8. වෙසාරජ්ජ සූත්ර වර්ණනාව
අටවැන්නෙහි වෙසාරජ්ජානි යනු තැතිගැන්මට ප්රතිපක්ෂ වූ විශාරද බවයි. සිවුතැනක තැතිගැන්මක් නොමැතිබව සිහිකරන්නහුට උපන් සොම්නස් සහගත ඤාණයට මෙය නමෙකි. ආසභං ඨානං යනු ශ්රේෂ්ඨ ස්ථානයයි, උත්තම ස්ථානයයි. නැතහොත් පෙර බුදුවරු ආසභ නම් වෙත්. උන්වහන්සේලාගේ තැන යන අර්ථයයි. තවද ගවයන් සියයකට ජ්යෙෂ්ඨ වූයේ උසභ නම් වෙයි. ගවයන් දහසකට දෙටුවූයේ වසභය. ගාල් සියයකට දෙටුවූයේ හෝ උසභය. ගාල් දහසකට දෙටුවූයේ වසභය. සියලු ගවයන්ට ශ්රේෂ්ඨ වූ සියලු වෙහෙස දරන, සුදුවූ පැහැදීම ඇතිකරන මහත් බර උසුලන, හෙණ සියයක ශබ්දයෙනුදු නොසැලෙන්නේ නිසභ නම් වෙයි. හෙතෙම මෙහි උසභ යැයි අදහස් කරන ලදි. මෙයද ඔහුට පර්යාය වචනයකි. මෙය වෘෂභයාගේනුයි ආසභ නම් වෙයි. ඨානං යනු පා සතරින් පොළොව මැඬගෙන තහවුරුව සිටීමයි. මෙය වනාහි ආසභයකු මෙනැයි ආසභ නමි. යම්සේ නම් නිසභ සංඛ්යාත වූ වෘෂහ තෙමේ පා සතරින් පොළොව මැඬගෙන නොසෙල්වෙන තැනින් සිටියි. එසේම තථාගතයන් වහන්සේ ද විශාරද බව නමැති පා සතරින් අටපිරිස් පොළොව මැඬ දෙවියන් සහිත ලොවෙහි කිසියම් විරුද්ධවාදී පසමිතුරකුගෙන් නොසැලෙන සේක් නොසැලෙන තැනින් තිට්ඨති යනු මෙසේ සිටින සේක් ඒ ශ්රේෂ්ඨ ස්ථානය පිළිගනිති. එළඹෙති. ප්රතික්ෂේප නොකරත්. තමන් කෙරෙහි නංවා තබති. එබැවින් ආසහං ඨානං පටිජානාති’යි කියන ලදි.
පරිසාසු යනු අටවැදෑරුම් පිරිසෙහිය. සීහනාදං යනු ශ්රේෂ්ඨ නාදය අභීත නාදය හඬ නගයි. සිංහ නාදයට සමාන වූ හෝ නාදය නංවයි. මේ අර්ථය සීහනාද සූත්රයෙන් දැක්විය යුතුය. යම්සේ සිංහයා ඉවසන බැවින් ද වනසන නිසා ද සිංහයායි කියනු ලැබේද, එසේ තථාගතයන් වහන්සේ ලෝක ධර්මයන් ඉවසන බැවින් ද පරවාදයන් මඬින නිසා ද සිංහ යයි කියනු ලැබේ. මෙසේ කියන ලද සිංහයාගේ නාදය සිංහ නාදයයි. එහි යම්සේ නම් සිංහයා සිංහ බලයෙන් යුක්ත වූයේ හැම තන්හි විශාරද වූයේ පහවූ ලොමු දැහැගැනීම් ඇත්තේ සිංහ නාදය නාද කරයිද මෙසේ තථාගත නමැති සිංහයා ද තථාගත බලයෙන් යුක්ත වූයේ අටපිරිසෙහි විශාරද වූයේ පහවූ ලොමු දැහැගැනීම් ඇත්තේ මෙය රූපයය යනාදී ක්රමයෙන් නොයෙක් දේශනා විලාසයන්ගෙන් යුත් සිංහ හඬ නගයි. එබැවින් පරිසාසු සීහනාදං නදති යි කියන ලදි.
බ්රහ්මචක්කං පවත්තෙති යන මෙහි බ්රහ්මං යනු ශ්රේෂ්ඨ වූ උත්තම වූ පිරිසුදුවූයි. මේ චක්ක ශබ්දය :
සැපතෙහි, ලකුණෙහි, රිය අඟෙහි, ඉරියව්වෙහි, දීමෙහි, රුවන් දහම් උරසක් ආදියෙහි ද දක්නා ලැබේ. මෙහි ධර්මචක්රයෙහි දන්නා ලදි. එයද දෙපරිද්දෙකින් ප්රකට වන්නේය.
