහි හිඳිති, සිටිති. එබැවින් ඒ ගස අජපාල නිග්රෝධ යයි ප්රසිද්ධියට ගියේය. එහි යටය යන අර්ථයයි. පඨමාභිසම්බුද්ධො යනු සම්බුදු වී පළමුවමයි, උදපාදි යනු මේ විතර්කය පස්වැනි සතියෙහි හටගත්තේය, කෙසේ හටගත්තේද යත්? සම්බුදුවරුනට පුරුදුබැවින් මෙන්ම පෙර පුහුණුව ඇති බැවින් ද වේ. එහි පෙර පුහුණුව ප්රකටවීම සඳහා තිත්තිර ජාතකය ගෙනහැර දැක්විය යුතුය. ඇත්, වඳුරු, වටු යන තිදෙනෙක් එක් පෙදෙසක වසන්නාහු යමෙක් අප අතරින් මහළු ද ඔහු කෙරෙහි ගෞරව සහිතව වසන්නෙමු යයි නිග්රොධ ගස දක්වා කවරෙක් නම් අපගෙන් මහළුදැයි විමසන්නාහු වටුවාගේ මහළුබව දැන ඔහුට වැඩිමහළු සැලකිලි කොට ඔවුනොවුන් සමඟිව සතුටින් වැස ස්වර්ගගාමී වූහ. ඒ කරුණු දැන ගසට අධිගෘහිත දේවතාවා මේ ගාථාව පැවසීය.