9. තෘෂ්ණා සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි මේවායෙහි උපදීනුයි උප්පාදායි. කවරක් උපදී ද? තෘෂ්ණාවයි. තණ්හාවෙන් ඉපදීම තණහුප්පාදායි. තෘෂ්ණාවට වස්තු තෘෂ්ණාවට හේතු යන අර්‍ත්‍ථයයි. චීවරහෙතු යනු කොයින් කැමති සිවුරක් ලබන්නෙම්දැයි වචීවරය හේතුකොටගෙන (තෘෂ්ණාව) උපදියි. ඉතිභවාභව හෙතු යන මෙහි ඉති යනු නිදර්‍ශනයෙහි නිපාතයෙකි. යම්සේ චීවරාදි හේතු වේ ද එසේ භවාභව හේතුය යන අර්ථයයි. මෙහි භවාභවො යන්නෙන් ඉතා රසවත් ගිතෙල් වෙඬරු ආදිය අදහස් කරන ලදි. සම්පත්ති භවයන්හි පණීතතර පණීතතමහාවය යනුවෙන් ද කියත්මය.
තණ්හාදුතියො යනු මේ සත්ත්වයා වනාහි නොදත් අග් ඇති සංසාර වෘත්තයෙහි හැසිරෙන්නේ හුදෙකලාවම නොහැසිරෙයි. තෘෂ්ණා (නමැති) දුතීයිකාව (දෙවැන්නිය) ලබාම හැසිරෙයි. එබැවින් තණ්හාදුතියොයි කියන ලදි. ඉත්ථභාවඤ්ඤථාභාවං යන මෙහි ඉත්ථභාවො යනු මේ ආත්මභාවයයි. අඤ්ඤථාභාව යනු අනාගත ආත්මභාවයයි. මෙබඳුවූ හෝ වෙනත් ආත්මභාවයක් ද ඉත්ථභාව නම්වෙයි. මෙබඳු නොවූයේ අඤ්ඤථාභාව නමි. එය ඉත්ථභාවඤ්ඤථාභාවයයි. සංසාරං යනු ඛන්ධධාතු ආයතන පිළිවෙලයි. නාතිවත්තති යනු නොඉක්මවයි. එවමාදීනවං ඤත්වා යනු මෙසේ අතීත, අනාගත, වර්‍තමාන පඤ්චස්කන්ධයන්හි ආදීනව දැනගෙනයි. තණ්හාදුක්ඛස්ස සම්භවං යනු තෘෂ්ණාව ද මෙම සංසාර දුකට හටගැනීමකි. ප්‍රභවයකි. කාරණයකැයි මෙසේ දැනෙයි. මෙපමණකින් මේ භික්ෂුවගේ විදර්‍ශනාව වඩා රහත්බවට පැමිණිබව දක්වන ලද්දේය. දැන් ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ පවසමින් වීතතණ්හො යනාදිය කීහ. එහි අනාදානො යනු නොගැනීමයි. සතො භික්ඛු පරිබ්බජෙ යනු සිහියෙහි හා නුවණෙහි විපුලබවට පත් රහතන් වහන්සේ සිහි ඇත්තේව නුවණැත්තේව හැසිරෙන්නේය, වසන්නේය යන අර්ථයයි. මෙසේ සූත්‍රාන්තයෙහි සසර (ගැන) කියා ගාථාවල සසර හා නිවන (ගැන) කියන ලදි.
10. යොග සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි සසරෙහි යොදවත්නුයි යොගා නමි. කාමයොගො යනාදියෙහි පඤ්චකාම ගුණයන්ට අයත් රාගය කාමයොගයයි. රූපාරූප භවයන්හි ඡන්දරාගය භවයොගො නමි. එසේ ධ්‍යානයන්හි ඇලුම් කරන ශාස්වත දෘෂ්ටි සහගත වූ රාගය ද දෙසැටක් දෘෂ්ටීහු ද දිට්ඨියොගො නමි. සිවුසස්හි නොදැනීම අවිජ්ජාමයොගො නමි. කාමයන්හි හෝ යොදයිනුයි කාමයොගොයි. හවයන්හි යොදයිනුයි භවයොගොයි. දෘෂ්ටීන්හි යොදයිනුයි දිට්ඨියොගොයි. අවිද්‍යාවෙහි යොදයිනුයි අවිජ්ජායොගො නමි. මෙය ඉහත කියන ලද ධර්‍මයන්ට පර්යාය වචනයකි.
