3. 2. 1. 6
සයවැන්නෙහි ආචාරියපාචරියානං යනු ආචාර්‍ය්‍යවරුන්ගේත් ප්‍රාචාර්‍ය්‍යවරුන්ගේත්ය. අවීචිමඤේඤ ඵුටො හොති යනු යම්සේ අවීචිමහා නරකය නිරතුරුව පිරුනේද නිරාසතුන්ගෙන් පිරී පැවතියේද එසේ මිනිසුන්ගෙන් පිරුනේ වෙයි. කුකකුටසම්පාතිකා යනු එක් ගමක පියස්ස මතුපිටින් ඉගිලී වෙනත් ගමක පියසි මතුපිටක බැසීම් සංඛ්‍යාතවූ කුකකුට සම්පාතයක් මොවුන් කෙරෙහි ඇතියි කුකකුටසම්පාතිකා නමි. කුකකුටසම්පාදිකා යනුද පාඨයි. ගමකින් ගමකට කුකුළන්ගේ පයින් යාම් සංඛ්‍යාත කුකකුටසම්පාදයක් මොවුන් කෙරෙහි ඇත්තේය යන අරුත්ය. මේදෙකම එකට ගැවසුණු නිවාස ඇතිබවම දක්වයි. අධම්මරාගරත්තා යනු රාගය නම් ඒකාන්තයෙන්ම අධර්‍මයකි. තමන්ගේ පිරිකරෙහි උපදිනු ලබන්නේ අධර්‍මරාගය නොවේයයි අදහස් කරනලදී. අනුන්ගේ පිරිකරෙහි උපදිනුලබන (රාගයම) අධර්‍මරාගයයි. විසමලොභාභිභූතා යනු ලෝභයාගේ සමකාලයක් නම් නැත. ඒකාන්තයෙන්ම විෂමය. තමාට අයත් වස්තුවල උපදිනු ලබන්නේ සමලොභය නමි. අනුන්ට අයත් වස්තුවල උපදිනු ලබන්නේම විසමයයි අදහස් කරනලදී. මිච්ඡාධම්මපරෙතා යනු අවස්තු ඇසුරු කිරීම් සංඛ්‍යාතවූ මිධ්‍යාධර්‍මයෙන් යුක්තවූයි. දෙවො න සම්මාධාරං අනුප්පචෙච්ඡති යනු වැසි වැස්සයුතුකල්හි වැස්ස නොවස්වයි. දුබ්භික්‍ඛං යනු දුර්‍ලභවූ භික්‍ෂාව ඇත්තේයි. දුස්සස්සං යනු විවිධ ධාන්‍යයන් සම්පූර්‍ණ නොවීමෙන් දුස්සස්සවූයි. සෙතට්ටිකං යනු ධාන්‍ය සම්පාදනය වනිවිට කෘමීහු වැටෙත්. ඔවුන් විසින් විදිනාලද බැවින් නික්මෙන නික්මෙන වීකරල් සුදු පැහැවෙයි. නිසරුවෙයි. ඒ සඳහා සෙතට්ටිකංසි කියනලදී. සලාකාවුත්තං යනු වැපූරූ වැපූරූ ධාන්‍ය සලාකමාත්‍රයම සපයයි. ඵලනොදෙයි යන අරුත්ය. යක්‍ඛා යනු යක්‍ෂාධිපතීහුයි. වාළෙ අමනුසේස ඔස්සජන්ති සැඬයකුන් මිනිස් පියසෙහි විසුරුවත්. ඔවුහු ලබනලද අවසර ඇත්තාහු මිනිසුන් ජීවිතක්‍ෂයට පමුණුවත්.
3. 2. 1. 7
සත්වැන්නෙහි මහප්ඵලං යනු මහාවිපාකයයි. ධම්මස්ස ච අනුධම්මං ව්‍යාකරොන්ති යනු මෙහි ධර්‍මය නම් කියනලද කථාවයි. අනුධර්‍මය නම් කියනලද්දහුට යළි කීමයි. සහධම්මිකො යනු කරුණු සහිත වූයේයි, හේතු සහිත වූයේයි. වාදානුපාතො යනු වාදයට වැටීම, එළඹීම, පැවැත්ම යන අරුත්ය. ගාරයහං ඨානං යනු ගැරහිය යුතු කරුණයි. මෙය කියන ලද්දේ වෙයි. භවත් ගෞතමයන් විසින් කියනලද කරුණු සහිත වාදප්‍රවෘත්තිය ගැරහිය යුතු කරුණකට එළඹෙයිද නොඑළඹෙයිදැයි අසයි.
අන්තරායකරො හොති යනු අනතුරක්, විනාශයක්, විපතක් කරයි. පාරපන්‍ථිකො යනු මං පහරන සොරායි. ඛතො හොති යනු ගුණ විනාශයෙන් කණිනලද්දේවෙයි. ගුණ නැසීමෙන්ම උපහතො නම්ද වෙයි.
