3. 1. 5. 2
දෙවැන්නෙහි, විගතමලමච්ඡෙරෙන යනු දුරුවූ මසුරුමලිනි. මුත්තචාගො යනු අත්හරනාලද ත්‍යාගය ඇත්තේයි. පයතපාණී යනු සේදූ අත් ඇත්තේයි. සැදැහැනැත්තා වනාහි සියවරක් අත දොවාද කිළිටි අතැත්තේමවෙයි. සැදැහැවතා වනාහි දානයෙහි සිත ඇලවූ හෙයින් කිළිටි අතැත්තේද දෙවූ අතැත්තේමය. වොස්සග්ගරතො යනු පරිත්‍යාග සංඛ්‍යාත දානයෙහි ඇලුනේයි. යාචයොගො යනු ඉල්ලීමට සුදුසුවූයේයි. නැතහොත් යාචකයන් සමඟ එක්වීම මොහුගේනුයි යාචයොග නම්වේ. දානසංවිහාගරතො යනු දන් දෙමින්ම දානය මනාව බෙදාදීම කරන්නේද දානසංවිහාගරත නමි.
දස්සන කාමො සීලවතං යනු යොදුන් දසයක්ද විස්සක්ද සියක් යොදුනක්වුවද ගොස් හෝ සිල්වතුන් දකිනු කැමැත්තේ වෙයි. පාටලීපුත්තක බමුණා මෙන්ද සද්ධාතිස්ස මහරජතුමා මෙන්ද වේ. පැළලුප්නුවර දොරටුවෙහි ශාලාවක හුන්නාවූ බමුණෝ දෙදෙනෙක් කාළවල්ලිමණ්ඩපවාසී මහානාග තෙරුන්ගේ ගුණ කථාව අසා අපවිසින් එම භික්‍ෂුව දැකීමට වටීයයි දෙදෙනාම පිටත්වූවාහුය. එක්කෙනෙක් අතරමගදී කළුරිය කළේය. එක්කෙනෙක් මුහුදු තෙරට පැමිණ නැවකින් මහතොට පටුනෙන් ගොඩබැස අනුරාධපුරයට අවුත් කාළවල්ලි මණ්ඩපය කොහිදැයි විමසුවේය. රුහුණු දනව්වෙහියයි (දැන ගැනීමට ලැබිණ). හෙතෙම අනුක්‍රමයෙන් තෙරුන් වසන තැනට පැමිණ සුළුනුවර ගමෙහි සමීප ගෙදරක නවාතැන් ගෙන තෙරුන්ට අහර සපයා උදයෙන්ම නැගිට තෙරුන් වසනතැන අසා එහි ගොස් පිරිස කෙළෙවරෙහි සිටියේ එන්නාවූ තෙරුන් දුරදීම දැක වරක් එහිම සිටියේ වැඳ යළි ළඟට ගොස් (තෙරුන්ගේ) ගොප් ඇට තදින් අල්වාගෙන වඳිමින් ‘ස්වාමිනි, ඔබ වහන්සේ උස්යයි කීවේය. තෙරුන්වහන්සේද නූස්ය, නොමිටිය. නිසිපමණින් යුතුවූවෝමය. එහෙයින් හෙතෙම උන්වහන්සේට යළි මෙසේ කීය: ‘නුඹවහන්සේ ඉතා උස් නොවෙති. නුඹවහන්සේගේ ගුණය වනාහි කළු පැහැති (තදිනිල්) මුහුද මතින් ගොස් සියලු දඹදිව් තෙලෙහි පැතිරී ගියේය. මම පැළලුප් නුවර දොරටුවෙහි හුන්නෙමි. නුඹවහන්සේගේ ගුනකථාව ඇසීමි.’ හෙතෙම තෙරුන්වහන්සේට භික්‍ෂාහාරයදී තමන්ගේ තුන්සිවුර පාවාදී (පිළිගන්වා) තෙරුන් සමීපයෙහි පැවිදිවී උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටා කිහිප දිනකින්ම රහත්බවට පත්වූයේය.
