3. 2. 4. 7
සත්වැන්නෙහි කොලංකොලො යනු කුලයෙන් කුලයට යන තැනැත්තේයි. මෙහි කුල යන්නෙන් භවය අදහස්කරනු ලැබේ. එහෙයින් කුල දෙකක් හෝ තුනක් යන මෙහිද භව දෙකක හෝ තුනකැයි අර්ථය දතයුතුය. මෙතෙම වනාහි භව දෙකක හෝ හැසිරෙයි. තුනක හෝ උඩත් පිරිසෙයින් සයෙක හෝ හැසිරෙයි. මෙසේ මෙහි විකල්පය දතයුතුය. එකබීජි යනු එකම භවයක බීජය මොහුට ඇත්තේනුයි එකබීජි නමි. උද්ධං සොතො යනාදියෙහි උද්ධංසොත අකන්ට්ඨගාමියෙක් ඇත. උද්ධංසොත න අකනිට්ඨගාමියෙක් ඇත. එහි යමෙක් මෙහි අනාගාමිඵලයට පැමිණ අවිහ ආදියෙහි උපන්නේ එහි දිවි ඇති තෙක් සිට මතුමත්තෙහි ඉපිද අකනිටාවට පැමිණෙයි. මෙතෙම උද්ධංසොත අකනිට්ඨාගාමි නමි. යමෙක් අවිහ ආදියෙහි උපන්නේ එහි දිවි ඇති තෙක් සිට මතුමත්තෙහි ඉපිද අකනිටාවට පැමිණෙයි. මෙතෙම උද්ධංසොත අකනිට්ඨගාමි නමි. යමෙක් අවිහ ආදියෙහි උපන්නේ එහිම පිරිනවන් නොපා අකනිටාවටද නොපැමිණ මතු මත්තෙහිවූ බඹලොවක පිරිනිවන් පායි. මෙතෙමේ උදධංසොත න අකනිට්ඨගාමි නමි. යමෙක් මෙයින් සැව අකනිටාවෙහිම උපදියිද මෙතෙම න උද්ධංසොත අකනිට්ඨගාමි නමි. යමෙක් වනාහි අවිහාදී සතරින් එකෙක ඉපදී එහිම පිරිනිවන් පායිද මෙතෙම න උද්ධංසොත න අකනිට්ඨාගාමී නම් වෙයි.
යම්කිසි තැනක උපන්නේ මෙහෙයවීම් ඇතිව පෙළඹවීම් ඇති ව රහත්බවට පැමිණියේ සසඞ්ඛාරපරිනිබ්බායි නම් වෙයි. හෙයෙවීම් නැතිව පෙළඹවීම් නැතිව රහත්බවට පැමිණියේ අසඞ්ඛාරපරිනිබ්බායි නම්වෙයි. යමෙක් කප්දහසක් ආයු ඇති අවිහයෙහි ඉපිද පස්වැනි කප් සියය ඉක්මවා රහත් බවට පැමිණියේ වෙයිද මෙතෙම උපභච්චපරිනිබ්බායි නමි අතප්පාදියෙහිද මෙම ක්රමයමැයි. අන්තරාපරිනිබ්බායී යනු යමෙක් ආයුෂයෙහි මැදිබව නොඉක්මවා පිරිනිවන් පායිද හෙතෙම තුන් ආකාර වෙයි. කප් දහසක් ආයු ඇති අවිහයෙහිම ඉපිද කෙනෙක් උපන්දිනයෙහි රහත්බවට පැමිණෙති. මේ දෙවැන්නායි. අනෙකෙක් මෙසේද නොහැක්කෝ කප්සාරසියයක් මත්තෙහි රහත්බවට පැමිණෙති. මේ තෙවැනි අන්තරාපරිනිබ්බායී පුද්ගලයායි. සෙස්ස කියනලද ක්රමය ඇත්තේමය.
