3. 1. 3. 4
සිවුවැන්නෙහි තයො මෙ භික්‍ඛවෙ පුග්ගලා යනු ආචාර්‍ය්‍ය පුද්ගලයෝ තිදෙනායි. පුග්ගලස්ස බහුකාරා යනු අතවැසි පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තෝයි. බුද්ධං යනු සර්‍වඥයන් වහන්සේයි. බුද්ධං සරණං ගතො හොති යනු පිහිටකොට ගියේවෙයි. ධම්මං යනු පිටකත්‍රයි සහිත නවලෝකෝත්තර ධර්‍මයයි. සඞ්ඝං යනු අෂ්ටාර්‍ය්‍ය පුද්ගල සමූහයායි. මේ සරණාගමනයද සරණ නොගිය විරූ ඇලීම් නොකළ පුද්ගලයාගේ වශයෙන් කියනලදී. මෙසේ මේ සූත්‍රයෙහි සරණ දායකයා, සෝවාන්මඟට පැමිණෙන්නා, අරහත් මඟට පැමිණෙන්නා යන ආචාර්‍ය්‍යවරු තිදෙනා බොහෝ උපකාර ඇත්තෝයයි ආවාහුය. පැවිද්ද දෙන්නා, බුදුවදන් දෙන්නා, කම්මවාචා ආචාර්‍ය්‍යවරයා, සකෘදාගාමිමාමාර්‍ගයට පැමිණෙන්නා, අනාගාමිමඟට පැමිණෙන්නා යන මේ ආචාර්‍ය්‍යවරු නොආවාහුය. කිමෙක්ද? ඔවුහු බොහෝ උපකාරවූවෝ නොවෙනත්ද? ඔවුහුද බොහෝ උපකාර ඇත්තෝයි. මේ දෙසුම දෙයාකාරයකින් පිරිසිඳුනේවෙයි. එහෙයින් මේ සියල්ලෝම බොහෝ උපකාර ඇත්තෝයි. ඔවුන් අතුරින් සරණාගමනයේදීම නොකළ ඇලීම්ඇත්තා වටියී. සිවුපිරිසුදුසිල්, කසිණ පරිකර්‍ම, විපස්සනා ඥානයෝ පළමුමග ඇසුරු කොට ඇත්තාහු වෙත්. මත්තෙහි මාර්‍ගදෙකද ඵල දෙකද අරහත්මාර්‍ගය ඇසුරුකොට ඇත්තේයයි දතයුතුය.
ඉමිනා පුග්ගලෙන යනු මේ අතවැසි පුද්ගලයා විසිනි. න සුප්පතිකාරං වදාමි යනු ප්‍රති (උප)කාර කිරීමට පහසු නොවේයයි කියමි. අභිවාදනාදියෙහි නොයෙක් සියවරක්, නොයෙක් දහස්වරකුදු පසඟ පිහිටුවා වැටී වඳින්නේ අසුනෙන් නැඟිට පෙරගමන් කරන්නේ දුටුදුටුවිට ආඳීලි බඳින්නේ සුදුසුවූ පිළිසඳර කරන්නේ දිනපතා සිවුරු සියයක් සිවුරුදහසක් පිණ්ඩපාත සියයක් පිණ්ඩපාත දහසක් දෙන්නේ සක්වළ කෙළවරින් සියල්ල රුවන්මයවූ ආවාසයක් කරන්නේ ගිතෙල් වෙඬරු ආදී නොයෙක් ආකාර ඇති බෙහෙත් දෙන්නේ ආචාර්‍ය්‍යවරයා විසින් කරනලද උපකාරයට ප්‍රතිඋපකාර කිරීමට නම් නොහැක්කේයයි මෙසේ අඅර්‍ත්‍ථය දතයුතුය.
3. 1. 3. 5
පස්වැන්නෙහි අරුකූපමචිත්තො යනු පැරණි වණ (තුවාල) වැනි සිත් ඇත්තේයි. විජ්ජූපමචිත්තො යනු සුළකලක් බැබළීමෙන් විදුලිය වැනි සිත් ඇත්තේයි. වජිරූපමචිත්තො යනු කෙලෙසුන් මුලසුන් කිරීමෙන් සමත් බැවින් විදුරක්වැනි සිත් ඇත්තේයි. අභිසජ්ජති යනු ලැගෙයි. කුප්පති යනු කිපීම්වශයෙන් කිපෙයි. ව්‍යාපජක්‍ධති යනු ප්‍රකෘතිභාවය අතතහරියි, කුණු බවට පැමිණෙයි. පතිත්‍ථියති යනු දැඩිබවට, තදබවට පැමිණෙයි. කොපං යනු දුර්‍වල ක්‍රොධයයි. දොසං යනු දුෂ්‍යවීම් වශයෙන් ඊටවඩා බලවත්බවයි. අප්පච්චයං යනු නොසතුටු ආකාරයයි. දොම්නසයි. දුට්ඨාරුකා යනු පැරණි වණයයි. කටේඨන යනු දඬු කෙළවරිනි. කඨලෙන යනු කැබලිත්තෙනි. ආසවං දෙති යනු වරින්වර වැගිරෙයි. පැරණි තුවාලයක් තමාගේ ස්වභාවයෙන්ම සැරව, ලේ, යුෂ යන මේතුන වගුරුවයි. ගැටුනේ වනාහි ඒහා වැඩියෙන්ම වගුරුවයි.
