1. බ්‍රාහ්මණ වර්ගය
3. 2. 1. 1
බ්‍රාහමණවර්ගයෙහි පළමු සූත්‍රයෙහි ජිණ්ණා යනු ජරාවෙන් දිරුණාවූයි. වුද්ධා යනු වයසින් මහළුවූයි. මහල්ලකා යනු උපත හේතුකොටගෙන මහළු වූයි. අද්ධගතා යනු තුන්විය ඉක්මුණාවූයි. වයොඅනුප්පත්තා යනු තෙවන වියට පැමිණියාවූයි. යෙන භගවා තෙනුපසංකමිංසු යනු තමන්ගේ වචනය පිළිනොගන්නා අඹුදරුවන් දැක ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයට ගොස් නෛර්යානික මාර්ගය සොයන්නෙමුයයි සිතා එළැඹියාහුය. මයමස්සු භො ගොතම බ්‍රාහ්මණා යනු භවත් ගෞතමය අපි බ්‍රාහ්මණයෝ වෙමු. ක්‍ෂත්‍රියයෝ නොවෙමු. ඇමතියෝ නෙවෙමු. ගෘහපතියෝ නොවෙමුයි බමුණු බව හඟවා ජිණ්ණා යනාදිය කීහ. අකතභීරුත්තානා යනු බියෙන් ආරක්‍ෂාවීමක් නොකළාවූයි. අවශ්‍යවූ ප්‍රතිෂ්ඨාවක් අපවිසින් නොකරන ලදැයි දක්වත්. තග්ඝ යනු ඒකාන්ත (ස්ථිර) යන අර්ථයෙහි හෝ පිළිගැනීම් අර්ථයෙහි නිපාතයෙකි. ඒකාන්තයෙන් නුඹලා මෙබඳුවූවාහුය. මමද මෙය පිළිගනිමියි දැක්වෙයි. උපනිය්‍යති යනු ළඟට පමුණුවනු ලබයි. මෙය වනාහි උපතින් ජාරාවද ජරාවෙන් ව්‍යාධියද ව්‍යාධියෙන් මරණයද මරණයෙන් නැවත උපතද ගෙනදෙනු ලබයි. එහෙයින් ළඟට පමුණුවනුලබයි යනුවෙන් කියනලදී.
දැන් යම්හෙයකින් මේ බමුණෝ මහලු බැවින් පැවිදිව වත්පුරන්නට නොහැකි වෙත්ද එහෙයින් ඔවුන් පන්සිල්හි පිහිටුවමින් භාග්‍යවතුන්වහන්සේ ‘යොධ කායෙන සඤ්ඤමො’ යනාදිය වදාළසේක. එහි කායෙන සඤ්ඤමො යනු කායද්වාරයෙහි හික්මීමයි. සෙසු තන්හිද එම ක්‍රමයමැයි. තත්තස්ස පෙතස්ස යනු ඒ පින පරලොව ගිය ඔහුටයි. රැකීම් අර්‍ත්‍ථයෙන් තානං නමි. සැඟවීම් අර්‍ත්‍ථයෙන් ලෙනං නමි. පිහිටීම් අර්‍ත්‍ථයෙන් දීපො නමි. පිහිට කොට ගැනීම් අර්‍ත්‍ථයෙන් සරණං නමි. උතුම් ගතිවශයෙන් පරායනං පරායනය (යොමු) වේයයි දක්වයි. ගාථා පැහැදිලි අර්‍ත්‍ථ ඇත්තේය. මෙසේ ඒ බමුණෝ තථාගතයනවහන්සේ විසින් පන්සිල්හි සමාදන් කරවනලද්දාහු දිවි ඇතිතෙක් පන්සිල් රැක ස්වර්‍ගයෙහි උපන්නාහුය.
3. 2. 1. 2
දෙවැන්නෙහි භාජනං යනු යම්කිසි උපකරණයකි. සෙස්ස පළමුවනැන්නෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.
3. 2. 1. 3
තෙවැන්නෙහි සම්මොදනීයං යනු සතුට දනවන්නාවුයි. සාරාණීයං යනු සිහිපත්කළ යුත්තකි. වීතිසාරෙත්වා යනු අවසන් කොටයි. කිත්තාවතා යනු කොපමණකින් යනුයි. සන්‍දිට්ඨිකො ධම්මො හොති යනු තෙමේම දැකිය යුත්තේවෙයි. අකාලිකො යනු කාලාන්තරයකින් ප්‍රතිඵල දෙන්නේ නොවෙයි. එහිපස්සිකො යනු එව බලවයි මෙසේ දැක්වීමට හැකියයි පිළිපැදියයුතු ප්‍රතිපදාව විමසයි. ඔපනයිකො යනු තමාගේ සිත එළවියයුතුය. පච්චත්තං වෙදිතබ්බො යනු තෙමේම දතයුතුය. විඤඤූහි යනු පණ්ඩිතයන් විසිනි. පරියාදිණ්ණචිත්තො යනු ගන්නාලද, ස්පර්‍ශකරනලද සිතැත්තේවීයි. චෙතෙති යනු සිතයි. මෙහි සෙස්ස පැහැදිලිමය. මෙම සූත්‍රයෙහි බමුණාවිසින් ලෝකෝත්තර මාර්‍ගය විමසනලදී. ශාස්තෘන්වහන්සේ විසින්ද එයම ප්‍රකාශකරනලදී. එය වනාහි තෙමේ දතයුතු බැවින් සන්‍දිට්ඨික නම්වෙයි.
