3. 2. 2. 1
දෙවෙනිවර්ගයෙහි පළමුසූත්‍රයෙහි අපායට යන්නෝනුයි ආපායිකා නමි. නිරයට යන්නෝනුයි නෙරයිකා නමි. ඉදම්ප්පහාය යනු මේ බ්‍රහ්මචාරිපටිඤ්ඤතා ආදී පාපධර්ම තුන අත්නොහැරයි. බ්‍රහ්මචාරිපටිඤේඤා යනු බ්‍රහ්මචාරි ප්‍රතිරූපකයායි (බ්‍රහ්මචාරියෙකු මෙන් පෙනී සිටින්නායි). ඔවුන්ගේ ආකල්පය අත්නොහැරීමෙන් හෝ මමද බ්‍රහ්මචාරියෙක්මියි මෙසේ ප්‍රතිඥා දෙන්නේයි. අනුද්ධංසෙති යනු ආක්‍රොශ කරයි. පරිභව කරයි. චෝදනා කරයි. නත්‍ථි කාමෙසු දොසො යනු කේලශ කාමයෙන් වස්තුකාමයෙහි හැසිරෙන්නාට දොසක් නැත. පාතව්‍යතං යනු පානය කළයුතුබවට, පරිභෝග කළයුතුබවටයි. සැක නැති සිතින් පිපාසිතයාට දියබීම සමානවූ, පරිභොග කළයුතුබවටයි. මෙම සූත්‍රයෙහි වට්ටය (සසර)ම කියනලදී.
3. 3. 2. 2
දෙවැන්නෙහි කතඤඤූ කතවෙදී යනු මොහුවිසින් මට (උපකාර) කරනලදැයි ඔහු විසින් කරනලද කර්මය දැන, දැනගැනීමට සලස්වා පැහැදිලි කොට ප්‍රතිඋපකාර කරන පුද්ගලයායි.
3. 3. 2. 3
තෙවැන්නෙහි සුවසේ පමණ කළයුත්තෙකිසි සුප්පමෙය්‍යො නමි. දුකසේ පමණ කළයුත්තෙකිසි දුප්පමෙය්‍යො නමි. පමණ කළ නොහැකැයි අප්පමෙය්‍යො නමි. උන්නලො යනු උඩඟුවුයේයි. හිස්මානය ඔසවා සිටියේයි අර්ථයි. චපලො යනු පාත්‍ර සැරසීම් ආදී චපලබවින් යුක්තවූයේයි. මුඛරො යනු කටහැකර වූයේයි. විකිණ්ණවාචො යනු නොහික්මුණු වචන ඇත්තේයි. අසමාභිතො යනු සිතේ එකඟතාවෙන් තොරවූයි. විබ්භන්තචිතේතා යනු සැලෙන සිතැත්තේයි. කම්පිතවූ දෙනකට, කම්පිතවූ මෘගයකට සමනාවූයේයි. පාකතින්‍ද්‍රයො යනු විවෘතවූ ඉන්‍ද්‍රිය ඇත්තේයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
3. 3. 2. 4
සිවුවැන්නෙහි, තදස්සාදෙති යනු ඒ ධ්‍යානය ආස්වාද කරයි. තං නිකාමෙති යනු එයම පතයි. තෙන ච විත්තං ආපජ්ජති යනු ඒ ධ්‍යානයෙන් සතුටට පැමිණෙයි. තත්‍රට්ඨිතො යනු එම ධ්‍යානයෙහි සිටියේයි. තදධිමුතේතා යනු එහිම ඇලුනේයි. තබ්බහුලවිහාරී යනු එයින් බහුලව වසන්නේයි. සභව්‍යතං උප්පජ්ජති යනු සමානභාවයෙහි උපදියි. ඒ දෙව්ලොව උපදියි යන අර්ථයි. නිරයම්පි ගච්චති යනාදිය නිරයාදියෙන් නොමිඳුණු හෙයින් වෙනත් පරියායයක් වශයෙන් එහි (නිරයට) යාම සඳහා කියනලදී. යම්හෙයකින් අනතුරුව අපායෙහි උපදින්නේ නම් ඔහුට උපචාරධ්‍යානයට වඩා බලවත් අකුශලයක් නැත. භගවතො පන සාවකො යනු සෝවාන් සකෘදාගමී අනාගාමී යනු මොවුන් අතුරෙන් කෙනෙකි. තස්මිංයෙව භවෙ යනු ඒ අරූපභවයෙහිමය. පරිනිබ්බායති යනු අප්‍රත්‍යය පරිනිර්වාණයෙන් පිරිනිවන්පායි. අධිප්පායසො යනු අධික ප්‍රයෝගයයි. මෙහි සෙස්ස කියනලද ක්‍රමයෙනම් දතයුතුය. මේ සූත්‍රයෙහි පෘතග්ජනයාගේ උත්පත්ති ධ්‍යානය කියනලදී. ආර්යශ්‍රාවකයාගේ එම උත්පත්තිධ්‍යානයද විදර්‍ශනාපාදක ධ්‍යානයද කියනලදී.
3. 3. 2. 5
පස්වැන්නෙහි සීලවිපත්ති යනු ශීලය විපතටපත් (බිඳුණු) ආකාරයයි. සෙසු පද දෙකෙහිද එම ක්‍රමයමය. නත්‍ථි දිනනං යනු දෙනලද දෙයෙහි පලයක් නොමැති බව සඳහා කියයි. මහායාගය යිට්ඨං යි කියලුලැබේ. හුතං යන්නෙන් තුටුපඬුර අදහස්කරනලදී. ඒ දෙකද පලනැතිබවම නිසා ප්‍රතික්‍ෂෙප කරයි. සුකටදුක්කටානං යනු සුකාතදුෂ්කෘතයන්ගේයි. කුශලාකුශලයන්ගේ යනාර්ථයි. ඵලංවිපාකො යනු යමක් ඵලයයි හෝ විපාකයයි හෝ කියනුලැබේද එය නැතැයි කියයි. නත්‍ථි අවං ලොකො යනු පරලොව සිටියහුට මෙලොව නැත. නත්‍ථි පරො ලොකො යනු මෙලොව සිටියහුටද පරලොව නැත. සියල්ල ඒ ඒ තන්හිම විනාශවේයයි දක්වයි. නත්‍ථි මාතා නත්‍ථි පිතා යනු ඔවුන් කෙරෙහි (පවත්වන) මනාපිළිවෙත් හා නොමනා පිළිවෙත්වල පලයක් නැතිවීම වශයෙන් කියයි. නතථි සත්තා ඔපපාතිකා යනු චුතවී උපදින සත්වයෝ නැතැයි කියයි. සම්පදා යනු සපිරීමයි. සීලසම්පදා යනු සීලයේ පිරිපුන් අවිකලබවයි. සෙසුපද දෙකෙහිද මේ ක්‍රමයමයි. අත්‍ථිදින්නං යනාදිය කියනලද්දට විරුද්ධ ක්‍රමයෙන් දතයුතුය.