3. 2. 2. 4
සිවුවැන්නෙහි, රාජගහෙ යනු මෙබඳු නම් ඇති නගරයෙහියි. ගිජක්ධකූටෙ පබ්බතෙ යනු මෙහි කුළු (මුදුන්) ගිජුලිහිණියන්ට සමානය හෝ එහි කුළුවල ගිජුලිහිණියෝ වසත් යන්නෙන් හෝ ගිජක්ධකූට නම් වෙයි, ඒ ගිජුකුළු පව්වෙහිය. එයින් රජගහනුවර ගොදුරුගම කොට වසන්නාවූ බුදුරදුන් වෙසෙන තැන දක්වනලදී. ගිජුකුළු පව්වෙහි තථාගතයන්වහන්සේ උදෙසා විහාරයක් කරවනලදී. ගිජුකුළුවිහාරය යනු එහි නමයි. එහි භාග්යවතුන්වහන්සේ එසමයෙහි වාසය කරනසේක. සරභො නාම පරිබ්බාජකො අචිරපක්කනේතා හොති යනු සරභ යන මෙබඳු නමක් ඇති පිරිවැජි තෙමේ මේ සසුනෙහි පැවිදිව නොබෝකලකින් ඉවත්ව ගියේය වෙයි. මෑතදී සිවුරු හළේය යන අරුත්ය. සම්මාසම්බුදුන් වහන්සේ ලොව පහළවූ කල්හි තීර්ථකයෝ නටුවාවූ ලාභසත්කාර ඇත්තෝ වූහ. තෙරුවනට මහත්ලාභසත්කාරයක් උපන්නේය. මෙසේ කියනලද්දේ වෙයි:
‘එකල්හි භාග්යවතුන්වහන්සේ සත්කාර කරනලද්දෝ ගරුකරනලද්දෝ වඳනාලද්දෝ පුදන ලද්දෝ, චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්රත්යය බෙහෙත් පිරිකර ලබන්නෝ වූසේක. අන්තොටු පිරිවැජියෝ සත්කාර නොකරලද්දාහුය. ගරුනොකරන ලද්දාහුය. නොපුදනලද්දාහුය. චීවර පිණ්ඩපාතසේනාසන ගිලාන ප්රත්යය බෙහෙත් පිරිකර නොලබන්නෝ වූහ.’
ඔවුහු මෙසේ පිරිහුණු ලාභසත්කාර ඇත්තෝ පන්සියයක් පමණ එක් පරිබ්බාජකාරාමයකට රැස්ව සාකච්ඡා කළාහුය. ‘පින්වත්නි, අපි ශ්රමණ භවත් ගෞතමයන් පහළවූ කල පටන් නටුවාවූ ලාභසත්කාර ඇත්තෝ වෙමු. ශ්රමණභවත් ගෞතමයන්ගේද ශ්රාවකයන්ගේද එක් අගුණයක් සලකවු. නුගුණ පතුරා ඔහුගේ සසුන ගරහා අපට ලාභසත්කාර උපදවන්නෙමු’ යනුවෙනි. ඔවුහු වරදක් සොයමින් තිදොරෙහිද ආජීවයෙහිද යන සිවුතන්හිද ශ්රමණභවත් ගෞතමයන්ගේ වරදක් දැක්මට නොහැක්කාහු ‘මේ සිවුතැන් හැර අන්තැනක (වරදක්) සොයවු’යි කීවාහුය. ඉක්බිති ඔවුනතුරෙන් එකෙක් මෙසේ කීය. ‘මම අනෙකක් නොදකිමි. මොවුහු අඩමසක් පාසා රැස්වදොර කවුළුවසා හෙරණුන්ටද පිවිසීමට නොදෙති. ජීවිතසමාන උපස්ථායකයෝද (එය) දැකීමක් නොලබති. ආවට්ටනී (මිනිසුන් ඇද බැද තබා ගන්නා) මායාවක් මතු කොට දක්වමින් ජනතාව මුළාකරගෙන කති. ඉදින් මායාව ගෙන ඒමට හැකිවන්නමෝ නම් මෙසේ අපගේ ලාභ සත්කාර මහත් වන්නේය.’ තවකෙක් තවකෙක්ද මෙසේම කියමින් නැඟී සිටියහ. සියල්ලෝ එකම මතයක පිහිටියහ. ඉක්බිති, ‘යමෙක් එය ගෙන ඒමට හැකි වන්නේද ඔහු අපගේ සමයෙහි ජ්යෙෂ්ඨයකු කරනනෙමැයි කීවාහුය.
අනතුරුව කෙළවරෙහි පටන් නුමට හැකිද නුඹට හැකිදැයි අසා මට නොහැක, මට නොහැකැයි බොහෝ දෙනකු කීකල්හි ‘ඇදුරුතුමනි, නුඹට හැකිදැ’යි සරභ පරිවැජියාගෙන් ඇසුහ. නුඹවහන්සේලා තම කථාවෙහි පිහිටා මා ජ්යෙෂ්ඨයකු කරන්නහු නම් මෙය අපහසුවක් නොවේයයි හෙතෙම කීවේය. ‘ආචාරීනි, මෙය අපහසුනොවේ. ගෙනෙන්න, අපවිසින් ඔබ ජ්යෙෂ්ඨයෙක් කරනලද්දේම වෙහි’යයි (අන්යයෝ කීහ.) ‘එය ගෙනෙන්නහු විසින් සොරාගෙන හෝ පැහැරගෙන හෝ ගෙනඒමට නොහැක්කේය. ශ්රමණ භවත් ගෞතමයන්ගේ සව්වකු මෙන්වී ඔහුගේ සව්වන් වැඳ වත්පිළිවෙත් කොට ඔවුන්ගේ පාත්රයෙහි බත් වළඳා ගෙන ඒමට හැකිය. ඔහුගේ මෙබඳු ක්රියාවන්ට ඔබලා කැමැත්තහුදැ’යි හෙතෙම ඇසීය. ‘යම් කිසිවක් කොට එය ගෙනවුත් අපට දෙන්නැ’යි ඔවුහු කීහ. ‘එසේ වීනම් මාදැක නොපසන් වූවන් මෙන් වන්නහු’යයි පිරිවැජියන්ට සංඥාවක් දී දෙවැනි දිනයෙහි උදයෙන්ම නැඟිට ගිජුකුළු මහ වෙහෙරට ගොස් දුටුදුටු භික්ෂූන්ට පසඟ පිහිටුවා පාවැන්දේය. ‘අන් පිරිවැජියෝ සැඩ පරුසය. මෙතෙම වනාහි පසන්වූයේ සැදැහැවතෙක් වන්නේය’යි භික්ෂූහු පැවසූහ. ‘ස්වාමීනි, නුඹවහන්සේලා දැන සුදුසු තන්හිම පැවිදිවූවාහුය. අපි වනාහි සලකා නොබලමින් නොතොටින් ඇතුළුවුවාහු අනෛර්යානික මාර්ගයෙහි හැසිරෙමු’යි හෙතෙම මෙසේද කියා දුටුදුටු භික්ෂුන් යළියළිත් වඳියි. නහන පැන් ආදිය පිළියෙළ කර දෙයි. දැහැටි දඬු කැප කර දෙයි. පා දොවයි. අතුල්ලයි. ඉතිරි බත් ලැබ වළඳයි.