“චත්තාරිමානි භික්ඛවෙ චක්කානි යෙහි සමන්නාගතානං දෙවමනුස්සානං” යනාදියෙහි මේ චක්ක ශබ්දය දක්නා ලැබේ. “පාදතලෙසු චක්කානි ජාතානි” යන මෙහි ලකුණෙහිය. “චක්කංව වහතො පදං” යන මෙහි රිය අඟෙහිය. “චතුචක්කං නවද්වාරං” යන මෙහි ඉරියව්වෙහිය. “දද භුඤ්ජ ච මා ච පමාදො චක්කං වත්තය සබ්බපාණිනං” යන මෙහි දීමෙහිය. “දිබ්බං චක්කරතනං පාතුරහොසි” යන මෙහි රුවන් සකෙහිය. “මයා පවත්තිතං චක්කං” යන මෙහි දහම් සකෙහිය. “ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං හමති මත්ථකෙ” යන මෙහි උරසකෙහිය. “ඛුරපරියන්තෙන චෙපි චක්කෙන” යන මෙහි පහරදීමේ සකෙහිය. “අසනිචක්කං” යන මෙහි හෙණ මඬුල්ලෙහිය. මෙහි වනාහි දහම් සකෙහි දන්නා ලදි.
එම ධර්ම චක්රය වනාහි පටිවෙධ ඤාණය හා දෙසනා ඤාණය යනුවෙන් දෙවැදෑරුම් වෙයි. එහි ප්රඥාවෙන් ප්රභාවිත වූ තමන්ට ආර්යඵල ගෙන දෙන්නා වූ ඥානය පටිවෙධ ඥානයයි. කරුණාවෙන් ප්රභාවිත වූ ශ්රාවකයන්ට ආර්යඵල ගෙන දෙන්නා වූ ඥානය දෙසනා ඤාණයයි. එහි ප්රතිවෙධ ඥානය උපදිනු ලබන හා උපන් යනුවෙන් දෙපරිදිය. අබිනිෂ්ක්රමණයෙහි සිට අරහත් මාර්ගය දක්වා උපදිනු ලබන නමි. ඵලක්ෂණයෙහි උපන්නමි. තුසිත භවනයෙහි සිට මහබෝ පලඟෙහි අරහත් මග දක්වා හෝ උපදිනු ලබන නමි. ඵලක්ෂණයෙහි උපන්නමි. දීපඞ්කර බුදු පාමුලෙහි සිට අරහත් මග දක්වා හෝ උපදිනු ලබන නමි. ඵලක්ෂණයෙහි උපන්නමි. දෙසනා ඥානය ද පවත්වනු ලබන හා පවත්වන ලදැයි දෙපරිදිය. එයද අඤ්ඤාකොණ්ඩඤ්ඤගේ සෝවාන් මග දක්වා පවත්වනු ලබන දේශනා ඥානයයි. ඵලක්ෂණයෙහි පවත්වන ලද දේශනා ඥානයයි. ඒ අතුරෙහි ප්රතිවේධ ඥානය ලෝකෝත්තරය. දේශනා ඥානය ලෞකිකකය. මේ දෙකම වනාහි අන්යයන් විසින් අසාධාරණ වූයේ බුදුවරුන් වහන්සේලාගේම ඖරෂ ඥානයයි.
සම්මා සම්බුද්ධස්ස තෙ පටිජානතො යනු මම සම්මා සම්බුදු වෙමි. මා විසින් සියලු ධර්මයෝ අවබෝධ කරන ලදහයි මෙසේ පිළිගන්නහුට මෙනම් ධර්මයෝ ඔබට අවබෝධ නොවූහ. ඔබ විසින් අවබෝධ නොකරන ලදහ යනුයි. තත්රවත යනු අවබෝධ නොකරන ලදැයි මෙසේ දක්වන ලද ඒ ධර්මයන් අතුරෙහිය. සහධම්මෙන යනු හේතු සහිත කරුණු සහිත වචනයෙනි. නිමිත්තමෙතං යන මෙහි පුද්ගලයා ද ධර්මය ද නිමිත්ත යයි අදහස් කරන ලදි. යමෙක් මට චෝදනා කරයිද එබඳු පුද්ගලයකු නොදකිමි. යම් ධර්මයක් දක්වා මෙනම් ධර්මය ඔබ විසින් අවබෝධ නොකරන ලදැයි මට චෝදනා නඟන්නේ ද එබඳු ධර්මයක් නොදකිමි යන මෙය මෙහි අර්ථයයි. ඛෙමප්පත්තො යනු නිර්භය බවට පැමිණියේයි. සෙසු පද දෙක මෙහිම පර්යාය වචනයි. මේ සියල්ලම වෙසාරජ්ජ ඤාණයම උදෙසා කියන ලදි. මෙනම් ධර්මයක් ඔබ විසින් අවබෝධ නොකරන ලදැයි චෝදනා කරන පුද්ගලයකු හෝ චෝදනාවට කාරණයක් හෝ අවබෝධ නොකරන ලද ධර්මයක් හෝ නොදකින්නා වූ, ස්වභාවයෙන් බුදුවරයෙක් වෙමින්ම මම බුදුවෙමැයි කියමියි මෙනෙහි කරන දශබලයන් වහන්සේට බලවත් වූ සොම්නසක් උපදියි. එයින් යුක්ත වූ ඤාණය වෙසාරජ්ජ නමි. එය සඳහා ක්ෂේමයට පැමිණියේය යනාදිය කීහ. මෙසේ සියලු තැන අර්ථය දතයුතුය.