3. 2. 2. 8
අටවැන්නෙහි භගවං මූලකා යනු භාග්‍යවතුන්වහන්සේ මොවුනට මූලය යන්නෙන් භගවංමූලකා නම්වෙයි. මෙය කියනලද්දේ වෙයි: ‘ස්වාමීනි, අපගේ මේ ධර්‍මයෝ පෙර කාශ්‍යප සම්මාසම්බුදුන්වහන්සේ විසින් උපදවන ලද්දාහුය. උන්වහන්සේ පිරිනිවන් පෑකල්හි එක් බුද්ධාන්තරයක් අනය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්‍මයන් ඉපදීමට සමර්ථයෙක් නම් නොවූයේය. අපගේ මේ ධර්‍මයෝ භාගයවතුන් වහන්සේගෙන් හටගන්නාලද්දාහුය. භාග්‍යවතුන් වහන්සේ නිසා අපි මේ ධර්‍මයන් දනිමු. අවබෝද කරමුයි මෙසේ ‘ස්වාමීනි අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන්වහන්සේ මුල්කොට ඇත්තාහු’යි භගවං නෙත්තිකා යනු භාග්‍යවතුන්වහන්සේ ධර්‍මයන්ගේ නායකයාය, හික්මවන්නාය, මෙහෙයවන්නාය. ස්වභාවයට අනුව වෙන වෙනම නම් ගෙන දක්වන්නායයි ධර්‍මයෝ භගවං නෙතතිකා’ නම් වෙත්. භගවං පටිසරණා යනු චාතුර්භූමික ධර්මයෝ සර්‍වඥතාඥානයේ අපාථයට එමින් භාග්‍යවතුන් වහන්සේ පටිසරණය වෙතැයි භගවංපටිසරණා නම්වෙයි. පටිසරණය වෙත් යනු රැස්වෙත්. එක්තැන් වෙත්. තවද, මහබෝමැඩ හුන්නාවූ භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධ කිරීම් වශයෙන් ස්පර්‍ශය පැමිණෙයි, ‘ස්වාමීනි, මම කුමන නම ඇත්තේම්ද?’ නුඹ ස්පර්ශ කිරීම් අර්ථයෙන් ඵස්ස නම් වෙහි’ වෙදනාව, සංඥාව සංස්කාරය, විඥානය එයි. ‘ස්වාමීනි, මම කුමන නම් ඇත්තේම්ද? ‘නුම දැනීම් අරුතින් විඥානය නම් වෙහි’යි මෙසේ චාතුර්භූමක ධර්මයන්ගේ ස්වභාවය අනුව වෙන් වෙන්ව නම් ගන්වමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයන් රැස්කරන සේක යන්නෙන්ද භගවං පටිසරණා නම් වෙත්. භගවන්තං යෙව පටිභාතු යනු භාග්‍යවතුන්වහන්සේටම මේ කියනලද්දෙහි අර්‍ත්‍ථය එළඹේවා! නුඹවහන්සේම අපට කියාදෙන සේක්වා යන අර්ථයි.
රාගො ඛො යනු රැඳීම් වශයෙන් පැවති රාගයයි. අප්පසාවජේජා යනු ලොකවද්‍යවශයෙන් හෝ විපාකවද්‍ය වශයෙන් හෝ යන වැරදි දෙකෙන්ම අඩු (කුඩා) වැරද්දයි. කුඩා දොෂයයි යන අර්ථයි. කෙසේදයත්? මවුපියෝද සහෝදර සහෝදරියන් ආදීහුද දරුවන්ගේ සහෝදරයන්ගේ ආවාහවිවාහ මංගල්‍යයන් කරත්, මෙපරිද්දෙන් ලොකවද්‍ය වශයෙන් පැවති මේ රාගය අල්පසාවද්‍යයි. අඹුදරුවන් සතුටු කිරීම මුල්කොට ඇති මේ රගායට අපායෙහි ප්‍රතිසන්‍ධියක් නම් නොවෙයි. මෙසේ විපාකවද්‍ය වශයෙන් අල්ප සාවද්‍යය. දන්‍ධවිරාගී යනු දුරුවනු ලබන මෙය සෙමෙන් දුරුවෙයි. ඉක්මණින් නොමිදෙයි. තෙල් දැලි කහට මෙන් බොහෝ කලක් ලුහුබඳියි. භවාන්තර දෙකක් තුනක් ගියද ඉවත් නොවෙතැයි දන්‍ධවිරාගී නම් වෙයි.
