3. 2. 1. 10
දසවැන්නෙහි සංගාරවො යනු මෙබඳු නමක් ඇති. රජගහනුවර දිරුණුදෙය පිළිසකර කරන්නාවූ නියෝජිත බමුණෙකි. උපසඞ්කමි යනු අනුභවකළ උදය ආහාර ඇත්තේවී මහජනයා විසින් පිරිවරනලද්දේ එළඹියේය. මයමස්සු යන මෙහි අස්සු යනු නිපාතමාත්‍රයකි. භවත්ගෞතමයිනි, අපි බමුණෝ නමැයි යන අර්‍ත්‍ථ ඇති පදයකි. යඤ්ඤං යජාම යනු බාහිර සමයන්හි (ආගම්වල) සියල්ල සතරින්, සියල්ල අටින්, සියල්ල සොළසින්, සියල්ල දෙතිසෙන්, සියල්ල සිවුසැටින්, සියල්ල සියයෙන්, සියල්ල පන්සියයෙන්යයි මෙසේ ප්‍රාණඝාතයෙන් යුක්තවූයේ යාගය නම්වෙයි. ඒ සඳහා මෙසේ කීවේය. අනෙකසාරීරිකං යනු නොයෙක් ශරීරයන්ගෙන් හටගත් යනුයි. යදිදං යනු යම් දෙයක් යැදීම් හේතුවද යැදවීම් හේතුවද යන අර්‍ත්‍ථයි. එක්කෙනකු බොහෝ දෙනෙකුට දීමෙහිද දෙවීමෙහිද බොහෝදෙනකු බොහෝ දෙනෙකුට දීමෙහිද දෙවීමෙහිද පුණ්‍යප්‍රතිපදාව අනෙකසාරීරික නම්වෙයි. එය සඳහා මෙය කියනලදී. නුඹටද නුඹටද දෙමියි කියන්නාගේද නුඹද නුඹද දෙවයි අණකරන්නාගේද පුණ්‍යප්‍රතිපදාව අනෙකසාරීරකමවෙයි. එය සඳහාද මෙය කියනලදී. යස්සවා තස්ස වා යනු යම් ඒ දෙයකින් යනුයි. එකමත්තානං දමෙති යනු තමන්ගේ ඉන්‍ද්‍රිය දමනය වශයෙන් එක් ආත්මයක්ම දමනය කරයි. එකමත්තානං සමෙති යනු තමන්ගේ ්රාගාදිය මනය කිරීම් වශයෙන් එක් ආත්මයක් සංසිදුවයි. පරිනිබ්බාපෙති යනු රාගාදිය නිවාදැමීමෙන්ම නිවාදමයි. එවමස්සායං යනු මෙසේ ඇති කල්හිද මෙතෙම මෙබඳුය.
බමුණාගේ කථාව අසා ශාස්තෘන්වහන්සේ මෙසේ සිතූසේක. මේ බමුණා සත්වඝාතනයෙන් යුක්තවූ මහායාගයක් අනෙකශාරීරක පුණ්‍ය ප්‍රතිපදාවක් කොට කියයි. පැවිද්ද මුල් කොට ඇති පුණ්‍යප්‍රතිපදාව ඒකශාරීරික කොට කියයි. මෙහෙතම ඒකශාරීරික ප්‍රතිපදාවද අනෙක ශරීරික ප්‍රතිපදාවද නොදනියි. ඒකානත්යෙන්ම මොහුට ඒකශාරීරිකවූත් අනෙකශාරීරිකවුත් ප්‍රතිපදාව දක්වන්නෙමැයි මත්තෙහි දෙසුම ඉදිරිපත් කරමින් ‘එසේ නම් බමුණ’ යනාදිය පැවසූ සේක. එහි යථා තෙ ඛමෙය්‍ය යනු යම්සේ ඔබ කැමති වන්නෙහිද යනුයි. ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති යනාදිය විසුද්ධි මග්ගයෙහි විස්තර කරන ලද්දේමය. එථායං මග්ගෝ යනු නුඹලා එව්. මම මේ මාර්‍ගයයි අනුශාසනා කරමි. අයං පටිපදා යනු මුලින් කියනලද්දට පරියාය වචනයි. යථා පටිපන්නො යනු යම් මගකින් පිළිපන්නේයි. අනුත්තරං බ්‍රහමචරියොගධං යනු අරහත්මාර්‍ග සංඛ්‍යාත බ්‍රහ්මචර්යාවට ඇතුළත් උතුම් ප්‍රතිෂ්ඨාවවූ නිවණයි. ඉච්චායං යනු ඉති අයං යන දෙපදයේ එකතුවයි.