එවමෙව ඛො යනු මෙහි මෙය උපමා සැසඳීමයි. ක්‍රොධබහුල පුද්ගලතෙමේ වනාහි පැරණි වණයක් මෙනි. තමාගේ ස්වභාවයෙන් එහි වැගිරීම මෙන් ක්‍රෝධකරන්නාගේද ඉදිමීමක මෙන් තමාගේ ස්වභාවයෙන් දරුණුබවේ හැසිරීමවෙයි. සුළුවචනය දඬුවෙන් හෝ කැබලිත්තෙන් හෝ ගැටීමක් මෙනි. බොහෝ සෙයින් වැගිරීමක් මෙන් මාවැන්නකුට මෙසේ කියතියි බොහෝ සෙයින් ඉදිමෙනබව දැක්විය යුතුයි.
රත්තන්‍ධකාර තිමිසාය යනු රාත්‍රිය චක්‍ඛුවිඤ්ඤාණයාගේ ඉපදීම වළක්වන බැවින් අන්‍ධභාවය ඇති කරන්නාවූ දැඩි අඳුරෙහියි. විජ්ජන්තරිකාය යනු විදුලිය පවතින ක්‍ෂණයෙහිය. මෙහිද මෙය උපමා සැසඳීමයි. යොගාවචරයා ඇස් ඇති පුරුෂයකු මෙන් දැක්වියයුතුය. සෝවාන් මග වඳකරන කෙලෙස්අඳුර මෙන්ද සෝවාන්මග නුවණ උපදනා කාලය විදුලිය හැසිරීමක් මෙන්ද සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි නිවන දැකීම විදුලි අතරතර ඇස් ඇති පුරුෂයෙකුගේ හාත්පස රූප දැකීමක් මෙන්ද යළි සකෘදාගාමී මාර්‍ගය වඳ කරවන කෙලෙස්අඳුර පැතිරීමක් මෙන්ද සකෘදාගාමී මාර්‍ගඥානයේ උපත විදුලිය හැසිරීමක් මෙන්ද සකෘදාගාමී මාර්‍ගක්‍ෂණයෙහි නිවන දැකීම විදිලිය අතරතුර ඇස්ඇති පුරුෂයකුගේ හාත්පස රූප දැකීමක් මෙන්ද අනාගාමී මාර්‍ගය වසන්නාවූ කෙලෙස් යළි අදුර පැතිරීමක් මෙන්ද අනාගාමී මාර්‍ගඥානය ඇතිවීම යළි විදුලිය හැසිරීමක් මෙන්ද අනාගාමී මාර්‍ගක්‍ෂණයෙහි නිවන දැකීම විදුලිය අතරතුර ඇස්ඇති පුරුෂයකුගේ රූප දැකීමක් මෙන්ද දැක්වියයුතුය.
විදුරකට සමාන සිත් ඇති බැවින්ද මේ උපමා සැසැඳීමවෙයි. අරහත් මාර්‍ගඥානය විදුරක් මෙන් දැක්වියයුතුය. අරහත් මාර්‍ගය වළහන කෙලෙස් මණිගණ්ඨියක් පාෂාණගණ්ඨියක් මෙනි. අරහත්මාර්‍ගඥානයෙන් නොබිඳිය හැකි කෙලෙසුන් නැති බව විදුරෙන් මණිගණ්ඨියක් හෝ පාෂාණ ගණ්ඨියක් විනිවිද නොයාමක් නැතිබව මෙනි. අරහත්මගින් විනාශකළ කෙලෙස්වල යළි නොඉපදීම විදුරෙන් විදිනලද විදුමක් යළි නොපිරීමක් මෙන් දැක්වියයුතුයි.
3. 1. 3. 6
සයවැන්නෙහි සෙවිතබේබා යනු එළඹියයුතුයි. හජිතබ්බො යනු ඇලියයුතුයි (භජනය කළයුතුයි). පයිරුපාසිතබ්බො යනු සමීපයෙහි හිඳීම්වශයෙන් නැවත නැවත ළංවිය යුතුයි. සක්කත්‍වා ගරුකත්‍වා යනු සත්කාර මෙන්ම ගරු කිරීම්ද කොටසි. හීනො හොති සීලෙන යනු සමානකරමින් හීනතාව දතයුතුයි. යමෙක් පන්සිල් රකීද හෙතෙම දසසිල් රකින්නකු විසින් ඇසුරු නොකළයුතුය. යමෙක් දසසිල් රකීද හෙතෙම සිවුපිරිසුදුසිල් රකින්නකු විසින් ඇසුරුනොකළයුතුයි. අඤ්ඤත්‍ර අනුද්දයා අඤ්ඤත්‍ර අනුකම්පාය යනු කරුණාවත්, අනුකම්පාවත් හැර තමන් සඳහාම මෙබඳුවු පුද්ගලයෙක් ඇසුරු නොක්‍ළයුතුය. කරුණා අනුකම්පා වශයෙන් ඔහු වෙත එළඹීමට වටියි.