එහිලා මේ කථාවස්තුවයි- එක් පුරුෂයෙක් සහෝදරයාගේ බිරිය සමඟ අපචාරයෙහි හැසිරෙයි. ඒ ස්ත්‍රියටද තම සැමියාට වඩා හෙතෙමේම ප්‍රියතර වූයේය. ඕතොමෝ ඔහුට මෙසේ කීවාය: ‘මෙකරුන හෙළි වූවිට මහත් නින්දාවක් වන්නේය. ඔබේ සොහොයුරා නසව’. හෙතෙම ඇයට ‘වසලිය, තී නැසෙව. නැවත මෙසේ නොකියව’යි කියා පන්නා දැමුවේය. ඒ නිහඬව දින කිහිපයකින් යළි කීවාය. ඔහුගේ සිත දැදුරු වූයේය. ඉක්බිති තෙවැනිවර කී කල්හි ‘කුමක් කොට ඉඩක් ලබම්දැ’යි ඇසුවේය. අනතුරුව ඕ ඔහුට උපායක් කියන්නී ‘නුඹ මවිසින් කියනලද්දම කරව. අසුවල් තැන මහ කුඹුක් ගස ලඟ තොටක් ඇත. එහි තියුණු පොරවක් ගෙන සිටුව’යි පැවසුවාය. හෙතෙම එසේ කළේය. ඔහුගේ දෙටු සොහොයුරා වනයෙහි වැඩකොට ගෙට පැමිණියේය. ඕතොමෝ ඔහු කෙරෙහි මෘදු සිත් ඇත්තී මෙන් වී, ‘එන්න, ‘හිමියනි, ඔබගේ හිස බලන්නෙමැ’යි බලන්නී ‘ඔබගේ හිස කිළිටිය’යි පවසා නෙල්ලි පිඬක් දී ‘යන්න, අසුවල් තැන නහා එන්නැයි කීවාය. හෙතෙම ඇය කියනලද තොටට ගොස් නෙල්ලි කල්කයෙන් හිස ගල්වා දියට බැස නැමී හිස සේදුවේය. ඉක්බිති සෙසු තැනැත්තා ගස් අතුරින් නික්ම උරිස් ඇටයට පහරදී ඔහු මරා ගෙදර ගියේය.
මියගිය තැනැත්තා බිරිය කෙරෙහිවූ සෙනෙහස අත්හැරීමට නොහැක්කේ ඒ ගෙහිම ගැරඬියෙක්වී උපන්නේය. හෙතෙම ගොස් හුන්නාවූද හිඳින්නාවූද ඇයගේ සිරුරෙහි වැටෙයි. ඉක්බිති ඕ තෙමෝ ඔහු තම සැමියාම වන්නේයයි (සිතා) මැරවීය. හෙතෙම යළි ඇය කෙරෙහි සෙනහසින් ඒ ගෙහිම බල්ලෙක්වී උපන්නේය. හෙතෙම පයින් යාහැකි කල පටන්ම ඇයගේ පසුපසින් හැසිරෙයි. ඇය අරණට යන විටද ඇය සමඟම යයි. එය දැක මිනිස්සු ‘බලුවැද්දා නික්මුණේය. කවර තැනකට යන්නේදැ’යි විහිළු කරත්. ඕතොමෝ යළි ඒ බල්ලා මැරවූවාය.
හෙතෙමේත් යළි ඒ ගෙහිම වසුපැටවෙක්වී උපන්නේ එසේම ඇයගේ පසුපසින් හැසිරෙයි. එකල්හිද මිනිස්සු ඇය දැක ‘ගොපල්ලා නික්මුණේය. දෙන්නු කොහි හැසිරෙත්දැ’යි විහිළු කරත්. ඕතොමෝ එතැන්හිම ඒ වසු පැටවා මැරවූවාය. හෙතෙම එකල්හිද ඇය කෙරෙහිවූ සෙනෙහස සිඳින්නට නොහැක්කේ සිවුවෙනිවර ඇයගේම කුසෙහි පෙරදා සිහිකරන්නෙක් (පූර්‍වජාති සිහිකළහැක්කේක්) වී උපන්නේය. හෙතෙම පිළිවෙළින් ආත්මභාව සතරක ඇය විසින් මරවනලද බව දැක ‘මෙබඳුවූ සැතිරියකගේ කුසෙහි උපන්නෙමැයි (සිතා) එතැන් පටන් ඇයගේ අතින් තමන් පැහැසීමට නොදෙයි. ඉදින් ඇය ඔහු අතගායි නම් හඬයි. වැළපෙයි. එබැවින් සීයාම ඔහු පිළිඳැගුම් කරයි. පසු කලෙක වැඩිවිය පත් ඔහුගෙන් ‘දරුව, කුමක්හෙයින් නුඹ මවගේ අතින් ස්පර්‍ශකිරීමට නෙදෙහිද? ඉදින් ස්පර්ශ කරයි නම් කුමක් නිසා මහහඬින් හඬහිද, වැළපෙහිදැයි සීයා ඇසුවේය. ‘මම සීයා විසින් පෝෂණය කරනලද්දේ වෙමි. මෝ තොමෝ මගේ මව නොවෙයි. මෝ සැතිරියකැ’යි ඒ සියලු තොරතුරු කීවේය. හෙතෙම ඔහු වැළද හඬා ‘දරුව එන්න, අපට මෙබඳු තැනක කවර විසීමක්ද’යි පවසා ඔහු රැගෙන එක් විහාරයකට ගොස් පැවිදිව දෙදෙනාම එහි වසන්නාහු රහත් බවට පැමිණියාහුය.