අප්පට්ඨතරා යනු යම් තැනක බොහෝ මෙහෙකරුවන්ගෙන් හෝ උපකරණයන්ගෙන් හෝ වැඩක් නැත්ද එතැනයි. අප්පසමාරම්භතරා යනු යම් තැනක බොහෝ දෙනෙකුට කාමච්ඡන්‍ද වශයෙන් පෙළීම් සංඛ්‍යාත සමාරම්භයක් (හිංසාවක්) නැත්ද එතැනයි. ය්‍යෙථාපි භවං ගොතමො භවඤ්චානන්‍දො එතෙ මෙ පුජ්ජා යනු භවත් ගෞතමයන් වහන්සේත් භවත් අනඳ තෙරණුවෝත් යන මෙබඳුවූවෝ යම්හෙයකින් මවිසින් පුදනලද්දාහුද නුඹවහන්සේලා දෙදෙනාම පිදියයුත්තෝයි. පැසසිය යුත්තෝය යනමේ අර්‍ත්‍ථය සඳහා මෙය කියිය. ඔහුට මෙබඳු අදහසෙක් විය. අනඳතෙරණුවෝ මා ලවා මේ ප්‍රශ්නය කියවනු කැමැත්තෝය. තමාගේ ගුණය කීකල්හි අසතුටු වන කෙනෙක් නම් නැත. යනුවෙනි. එහෙයින් ප්‍රශ්නය නොකියනු කැමැත්තේ ගුණ කීමෙන් අවුලක් කරමින් මෙසේ කීවේය.
න ඛො ත්‍යාහං යනු න ඛො තෙ අහං යන පදසංයෝජනයයි. තෙරණුවෝද සිතූහ. ‘මේ බමුණා ප්‍රශ්නයට පිළිතුරු නොකියනු කැමැත්තේ (දැන්) අන්ලෙසකට පත්වෙයි. මේ ප්‍රශ්නය ඔහුලවාම කියවන්නෙමි’ යනුවෙනි. එබැවින් ඔහුට මෙසේ කීහ.
සහධම්මිකං යනු කරුණු සහිතවූයි. සංසාදෙති යනු හිඳුවයි. නොවස්සජ්ජෙති යනු නොකියයි. යන්නුනාහං පරිමොචෙය්‍යං යනු මම මේ දෙදෙනාම වෙහෙසින් මුදවන්නේ නම් යෙහෙක. බමුණු තෙමේ ආනන්ද (තෙරුන්) විසින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු නොදෙමින් වෙහෙසෙයි. අනඳ තෙරණුවෝත් පිළිතුරු නොදෙන බමුණා ලවා පිළිතුරුදෙවමින් වෙහෙසට පත් වෙති. මෙසේ මේ දෙදෙනාම වෙහෙසින් මුදවන්නෙමැයි සිතා මෙසේ වදාළසේක. කාන්‍චජ්ජ යනු කා අනු අජ්ජ යන පදසංයෝජනයයි. අන්තරාකථා උදපාදි. යනු වෙනත් කථාවක අතරතුර කවර කථාවක් උපන්නේදැයි අසයි. එකල්හි වනාහි රජුගේ අන්ත:පුරයෙහි පෙළහරතුන අරභයා කථාවක් උපන්නේය. එය විමසමැයි ශාස්තෘන්වහන්සේ මෙසේ වදාළ සේක. ඉක්බිති බමුණු තෙමේ දැන් කීමට හැක්කේමැයි රජ ගෙදර අතැවුරෙහි උපන් කථාව සැළකරන්නේ ‘අයං ඛව්ජ්ජ භො ගොතම’ යනාදිය පැවසීය. අයං ඛච්ජ්ජ යනු අයං ඛො අජ්ජ යන පදයන්ගේ සංයෝජනයයි. පුබ්බේසුදං යන මෙහි සුදං යනු නිපාතමාත්‍රයකි. උත්තරිමනුස්සධම්මා යනු දශකුශලකර්‍මපථ සංඛ්‍යාත මනුෂ්‍යධර්‍මයන්ගෙන් මත්තෙහි වූයි. ඉද්ධිපාටිහාරියං දසේසසුං යනු පිඬු සිඟා යන්නාහු අහසින්ම ගියාහුය අයහසින්ම ආවාහුයයි මෙසේ පෙර පැවති ආකාශ ගමනක් සඳහා පැවසීය. එතරහි පන බහුතරා ච භික්‍ඛු මෙය ඒ බමුණු තෙමේ පෙර භික්‍ෂූහු සිවුපසය උපදවන්නෙමුයි හැඟීමෙන් මෙසේ කළාහුය. දැන් ප්‍රත්‍යයන් උපන් බව දැන නින්දෙන්ද පමාවෙන්ද කල් ගෙවත්ය යන විශ්වාසයෙන් කීවේය.
පාටිහාරියානි යනු විරුද්ධ දෙය ඉවත් කිරීමේ වශයෙන් ප්‍රාතිහාර්යයෝයි. ඉද්ධිපාටිහාරියං යනු සමෘද්ධවීම් වශයෙන්, සෘද්ධිය ඉදිරිපත් කිරීම් වශයෙන්වූ ප්‍රාතිහාර්‍ය්‍යයයි. සෘද්ධියෙන්ම කළ ප්‍රාතිහාර්‍ය්‍යය ඉද්ධිපාටිහාරිය නමි. සෙසු දෙයෙහිද මේ ක්‍රමයමැයි. අනෙකවිහිතං ඉද්ධිවිධං යනාදීන්ගේ අර්‍ත්‍ථය මෙන්ම භාවනා ක්‍රමයද විසුද්ධිමග්ගයෙහිදී විස්තර කරන ලද්දේමය.