දැන් ඒවා විස්තර කොට දක්වන සේක් “කතමා ච භික්ඛවෙ” ආදිය කීහ. එහි සමුදයං යනු උපතයි. අත්ථගමං යනු භේදය (විනාශය) යි, අස්සාදං යනු මිහිරිබවයි. ආදීනවං යනු අමිහිරි බවයි. දොෂයයි. නිස්සරණං යනු අත්හළ බවයි. කාමෙසු යනු වස්තුකාමයන්හිය, කාමරාගො යනු කාමයන් අරබයා උපන් රාගයයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි. අනුසෙති යනු හටගැනීමයි. අයං වුච්චති භික්ඛවෙ කාමයොගො යනු මහණෙනි, මෙය කාමයන්හි යෙදවීමේ කාරණය බැඳීමේ කාරණය කියනු ලැබේයයි මෙසේ සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුයි.
ඵස්සායතනානං යනු චක්ඛු ආදීන්ගේ ඇස ගැටීම් ආදී කාරණයයි. අවිජ්ජා අඤ්ඤාණං යනු ඤාණයට ප්‍රතිපක්ෂ බවෙන් අඥාන සංඛ්‍යාත වූ අවිද්‍යාවයි. ඉතිකාමයොගො යන මෙහි ඉතිශබ්දය යොගසතර සමඟම යෙදිය යුතුය. කාමයොගය මෙසේය, භවයොගය මෙසේය යනුවෙනි. සංයුත්තො යනු පිරිවරන ලදුයේයි. පාපකෙහි යනු ලාමක වූ දෙයිනි. අකුසලෙහි යනු අදක්ෂ බවින් හටගත් දෙයිනි, සංකිලෙසෙහි යනු කිළිටි කරන දෙයිනි, පහන් සිතේ පහන්බව කෙලෙසන දෙයිනි යන අර්ථයයි. පොනොභවිකෙහි යනු පුනර්භවය නිපදවන්නා වූ දෙයිනි, සදරෙහි යනු සිත්තැවුල්වලිනි, දුක්ඛවිපාකෙහි යනු විපාක කාලයෙහි දුක් උපදවන්නා වූ දෙයිනි, ආයති ජාතිජරාමරණෙහි යනු අනාගතයෙහි යළියළිත් ජාතිජරාමරණ උපදවන්නා වූ දෙයිනි, තස්මා අයොගක්ඛෙමිති වුච්චති යනු යම්හෙයකින් ප්‍රහීන නොවූ යොග ඇති පුද්ගල තෙමේ මේ ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයිද එහෙයින් සතර යෝගයන්ගෙන් ක්ෂේම වූ නිර්‍වාණය අවබෝධ නොකළ බැවින් න යොගක්ඛෙමී යයි කියනු ලැබේ.
විසංයොගො යනු වෙන්කරන්නා වූ කරුණුයි. කාමයොග විසංයොගො යනු කාමයොගයෙන් වෙන්කිරීමේ කරුණයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි. එහි අසුභ ධ්‍යානය කාමයොග විසංයොගයයි. එය පාදකකොට එළඹි අනාගාමි මාර්ගය එකාන්තයෙන්ම කාමයොගවිසංයොග නමි. අරහත් මාර්ගය භවයොග විසංයොග නමි. සෝවාන්මග දිට්ඨියොග නවිසංයොග නමි, අරහත් මග අවිජ්ජායෝග විසංයොග නමි. දැන් ඒවා විස්තර කොට දක්වමින් “කතමො ච භික්ඛවේ” යනාදිය කීහ. එහි අර්ථය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.