චන්‍දනිකාය යනු අසූචි මඩ ඇති ළිඳෙහිය. ඔලිගලේල යනු කානු මඩෙහිය. (ගවරවළෙහිය) සො ච යනු ඒ සිල්වත්තෙමේයි. කියනලද ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේයි. සීලක්‍ඛන්‍ධෙන යනු සීල සමූහයෙනුයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි. මෙහිද විමුත්තිඤාණදස්සනය ප්‍රත්‍යවේක්‍ෂා ඥානයයයි කියනු ලැබේ. එය අශෛක්‍ෂයාට පැවතිබැවින් අසෙඛයයි කියනලදී. සෙසු ඒවා ශික්‍ෂාපර්යවසානයට පැවැතිබැවින් තෙමේම අශෛක්‍ෂමය. ඒවා වනාහි ලෝකොත්තරය. ප්‍රත්‍යවෙක්‍ෂණ ඥානය ලෞකිකය.
රොහිණීසු යනු රක්තවර්‍ණයන්හිය. සරූපාසු යනු තමන්ගේ පැටවුන්ට සමානවූ රූප ඇත්තවුන්කරෙහිය. පාරෙවතාසු යනු පරෙවි පැහැය ඇත්තවුන් කෙරෙහිය. දනේතා යනු හීලෑවූයි. පුඞ්ගවො යනු වෘෂභයායි. ධොරයේභා යනු බර උසුලන්නායි. කල්‍යාණජවනික්කමො යනු මනාවූ සෘජු ජවයෙන් යන්නායි. නාස්ස වණ්ණං පරික්කරෙ යනු ගවයාගේ ශරීරවර්‍ණය පරීක්ෂා නොකරත්. බර ඉසිලීමේ ක්‍රියාවම පරීක්‍ෂාකරත්. යස්මිං කස්මිඤචි ජාතියෙ යනු යම්කිසි කුලයක උපන් කල්හියි. යාසු කාසු ච එතාසු යනු මේ ක්‍ෂත්‍රිය ආදී ප්‍රභේද ඇති යම් කිසි ජාතියකය.
බ්‍රහ්මචරියස්ස කෙවලී යනු හුදෙක් බඹසරින් යුක්තවූයේ, පිරිපුන්බවින් යුතුවූයේ යන අර්‍ත්‍ථයි. ක්‍ෂීණාශ්‍රවයන්වහන්සේම මුළුල්ලෙන්ම බ්‍රහ්මචාරී නම් වෙති. එහෙයින් කියනලදී. පන්නභාරො යනු බහාතබනලද බර ඇත්තේයි. ස්කන්‍ධභාරය, ක්ලේශභාරය හා කාමගුණභාරයද බහා තබා සිටියේයයි අරුත්ය. කතකිචේචා යනු සතර මගින් කටයුතකොට සිටියේයි. පාරගු සබ්බධම්මානං යනු පඤ්චස්කන්‍ධය, ආයතන දොළස, අටළොස් ධාතු යනු මේවා සියලු ධර්‍මයෝයි කියනුලැබෙති. ඒ සියලු ධර්‍මයන්ගේ අභිඥා පරතෙර, පරිඤ්ඤාපරතෙර, ප්‍රහානපරතෙර, භාවනා පරතෙර, ප්‍රත්‍යක්‍ෂකිරීමේ පරතෙර, සමාපත්ති පරතෙර යන සයවැදැරුම් පරතෙර, ප්‍රත්‍යක්‍ෂකිරීමේ පරතෙර, සමාපත්ති පරතෙර යන සයවැදැරුම් පරතෙරට ගියබැවින් පාරගු නමි. අනුපාදාය යනු නෙගෙනයි. නිබ්බුතො යනු කෙලෙස් තැවුල් නොමැත්තේයි. විරජො යනු රාගදොසමොහරජස් රහිතවුයේයි.
අවිජානන්තා යනු ක්‍ෂෙත්‍රය නොදන්නාහුය. දුම්මේධා යනු ප්‍රඥාව නැත්තෝයි. අස්සුතාවිනො යනු ක්‍ෂෙත්‍රවිනිශචය ඇසීමෙන් තොර වූවෝයි. බහිද්ධා යනු මේ සසුනෙන් බාහිරවූවෝයි. නහි සනෙත උපාසරෙ යනු බුදුපසේබුදු රහත් යන උත්තම පුරුෂයන් වෙත නොඑළඹෙත්. ධීරසම්මතෙ යනු පණ්ඩිතයන් විසින් සම්මතවූ සම්භාවිතවූයි. මූලජාතා පතිට්ඨිතා යනු මෙයින් සෝවාන්වූවහුගේ ශ්‍රද්ධාව දක්වයි. කුලෙ වා ඉධ ජායරෙ යනු මේ මිනිස් ලොවෙහි ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය කුලයන්හි හෝ උපදිත්. මේ වනාහි ත්‍රිවිධ කුල සම්පත්ති නමි. අනුපුබේබන නිබ්බානං අධිගච්ඡති යනු ශීල, සමාධි, ප්‍රඥා යන මේ ගුණයන් සම්පූර්‍ණ කොට අනුක්‍රමයෙන් නිවන අවබෝධ කරති.