3. 2. 1. 4
සිවුවැන්නෙහි බ්‍රාහ්මණපරිබ්බාජකො යනු බ්‍රාහ්මණ ජාතිකවූ පිරිවැජියෙකි. ක්‍ෂත්‍රිය ජාතිකයෙක් නොවේ. අත්තත්‍ථම්පි යනු මෙලොවට හා පරලොවට අයත් ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ තමන්ගේ අර්‍ත්‍ථයයි.
3. 2. 1. 5
පස්වැන්නෙහි අකාලිකං යනු කාලාන්තරයකින් ලැබිය යුත්තක් නොවේ. ඔපනයිකං යනු පිළිවෙතින් එළඹියයුතු දෙයයි.
3. 2. 1. 6
සයවැන්නෙහි ආචාරියපාචරියානං යනු ආචාර්‍ය්‍යවරුන්ගේත් ප්‍රාචාර්‍ය්‍යවරුන්ගේත්ය. අවීචිමඤේඤ ඵුටො හොති යනු යම්සේ අවීචිමහා නරකය නිරතුරුව පිරුනේද නිරාසතුන්ගෙන් පිරී පැවතියේද එසේ මිනිසුන්ගෙන් පිරුනේ වෙයි. කුකකුටසම්පාතිකා යනු එක් ගමක පියස්ස මතුපිටින් ඉගිලී වෙනත් ගමක පියසි මතුපිටක බැසීම් සංඛ්‍යාතවූ කුකකුට සම්පාතයක් මොවුන් කෙරෙහි ඇතියි කුකකුටසම්පාතිකා නමි. කුකකුටසම්පාදිකා යනුද පාඨයි. ගමකින් ගමකට කුකුළන්ගේ පයින් යාම් සංඛ්‍යාත කුකකුටසම්පාදයක් මොවුන් කෙරෙහි ඇත්තේය යන අරුත්ය. මේදෙකම එකට ගැවසුණු නිවාස ඇතිබවම දක්වයි. අධම්මරාගරත්තා යනු රාගය නම් ඒකාන්තයෙන්ම අධර්‍මයකි. තමන්ගේ පිරිකරෙහි උපදිනු ලබන්නේ අධර්‍මරාගය නොවේයයි අදහස් කරනලදී. අනුන්ගේ පිරිකරෙහි උපදිනුලබන (රාගයම) අධර්‍මරාගයයි. විසමලොභාභිභූතා යනු ලෝභයාගේ සමකාලයක් නම් නැත. ඒකාන්තයෙන්ම විෂමය. තමාට අයත් වස්තුවල උපදිනු ලබන්නේ සමලොභය නමි. අනුන්ට අයත් වස්තුවල උපදිනු ලබන්නේම විසමයයි අදහස් කරනලදී. මිච්ඡාධම්මපරෙතා යනු අවස්තු ඇසුරු කිරීම් සංඛ්‍යාතවූ මිධ්‍යාධර්‍මයෙන් යුක්තවූයි. දෙවො න සම්මාධාරං අනුප්පචෙච්ඡති යනු වැසි වැස්සයුතුකල්හි වැස්ස නොවස්වයි. දුබ්භික්‍ඛං යනු දුර්‍ලභවූ භික්‍ෂාව ඇත්තේයි. දුස්සස්සං යනු විවිධ ධාන්‍යයන් සම්පූර්‍ණ නොවීමෙන් දුස්සස්සවූයි. සෙතට්ටිකං යනු ධාන්‍ය සම්පාදනය වනිවිට කෘමීහු වැටෙත්. ඔවුන් විසින් විදිනාලද බැවින් නික්මෙන නික්මෙන වීකරල් සුදු පැහැවෙයි. නිසරුවෙයි. ඒ සඳහා සෙතට්ටිකංසි කියනලදී. සලාකාවුත්තං යනු වැපූරූ වැපූරූ ධාන්‍ය සලාකමාත්‍රයම සපයයි. ඵලනොදෙයි යන අරුත්ය. යක්‍ඛා යනු යක්‍ෂාධිපතීහුයි. වාළෙ අමනුසේස ඔස්සජන්ති සැඬයකුන් මිනිස් පියසෙහි විසුරුවත්. ඔවුහු ලබනලද අවසර ඇත්තාහු මිනිසුන් ජීවිතක්‍ෂයට පමුණුවත්.
3. 2. 1. 7
සත්වැන්නෙහි මහප්ඵලං යනු මහාවිපාකයයි. ධම්මස්ස ච අනුධම්මං ව්‍යාකරොන්ති යනු මෙහි ධර්‍මය නම් කියනලද කථාවයි. අනුධර්‍මය නම් කියනලද්දහුට යළි කීමයි. සහධම්මිකො යනු කරුණු සහිත වූයේයි, හේතු සහිත වූයේයි. වාදානුපාතො යනු වාදයට වැටීම, එළඹීම, පැවැත්ම යන අරුත්ය. ගාරයහං ඨානං යනු ගැරහිය යුතු කරුණයි. මෙය කියන ලද්දේ වෙයි. භවත් ගෞතමයන් විසින් කියනලද කරුණු සහිත වාදප්‍රවෘත්තිය ගැරහිය යුතු කරුණකට එළඹෙයිද නොඑළඹෙයිදැයි අසයි.