සද්ධාතිස්ස මහරජතෙමේද ‘ස්වාමීනි, වැදිය යුතු එක් ආර්‍ය්‍යයන්වහන්සේ නමක මට කියනුමැනවැයි විමසීය. භික්‍ෂූහු (ඊට පිළිතුරුවශයෙන්) මඞ්ගණවැසි කුජ්ජතිස්ස තෙරුන්වහන්සේයැයි පැවසූහ. රජතෙමේ, මහපිරිවරින් පස්යොදුන් මගගියේය. තෙරණුවෝ ‘ඇවැත්නි, මේ කවර ශබ්දයක්දැ’යි භික්‍ෂුසංඝයාගෙන් විමසූහ. ‘ස්වාමීනි, රජතෙමේ නුඹවහන්සේ දැකීම සඳහා පැමිණියේය’යි භික්‍ෂූහු පැවසූහ. තෙරණුවෝ මෙසේ සිතූහ. ‘මහළුකල්හි රජගෙදර මට කවර වැඩක්ද?’ (මෙසේ සිතා) දිවාස්ථානයෙහි ඇදෙහි වැදහෙව බිම ඉරි අඳිමින් හුන්නේය. රජතෙමේ තෙරණුවෝ කොහිදැයි විමසා දිවාස්ථානයෙහියයි අසා එහි යන්නේ තෙරුන් බිම ඉරි අදිනු දැක රහතුන්ට නම් අතින් කරන විකාර වැඩ නැත. මෙතෙම ක්‍ෂීණාශ්‍රවයෙක් නොවේයයි නොවැඳ ආපසු හැරී ගියේය. භික්‍ෂුසංඝයා තෙරුන්ගෙන්, ‘ඇවැත්නි, මෙබඳුවූ සැදැහැති, පහන් සිතැති රජුට කුමක්හෙයින් විපිළිසර කළහුදැයි ඇසූහ. ‘ඇවැත්නි, රජුගේ පැහැදීම රැක ගැනීම නුඹවහන්සේලාගේ වැඩක් නොවේ. මහළු තෙරුන්ගේ වැඩකැයි කියා මෑත කාලයෙහි අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නේ, මගේ කුළුගෙහි (රන්සිවිගෙහි) වෙනත් පළඟක්ද අතුරන්නැයි භික්‍ෂුසංඝයාට පැවසුවේය. එය ඇතුරූ කල්හි තෙරණුවෝ මේ කුළුගෙය අතරතුර නොපිහිටා රජුවිසින් දුටු කල්හිම බිම පිහිටාවායි අදිටන් කොට පිරිනිවන් පෑහ. කුළුගෙය පස්යොදුන් මග අහසින්ම ගියේය. පස්යොදුන් මඟෙහි ධ්වජ දරන්නට හැකි වෘක්‍ෂයෝ ධ්වජගත්තාහුම වූහ. පඳුරුද ලැහැබ්ද සියල්ල කුළුගෙයට මුහුණලා සිටියේය.
‘තෙරණුවෝ පිරිනිවන් පෑහ. කුළුගෙය අහසින් එන්නේය’යි රජුට හසුනක් යැව්වාහුය. රජතෙමේ නොඇදහීය. කුළුගෙය අහසින් ගොස් ථූපාරාමය පැදකුණු කොට ශිලා චෛත්‍යස්ථානයට ගියේය. චෛත්‍යය බිම සමඟ උඩට නැගී කුළුගෙය මත්තෙහි සිටියේය. දහස් ගණන් සාධුකාර පැවතිණ. එකෙණෙහි මහාව්‍යග්ඝ නම්වූ තෙරුන්වහන්සේ ලෝභ ප්‍රාසාදයෙහි සත්වැනි කළුගෙහි හුන්නාහු භික්‍ෂුන්ගේ විනය කර්‍ම කරමින් ඒ ශබ්දය අසා මේ කවර ශබ්දයක්දැයි ඇසුහ. ‘ස්වාමීනි, මඞ්ගණවාසී කුජ්ජතෙරුන්වහන්සේ පිරිනිවන් පෑහ. කුළුගෙය පස්යොදුනක් පමණ මඟ අහසින් පැමිණියේය. මෙය එහි සාධුකාර ශබ්දයයැ’යි පැවසූහ. ‘ඇවැත්නි, පින්වතුන් නිසා සත්කාර ලබන්නෙමු’යි අතැවැසියන් ක්‍ෂමා කරවා අහසින් අවුත් කුළුගෙයට පිවිස දෙවැනි ඇදෙහි හිඳ අනුපාදිශේෂ නිර්‍වාණධාතුවෙන් පිරිනිවන් පෑහ. රජතෙමේ සුවඳ මල් සුණු රැගෙන ගොස් අහසෙහි සිටි කුළුගෙය දැක කුළුගෙයට පිදුවේය. එකෙණෙහි කුළුගෙය පහතට බැස පොළොවෙහි පිහිටියේය. රජතෙමේ මහත් සත්කාරයෙන් ආදාහන කෘත්‍යය කොට ධාතූන් ගෙන චෛත්‍යයක් කළේය. මෙබන්දෝ සිල්වතුන් දකිනු කැමැත්තෝ නම් වෙත්.