මෙතැන් සිට සූවිසි සොතාපන්නයෝද දොළොස් සකෘදාගාමීහුද අට සාළිස් අනාගාමීහු ද දොළොස් රහත්හුද කිවයුත්තාහ. මේ සසුනෙහි සද්ධාධුරය පඤ්ඤාධුරයයි ධුර දෙකෙකි. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාදීවූ පටිපදා සතරෙකි. එහි කෙනෙක් සද්ධාධුරයෙන් ඇතුළුවී සෝවාන්පලයට පැමිණ එකම භවයක ඉපිද දුක් කෙළවර කරත්. මේ එක් එකබීජියෙකි. හෙතෙම ප්රතිපදාවන්ගේ වශනේ සතරාකාර වෙයි. යම්සේ මෙතෙම මෙසේ පඤ්ඤාධුරයෙන් ඇතුළත්වූයේයිද එකබිජීහු අට දෙනෙකි. එසේ කොලංකොලය, සත්තක්ඛතතුපරම යන මේ සූවිසිදෙනා සොතාපන්නයෝ නම්වෙති. ත්රිවිධ විමොක්ෂයන් අතුරෙන් සුඤ්ඤතා විමොක්ෂයෙන් සකෘදාගාමි භූමියට පැමිණියාහු සතර ප්රතිපදාවන්ගේ වශයෙන් සකෘදාගාමීහු සතර දෙනාද අනිමිත්ත විමොක්ෂයෙන් සකෘදාගාමී භූමියට පත් සතර දෙනාදැයි යන මේ දොළොස් සකාදාගාමීහුයි. අවිහබඹලොවෙහි අන්තරාපරිනිබ්බායි තිදෙනාද උපහච්චපරිනිබ්බායී එක් කෙනෙක්ද උද්ධංසොත අකනිට්ඨගාමී එක්කෙනෙක්දැයි අනාගාමීහු පස් දෙනෙකි. ඔවුහු අසංඛාර පරිනිබ්බායි පස්දෙනාද සසඞ්ඛාර පරිනිබ්බායී පස්දෙනාදැයි දසදෙනෙක් වෙත්. අතප්පාදියෙහිද එසේය. අකනිටාවන්හි උද්ධංසොතයෙක් නැත. එහෙයින් එහි සසඞ්ඛාර පරිනිබ්බායි සතරය, අසඞ්ඛාරපරිනිබ්බායී සතරයයි අටදෙනෙකි. මේ අටසාළිස් දෙන අනාගාමීහුය. සකෘදාගාමීහු යම්සේද රහත්හුද දොළසකැයි දතයුත්තාහ. මෙහිද ත්රිවිධශික්ෂාව මිශ්රකව කියනලදී.
3. 2. 4. 8
අටවැන්නෙහි තං වා පන අනභිසමභවං අප්පටිවිජක්ධං යනු ඒ රහත්බවට නොපැමිණෙන්නේ අවබෝධ නොකරන්නේයි. මේ ක්රමයෙන් සියලුවාරයන්හි අර්ථය දතයුතුය. මෙහිද ත්රිවිධ ශික්ෂාව මිශ්රකවම කියනලදී. නවවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය. මෙහිද මිශ්රකවම කියනලදී.
3. 2. 4. 10
දසවැන්නෙහි ආසවනං ඛයා යන මෙහි අරහත් මාර්ගය අධිපඤ්ඤාසික්ඛා නමි. ඵලය වනාහි හික්මුණු ශික්ෂා ඇත්තහුට උපදනා හෙයින් ‘සික්ඛා’යි නොකිවයුතුය.
යථා පුරෙ තථා පච්ඡා යනු යම්සේ පළමුව ත්රිශික්ෂාවෙහි හික්මෙයිද පසුව (ද) එසේම හික්මෙයි යනාර්ථයි. දෙවැනි පදයෙහිද මෙම ක්රමයමැයි. යථා අධො තථා උද්ධං යම්සේ යටිකය අසුභවශයෙන් බලයිද උඩුකයද එසේම පතුරයි (බලයි). දෙවැනි පදයෙහිද එම ක්රමයමැයි. යථා දිවා තථාං රත්තිං යනු යම්සේ දහවල ත්රිශික්ෂාවෙහි හික්මෙයිද රැයෙහිද එසේම හික්මෙයි යනාර්ථයි. අභිභුය්ය දිසා සබ්බා යනු සියලු දිශාවන් අරමුණෙහි යටපත් කොටයි. අප්පමාණසමාධිනා යනු අරහත්මාර්ග සමාධියෙනි.